අවුරුදු 74ක් තිස්සේ මහා පරිමාණයෙන් සොරකම් කිරීමෙන්  රටේ පරිහානිය හිණි පෙත්තට නැගලා – සුනිල් හඳුන්නෙත්ති  

141

දේශපාලනය, කැපවීමෙන්, පරිත්‍යාගයෙන් ස්වේච්ඡාවෙන් අවංක භාවයෙන් හා සත් භාවයෙන් කළයුතු ක‍්‍රියාවක්. දේශපාලනය රස්සාව බවට පත් කරගත යුතු නැහැ. එහෙත් අද දේශපාලනය රස්සාව බවට පත් කරගෙන තිබෙන බව පේනවා. කැපවීම පරිත්‍යාගශීලී බව නැති අය දේශපාලනය කළ යුතු නැහැ. දේශපාලකයා යනු ජනතාවට ඉහළ තලයක සිටිමින් සුවිශේෂී වරප‍්‍රසාද භුක්ති විඳින අයකු නොවිය යුතු අතර ජනතාව හා සම වරප‍්‍රසාද පමණක් හිමිකර ගත් අයකු විය යුතු යැයි හිටපු මන්ත‍්‍රී ජ. වි. පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.

ලාංකීය දේශපාලන ක්‍ෂේත‍්‍රය පිළිබඳ සිතන විට එහි නියැලූන නියැලෙන පිරිස් පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්වන්න බැහැ. අවංක දේශපාලනයක් කළ හා කරන කීදෙනෙක් අප අතර සිටීද. අවුරුදු 74ක් දේශපාලනයේ යෙදුන පිරිස් නිසා සිදුව ඇත්තේ රට පරිහානියේ හිණිපෙත්ත කරා ළඟාවීම මිස වෙන කුමක්දැයි පවතින අර්බුදවලින් මනාව පැහැදිලිව පේනවා. හොරකම වංචාව කොටස් ගැනීම කොමිස් ගැනීම මහා පරිමාණයෙන් සිදු වී ඇති බව පේනවා. හොඳ දේශපාලකයකුට කවදාවත් හොරෙක් වන්න බැහැ. නමුත් මෙරට දේශපාලන ක්‍ෂේත‍්‍රයේ නියුතු චරිත පිළිබඳ කෙලෙස නම් අපි සුභවාදීව සිතන්නද? සැබවින්ම එසේ සිතිය නොහැකි යැයිද හඳුන්නෙත්ති මහතා කීය.

ජාතික ජන බලවේගයේ හෙට ගැන කතා බහක් තේමාව යටතේ දිවුලපිටිය සෙවන් ලක් හෝටල් පරිශ‍්‍රයේ පැවැති සුවිශේෂී ජන හමුව අමතා හෙතෙම එසේ කීය.

ප‍්‍රශ්න විසඳන්න සැලැස්මක් තිබිය යුතුයි. රට ගොඩනගන්නද සැලැස්මක් තිබිය යුතුය. නමුත් එලෙස සැලැස්මක් ඇති බව පේන්නට නැහැ. රට හදන්න විනයක් ද අවශ්‍යයි. එහෙත් කොතනද අද විනය ඇත්තේ. මේ රට ගොඩනැඟිය හැකි පිරිසකට බලය පවරා දිය යුතුයි. සැබවින්ම බලය ඒ සවිය ජාතික ජන බල වේගයේ අප සතුව තිබෙනවා. මේ රට ගොඩනැඟිය හැකි බලය ලබාදීම ජනතාවගේ වගකීමක්. රට ගොඩගන්න ඇති අන්තිම අවස්ථාව මෙයයි. මේ අවස්ථාව මග හැරුණ හොත් අනාගත පරපුර අපට ශාප කරනවා කියන බවද අප සිතිය යුතුයි.

ආර්ථිකය තුළ පොදු බවක් තිබිය යුතුයි. එසේම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතුයි. ඉල්ලූම සැපයුම සමවිය යුතුයි. ඉල්ලූමක් නැති භාණ්ඩ කොපමණ තිබුණත් පලක් නැහැ. දැනට රටේ තිබෙන ආර්ථික අර්බුදයට හේතුව කොරෝනාවම නොවෙයි. කොරෝනාව නිසා එය උග‍්‍රවුණ බව ඇත්තයි. නිදහස ලැබෙන තුරු අපි ලෝක බැංකුවට හෝ ණය ගැනීමට ගියේ නැහැ. 1950න් පසුව තමා අපි ණය සොයාගෙන ලෝකය වටේ ගියේ. 1977න් පසුව ආනයනය අපනයනය අතර පරතරය දෙගුණයක් වුනා. අද ව්‍යාපාරික ලෝකය තුළ අර්බුදය උග‍්‍ර වෙලා. හැබැයි එම අර්බුදය කම්කරුවන්ට බලපාන්නේ නැහැ. පීඩනය ඌග‍්‍රව ඇත්තේ ඉහළ හා මධ්‍යම පන්තියටයි. මේ තත්ත්වය ඉදිරියටත් එසේම පවතින්නේ යැයිද ද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කීය.

ජාතික ජන බලවේගයේ ලේකම් උපාලි රත්නායක, මහතාද සභාව ඇමතීය.

දිවුලපිටිය – අයි. එම්. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment