අශාන් රවිශාද් ලියූ ‘මතක බණ’ කාව්‍ය සංග්‍රහය

238

“අහස් කුසට හිරවිලා තියෙයි මතක                          හැලෙන්න
කඳුළු හැංගිලා තියෙනව මගේ නෙතෙන්                  වැටෙන්න
හැමදාමත් අඬන්න බෑ ලෝකයකට                          පේන්න
වැහි දෙවියනි වැහැපන් මට ලොවට හොරෙන්         අඬන්න.”

කවියේ වටිනාකමට අඩු ලංසු තැබෙන නූතන යුගයේ කවියකු ලෙස කලඑළි බැසීම තරමක අවදානම් සහගත කාර්යයකි. එහෙත් එම අභියෝගය අශාන් රවිශාද් නමැති තරුණ නිර්මාණකරුවා තම පළමු කාව්‍ය සංග්‍රහය වන ‘මතක බණ’ සහෘද පාඨක ප්‍රජාව වෙත තිළිණ කරමින් සාර්ථකව ජයගෙන ඇති බව අපගේ හැඟීමයි.

වර්තමානය සිංහල කවියේ ස්වර්ණමය යුගයක් නොවුණ ද එය විවිධ පරිණාමයන්ට ලක්වෙමින් අදත් ජන මනස සුවපත් කරමින් සිටින බව අශාන් ලියූ ‘මතක බණ’ කාව්‍ය ග්‍රන්ථයේ පෙරවදන සපයන ප්‍රවීණ ලේඛක මංජුල දිසානායකයන් පවසයි.

හරිහරියට කවියෙන්, ගීතයෙන් හරඹ කරන අංකුර කවියන් අද දවසේ ද හිඟ නැත. කවිය අවියක් කරගෙන ඔවුන් කරන සමාජ මෙහෙවර යුගයේ අවශ්‍යතාවක් වී තිබේ.

මංජුල දිසානායක ලේඛකයා පෙන්වා දෙන පරිදි අශාන් රවිශාද් එවැනි දක්‍ෂ අංකුර කවියෙකි. සමාජ යථාර්ථයන් මනාව ග්‍රහණය කරගෙන එය කවියෙන් ඉදිරිපත් කිරීමට ඔහුට ඇත්තේ නිසග කුසලතාවයකි. ‘මතක බණ’ ඔහුගේ කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය වුවත් එහි එකකට එකක් නොදෙවැනි රසවත් හා අර්ථවත් මාතෘකා හැත්තෑතුනක් යටතේ ලියැවුණු කවි රැසක් අන්තර්ගතය. ‘මතක බණ’ දිගු ඇරඹුමක් කර ගනිමින් අනාගතයේ ලාංකීය කවි කෙත පෝෂණය කරන්නට මේ අංකුර කවියාට ශක්තිය දිරිය ලැබේවා යන්න අපේ පැතුමයි.

‘මතකයන් දික්වුණොත් ක්ෂිතිජයේ      කොනට
අයිනකදි ඇඳිලා ඇති උඹේ රුව            හැඩට
කඳුළකින් නිමවුණත් අතීතය               හොඳට
හුඟක් කවි ලියන් ඇති අපි අපේ           නමට’

● සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment