අවුරුදු 18ක් තිස්සේ ශ්‍රී ලාංකික දරුවන්ගේ අධ්‍යාපනය නංවන්න වෙහෙසෙන ජපන් යුවළ

80
ජපානයේ නගෝයාහි ශ්‍රී ආයතනයේ සභාපති 66 හැවිරිදි කසුකෝ හස්තෝරි මහත්මිය හා එම මහතා පිළිගත් අයුරු.

අලුත් අවුරුද්දට තෑගි භෝග අරන් ආර්ථික අපහසුතා ඇති මුල් ළමාවිය දරුවන් සොයා ශ්‍රී ලංකාවට ආ අපූරු ජපන් යුවළක් හම්බන්තොට වැලිගත්ත ‘ශ්‍රී යහළුවා’ ශ්‍රී ලංකා පෙර පාසලේදී පෙරේදා (17 දා) අපට මුණගැසුණි.

මෙම අපූරු සත්කාරය සඳහා 18 වැනි වසරටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ ජපානයේ නගෝයාහි ශ්‍රී ආයතනයේ සභාපති 66 හැවිරිදි කසුකෝ හස්තෝරි (Kazuko Hasttori) මහත්මිය හා ඇයගේ සැමියා වන 68 හැවිරිදි යොෂිනිති මහතායි. මුල් ළමාවිය දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ තත්ත්වය නඟා සිටුවීම සඳහා මෙම ජපන් ජාතික යුවළගේ ප්‍රධානත්වයෙන් දැනට වසර 17ක් තිස්සේ හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යයි. එහි ඉගෙනුම ලබන සියලුම දුවා දරුවන් සඳහා දිනපතා නොමිලයේ ගුණාත්මක ආහාර වේලක්, අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම පොත්පත් හා අනෙකුත් සියලුම පහසුකම් මෙන්ම වෛද්‍යාධාර පහසුකම්ද ලබාදීම මෙම දෙපළ විසින් සිදුකරනු ලබයි.

මෙවර අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ලංකාවට පැමිණි මෙම ජපන් ජාතික යුවළ විසින් එම පෙර පාසලේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 50 දෙනකු සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පොත්පත් හා එක් පවුලකට රුපියල් 15,000ක් වටිනා වියළි සළාක මල්ලක්ද ප්‍රදානය කෙරිණි.

මෙම අපූරු කටයුත්ත පිළිබඳව කසුකෝ හස්තෝරි (Kazuko Hasttori) මහත්මිය මෙලෙස පැවසුවාය.

“මේ කුඩා දරුවන්ට උදව් කරන්න මම දැන් වසර 18ක් තිස්සේ ලංකාවට එනවා. මගේ එකම අරමුණ මේ කුඩා දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කරන්න හා ඔවුන්ගේ පෝෂණ තත්ත්වය නඟා සිටුවන්න අවශ්‍ය උපරිම ශක්තිය ලබාදීමයි.

ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එදා සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදි කළ කතාව ජපන් ජාතිකයන්ට කිසිදා අමතක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අදටත් ලංකාවට පැමිණෙමින් ලංකාවේ දුවා දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ යැයි පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා ජපානයේ නගෝයාහි ශ්‍රී ආයතනයේ ලංකාවේ අධ්‍යක්ෂ පුෂ්පකුමාර ජයතිලක, වැලිගත්ත ‘ශ්‍රී යහළුවා’ ශ්‍රී ලංකා පෙර පාසලේ ප්‍රධාන විදුහල්පතිනී කුමාරී වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටි අතර නැටුම් ගැයුම්වලින් යුක්ත අපූරු උත්සවයකින් එම ජපන් ජාතික යුවළ පිළිගැනීමට ගම්මුන් කටයුතු කර තිබුණි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment