අවුරුදු 109ක් පැරැණි සුරාබදු නීති වෙනස් කරනවා

202
එම්. ජේ. ගුණසිරි සුරාබදු කොමසාරිස් ජනරාල්

රට තුළ නීති විරෝධී මත්පැන් ජාවාරම ශීඝ්‍රලෙස ඉහළයමින් පවතින බව බොහෝ දෙනෙකු විසින් නගන චෝදනාවක් බවට පත්ව ඇත. එවැනි තත්ත්වයක් තුළ මෙරට නීත්‍යානුකූල මත්පැන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ඉදිරියේදී දේශීය මත්පැන් වෙළෙඳපොළ කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතින බවය. එම කාරණා ඇතුළු නිරාකරණය කරගත යුතු තවත් කරුණු කීපයක් මුල්කර ගනිමින් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් පහත පළ වේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් සමඟ මේ කතාබහ ආරම්භ කළොත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඔබ ඒ සඳහා ආරම්භය ගන්නෙ කොහොමද?

දෙපාර්තමේන්තුවක් ලෙස ගත්විට අපේ දෙපාර්තමේන්තුවට වසර 109 ක් පැරණි දිගු ඉතිහාසයක් පවතිනව. මේ කාලසීමාව ඇතුළත සුරාබදු පනත වරින්වර සංශෝධනය වූ අවස්ථා පවතිනවා. 1913 වර්ෂයේ ආරම්භ කළ මෙම දෙපාර්තමේන්තුව සතු ප්‍රධානතම කාර්යභාරය තමයි සමාජ ආරක්‍ෂණය සහ රාජ්‍ය ආදායම් ඉහළ දැමීම. එතනදී රාජ්‍ය ආදායමින් 11% ක් මේ දෙපාර්තමේන්තුව මගින් රජයට ලබාදෙනව. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුවට පස්සෙ ජාතික ආදායමෙන් වැඩිම කොටසක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයල දෙනව. පසුගිය වසර දෙක ගත්විට 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 121 ක් සහ 2021 වර්ෂයේදී රුපියල් බිලියන 140 ක් ආදායමක් අපේ දෙපාර්තමේන්තුව මගින් උපයා දී තිබෙනව.

ඉහත ගණන් ඉලක්කම් ගත්විට වාර්ෂිකව ආදායම් ඉපැයීම් ඉහළගොස් ඇති බවක් දකින්නට ලැබෙනව. ඒ අනුව මේ වසරේ අපේක්‍ෂිත ආදායම මොනවගේ අගයකද පවතින්නෙ.

මේ වසරේ අපේක්‍ෂිත ආදායම පිළිබඳ සඳහන් කරන්න පෙර යමක් සඳහන් කළ යුතු වෙනව. ඒ තමයි මේ ආදායම් ඉහළ යෑම තුළ අදහස් වෙන්නෙ අපේ රටේ ජනතාව වසරින් වසර මත්පැන් පානය සඳහා යොමුවෙනව කියන කාරණය නොවෙයි. මම මේ දෙපාර්තමේන්තුව භාරගන්න අවස්ථාව වන විටත් වාර්ෂික ආදායමේ යම් යම් අඩුවීම් දකින්නට තිබුණ. දෙපාර්තමේන්තු මට්ටමින් පැවැති යම් යම් අඩුපාඩුකම් ඒ වගේම වෙනත් වෙනත් අඩුපාඩුකම් හේතුවෙන් තමයි ඒ වගේ තත්ත්වයක් ඇතිවෙන්න මූලික වශයෙන් බලපාල තිබුණේ. අන්න ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කිරීමත් එක්ක තමයි මේ ආදායම් ඉහළ යෑමක් ඇතිවෙන්න ගත්තේ.

ඔබ විමසා සිටින ආකාරයට මේ වර්ෂය තුළ රුපියල් බිලියන 185 ක ආදායමක් තමයි අපේ ඉලක්කය බවට පත්වෙලා තිබෙන්නෙ.

රටතුළ මේ වනවිට පවතින සමාජ ආර්ථික වටපිටාව තුළ එය දුෂ්කර ඉලක්කයක් නොවෙයිද?

අපි බලාපොරොත්තු වෙනව අපේක්‍ෂිත ඉලක්කයට යන්න. ඒකෙන් අදහස් කෙරෙන්නෙ රටේ ජනතාව වැඩි වැඩියෙන් මත්පැන් පානයට යොමු වෙනව කියන කාරණය නොවෙයි. එතනදී ආදායම් ඉහළ අගයක් දක්වා ගෙනයෑම පිණිස අපි මුලින්ම කළේ සිස්ටම් චේන්ජ් එකක්. ඒ කටයුත්තට අත තියනකොටම විවිධ බලපෑම් ආව. නමුත් දෙපාර්තමේන්තුවේ අනිකුත් නිලධාරීන්ගේ සහයෝගය මත අභ්‍යන්තර පරිපාලන ක්‍රමවේදය තුළ යම් යම් වෙනස්කම් කරන්න අපිට හැකියාව ලැබුණා. එපමණක් නොවෙයි නීත්‍යානුකූලව නිපදවන දේශීය මත්පැන් නිසි ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කොට වෙළෙදපොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නත් මේ වනවිට අපට හැකියාව පවතිනව. වසර 109 ක් පැරණි දෙපාර්තමේන්තුවක් වුවත් මෙතෙක් කලක් නිසි ප්‍රමිතියෙන් යුක්ත මත්පැන් නිෂ්පාදනයක් අපේ රටේ තිබුණේ නැහැ. ඒ අඩුපාඩුව මේ වනවිට සම්පූර්ණ කරන්න අපට පුළුවන්කම ලැබිල තිබෙනව. මේ කියන කාරණා එක්ක බලාපොරොත්තු වන ඉලක්කය වෙත ගමන් කරන්න හැකියාව ලැබෙයි කියන විශ්වාසය පවතිනව.

ප්‍රමිතියක් හඳුන්වාදීම තුළින් බලාපොරොත්තුවන අපේක්‍ෂාවන් බවට පත්වෙන්නෙ මොනවාද?

නීත්‍යානුකූලව නිෂ්පාදනය කරන මත්පැන් පිළිබඳව වුවත් සමාජය තුළ යම් බියක් පවතිනව. ඒ බිය සැකය ඇතිවීම පිණිස සාධාරණ හේතුත් තිබුණ. එකක් තමයි නිසි ප්‍රමිතියක් නොමැතිවීම. ඒ හේතුවෙන් ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළ තුළ අලෙවි වෙමින් පැවතුනා. ඒ තත්ත්වය පාලනය කරන්න සුරාබදු දෙපාර්තමේන්තුවට පවා පුළුවන්කමක් තිබුණෙ නැහැ. නමුත් මේ වනවිට ඒ අඩුපාඩු සියයට සියයකින් සම්පූර්ණ කරන්න පුළුවන්කම ලැබිල තිබෙනව. නීත්‍යානුකූලව නිෂ්පාදනය කරන මත්පැන් සඳහා ආරක්‍ෂිත ස්ටිකරයක් හඳුන්වාදීම, එහිම දිගුවක් ලෙස මත්පැන් බෝතල් මත ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරමින් මුද්‍රා තැබීමක් සිදුකරනවා. ඊට අමතරව ඒ ඒ මත්පැන් වර්ගයේ ප්‍රමිතිය පරීක්‍ෂා කර බැලීම පිණිස ූඍ කේතයක් හඳුන්වාදීම වැනි ක්‍රමවේද අනුගමනය කිරීම තුළ දැන් ඕනෑම පාරිභෝගිකයෙකුට පුළුවන්කම ලැබෙනව තමන් මිලදී ගන්නෙ නිසි ප්‍රමිතියෙන් යුත් මත්පැන් වර්ගයක්ද නැද්ද කියලා තීරණය කරන්න. 2020 ජනවාරි මාසයේ සිට මේ ක්‍රමවේදය යටතේ තමයි නීත්‍යානුකූල මත්පැන් වෙළෙදපොළට නිකුත් කරන්නෙ. මේ හරහා රජයේ ආදායම ආරක්‍ෂාකර ගැනීමත් නීතිවිරෝධී මත්පැන් ජනතාව අතර ප්‍රචලිතවීමත් නතර කර ගැනීමත් අපේ නව අපේක්‍ෂාවක් බවට පත්වෙලා තිබෙනවා.

නමුත් මත්පැන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටිනව මෑත කාලීනව මත්පැන් අලෙවියේ ලොකු කඩාවැටීමක් පවතිනව කියල. ඒ සඳහා බලපාන ලද හේතූන් මොනවාද?

එහි යම් සත්‍යතාවයක් පවතිනව. වෙළෙඳපොළ තුළ නීත්‍යානුකූල මත්පැන් අලෙවියේ අඩුවක් සිදුවීම පිණිස කාරණා කීපයක් බලපෑව. එකක් තමයි මත්පැන් මිල මේ වසර තුළම අවස්ථා කීපයකදී ඉහළ යෑම.

පසුගිය වසර තුළ රුපියල් දෙදහසට පහළ මිලක් ගෙවල මිලදී ගන්න පුළුවන් වූ ඇතැම් මත්පැන් බෝතලයක් අද වෙළෙඳපොළෙන් මිලදී ගන්න නම් අර මිලට වඩා ලොකු මුදලක් වැය කරන්න වෙනව. ඒ හේතුව මත වෙළෙඳපොළ යම් කඩා වැටීමකට ලක්වෙනවා. කර්මාන්තයක් ලෙස ගත්කළ නිෂ්පාදන වියදම් ඉහළ යෑමත් එක්ක තමයි ඒ තත්ත්වය ඇති වෙන්නෙ. තවත් පැත්තකින් නීතිවිරෝධී මත්පැන් පානය සඳහා යොමුවීමේ ලොකු ප්‍රවනතාවයක් ග්‍රාමීය මට්ටමින් දකින්නට ලැබෙනව. එයත් නීත්‍යානුකූල මත්පැන් අලෙවියේ අඩුවීම පිණිස තදින් බලපානව. මේ කාරණා ඇතුළු ඒ හා බැඳුනු තවත් හේතූන් මත එවැනි තත්ත්වයක් හටගෙන තිබෙනව.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කර සිටිනව මෙරට ජනතාවගෙන් 37% ක් නීතිවිරෝධී මත්පැන් පානයට යොමුවී සිටිනව කියල. මේ සම්බන්ධ ඔබේ අදහස ලෝක සෞඛ්‍ය සංවිධානය නිතර නිතර සඳහන් කර සිටිනව අපේ රටේ නීති විරෝධී මත්පැන් සියයට තිහක් හතළිහත් අතර ප්‍රමාණයක් අපේ රටේ සංසරණය වෙනව කියලා. අපිට ඒක සම්පූර්ණයෙන් බැහැර කරන්න බැහැ. නමුත් අපේ සංගණනය අනුව දළ වශයෙන් සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව පරිභෝජනය කරනව. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමින් තමයි මේ තත්ත්වය වැඩිපුරම දකින්නට ලැබෙන්නෙ. මෑත කාලීනව ගත්විට මේ තත්ත්වයේ යම් වැඩිවීමක් දකින්නට ලැබෙනව. ඒ සඳහා බලපාන ලද මූලිකම හේතුව තමයි නීත්‍යානුකූල මත්පැන් මිල වරින්වර ඉහළ යෑම. විශේෂයෙන් අඩු ආදායම්ලාභීන් ගත්විට ඒ අයට නීත්‍යානුකූල මත්පැන් මිලදී ගැනීම පිණිස මුදලක් වැය කරන්න බැරි තත්ත්වයක් තමයි මේ වනවිට රට තුළ පවතින්නෙ. රටේ පවතින ආර්ථික දුෂ්කරතා මත තමයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන්නෙ.

නීතිවිරෝධී මත්පැන් පානයෙන් සහ මත්ද්‍රව්‍යවලින් මෙරට ජනතාව මුදාගැනීම පිණිස සුරාබදු දෙපාර්තමේන්තුව වශයෙන් සිදුකරන මැදිහත්වීම මොන වගේද?

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අතරින් ප්‍රධාන තැනක් ගන්න දෙයක් තමයි සමාජ ආරක්‍ෂණය. අපේ නිලධාරීන් 850 ක පමණ ප්‍රමාණයක් සහ පොලිසිය විසින් දිනපතා වැටලීම් සිදුකරමින් මේ තත්ත්වය මර්දනය කිරීම පිණිස ලොකු උත්සාහයක් ගන්නව. නමුත් මේ වනවිට රාජ්‍ය වියදම් සීමා කිරීම තුළ වැටලීම් සිදුකිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු පැන නගිනව. තවත් පැත්තකින් දැනට ක්‍රියාත්මක යල්පැනගිය සුරාබදු නීතින් වලට මුවාවෙලා ඇතැම් පිරිස් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවි සිදුකරනව. මේ වනවිට අලුත් සුරාබදු පනතක් ගේන්න රජයේ අවධානය යොමුවෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී අලුත් වැඩපිළිවෙළක් තුළ මේ තත්ත්වය මර්දනය කරන්න අවස්ථාවක් හිමි වේවි. නමුත් දැනටත් දිනපතා වැටලීම් සිදුකරමින් නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය ඉදිරියට ගෙනෙන්න නිරන්තරයෙන් කටයුතු කරමින් ඉන්නව. ඊට අමතරව පාසල් මට්ටමින් සහ තෝරාගත් ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩමුළු ආදිය දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා.

සාකච්ඡා කළේ –
රුවන් ජයවර්ධන,
චමින්ද සිල්වා
ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment