අශෝක අධිරාජයාගේ ධර්මවිජය පිළිවෙත

410

‘ගුණධර්ම හා සදාචාරාත්මක අතින් අශෝක තරම් ලෝක ඉතිහාසය මත බලපැවැත්වූ අන් කිසි රජෙක් නැත’ – (රෝමෙස් චන්ද්‍රදත්ත)

භාරතීය ඉතිහාසය කීර්තිමත් කළ අද්විතීය රාජ්‍ය පාලකයකු ලෙස ‘අශෝක අධිරාජයා’ හඳුන්වා දිය හැකිය. ‘දේවානම් පියදර්ශි ධර්මාශෝක චක්‍රවර්තී’ යන අපර නාමයකින් හෙබි අශෝක අධිරාජ්‍යයා ක්‍රි.පූ. 304 දී උපත ලැබීය.

මෞර්ය රාජ්‍ය වංශයේ ආරම්භකයා වූ චන්ද්‍රගුප්ත ගේ මුණුපුරකු වූ අශෝක, බින්දුසාරගේ පුත්‍රයාය. උපායශීලීත්වයෙන් හා දරුණු ක්‍රියාවලියක් මගින් මෙම රජ පවුල අධිරාජ්‍යයක් ගොඩනැඟීය. තරුණ අශෝක අනුගමනය කළේද එම ප්‍රතිපත්තියමය. බින්දුසාරට සිටි භාර්යාවන් 16 දෙනාට පුතුන් 100 කට අධික සංඛ්‍යාවක් සිටියහ. ස්වකීය අපේක්‍ෂාවන් මස්තකප්‍රාප්ත කර ගැනීමට නම් පියාගේ මරණයෙන් පසු එම සහෝදරයන් මරා දමිය යුතු බව අශෝක තීරණය කළේය. ඇතැම් වාර්තාවල අශෝක සිය පියාගේ පුත්‍රයන් 99 දෙනකුම මරා දැමූ බව සඳහන්ය.

අශෝක ස්වකීය අධිරාජ්‍යය තහවුරු කර ගැනීම සඳහා කළ ‘කාලිංග යුද්ධය’ අතිශය බිහිසුණු එකක් විය. කාලිංග රජු 60,000 ක පාබළ හමුදාවක් ද, 1000 ක අශ්වාරෝහක බළඇණියක් සහ 700 ක ඇත් හමුදාවක් ද තම ආරක්‍ෂාව සඳහා තබාගෙන සිටියේය. අශෝකගේ හමුදාව විසින් එම කාලිංග හමුදාව ආක්‍රමණය කරනු ලැබුවේ ඔවුන් ලේ ගංගාවක ගිල්වමිනි. එක්ලක්‍ෂ පනස් දහසක මිනිසුන් රටින් බැහැර ගෙන යන්නට යෙදුණි. ලක්‍ෂයක් පමණ දෙනා කපා කොටා මරා දැමූහ. තවත් එවැනිම කිහිප ගුණයක් තුවාලවලින් මියගියහ.

බොහෝ පාලකයෝ ලැබූ ප්‍රතිඵලය මත සිදුකළ අපරාධයන්ගේ බිහිසුණු බවක් නොදකිති. එහෙත් තමා විසින් ආරම්භ කරන ලද එම බිහිසුණු ක්‍රියාවලිය අවසන් වීමටත් පෙර අශෝක අධිරාජයාට තම කටයුතු ගැන කම්පාවක් ඇතිවිය. යුද්ධයෙහි කෲරත්වය හා භයානකත්වය සියැසින් දැක සාමයත් සමග පසුතැවිල්ලට පත්ව සිටි අධිරාජයා මානසික වශයෙන් පීඩාකාරී ස්වභාවයකින් යුක්තව කල්ගත කළේය. මේ අතර න්‍රිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක පැහැදී ‘අප්පමාදෝ අමතපදං…’ යනාදී ධම්මපද ගාථාවෙන් බණක් අසා බුදුසමය වැළඳගත් බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන්ය. බුදු සමයේ බලපෑම මත රජවරුන්ගේ සිට ගොවියා දක්වා වූ සෑම තරාතිරමකටම අයත් මනුෂ්‍යයෝ වෙනස්වීම්වලට ලක්වූහ. භාරතයේ අශෝක අධිරාජයා මෙම වෙනස්වීම්වලට දැක්විය හැකි හොඳම උදාහරණයකි.

සෑම කෙනකුගේම ප්‍රශංසාවට හා අභිනන්දනයට හේතු වූයේ අශෝක චරිතයෙහි එක් පුවතකි. එනම් කාලිංග යුද්ධයෙන් පසු අධිරාජ්‍යය විශාල කිරීමේ ප්‍රතිපත්තිය අත්හැර දමා මහජන සුභසිද්ධියට තුඩුදෙන පාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමය. මෙම ප්‍රතිපත්තිය සඳහා අශෝක අධිරාජයා විසින්ම දෙන ලද නම ‘ධර්මවිජය’ යන්නයි. ධර්ම ප්‍රචාරයෙන් දේශාන්තර සුභසිද්ධිය සලසාලීමට ඉදිරිපත්වීම එමගින් අදහස් වෙයි.

අශෝක චරිතය කියවා ආශ්වාදයක් ලැබූ නූතන චින්තකයන්, දේශපාලනඥයන් හා ලේඛකයන් බෙහෙවින්ම ඇගයුවේ මෙම අධිරාජයා ගුණධර්ම පෝෂණයට ප්‍රමුඛ ස්ානයක් දීමෙන් පෙන්වූ ආදර්ශයයි. මිනිසුන් සුව කිරීම පිණිස පමණක් නොව සතුන් සුව කිරීම පිණිසත් ආරෝග්‍යශාලා තැනවීය. මංමාවත් කැප්පවීය. පුෂ්පාරාම, එලාරාම කරවීය. ගිමන් හල් තැනවීය. යාග හෝම සඳහාවත් සත්ත්ව ඝාතනය තහනම් බවට නියෝග කළේය. මෘග යාත්‍රා (විනෝද ගමන්) අත්හැර ධර්ම යාත්‍රාවෙහි යෙදුණේය. බුදුරදුන් වදාළ ‘සක්විති වත’ අශෝක අධිරාජයා අනුගමනය කළ බැව් ඉඳුරාම පැහැදිලි වෙයි. එතුමා තම නොදුටු මිත්‍ර දේවානම්පියතිස්ස රජුට එවූ පණිවුඩයේ මෙසේ සඳහන් වෙයි.

අහං බුද්ධං ච ධම්මං ච
සංඝං ච සරණං ගතො
උපාසකත්තං වෙදෙසිං
සාක්‍ය පුත්තස්ස සාසනෙ

(මම බුදුන්, දහම්, සඟුන් සරණ ගියෙමි. ශාක්‍ය පුත්‍ර වූ බුදුරදුන්ගේ සසුනෙහි උපාසක බැව් ගිවිස ගත්තෙමි. ඔබ ද සද්ධාවෙන් සිත පහදාගෙන තුනුරුවන් සරණ යා යුතුය.)

ලෝකයේ ප්‍රථම වරට පෘථුල වූත්, සාර්ථක වූත්, ජගත්ව්‍යාප්ත ධර්මදූත ව්‍යාපාරයක් ආරම්භ කළේ ද අශෝක අධිරාජයාය. මෙම ව්‍යාපාරය ඇති නොවන්නට අද වනවිට බුදු දහම ලෝකයේ නාමශේෂ බවට පත්වනු නොඅනුමානය. තෘතීය ධර්ම සංඝායනාවෙන් පසු එවකට දැන සිටි ලෝකයේ සියලුම රටවලට ධර්මයේ පණිවුඩය බෙදාහරිනු සඳහා එකී ධර්මදූත ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරිණි. මොග්ගලීපුත්ථතිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි රටවල් නවයකට ධර්ම දූත කණ්ඩායම් නවයක් පිටත් කොට හැරීය.

  1. කාශ්මීර ගන්ධාර දේශයට – මජ්ඣන්තික තෙරණුවන් ද, 2. මහිංසක මණ්ඩලයට-මහාදේව තෙරණුවන් ද, 3. වනවාසියට-රක්ඛිත තෙරණුවන් ද, 4. අපරන්තකයට-යෝනක ධම්මරක්ඛිත තෙරණුවන් ද, 5. මහාරාෂ්ට්‍රයට-මහා ධම්මරක්ඛිත තෙරණුවන් ද, 6. යෝනක ලෝකයට-මහා රක්ඛිත තෙරණුවන් ද, 7. හිමිවන්ත ප්‍රදේශයට-මජ්ඣිම තෙරණුවන් ද, 8. ස්වර්ණ භූමියට-සෝණ හා උත්තර යන තෙරණුවන් ද, 9. තම්බපණ්ණියට-මහින්ද තෙරණුවන් ද, ධර්මදූත සේවය සඳහා යොදවනු ලැබිණි.

අශෝක අධිරාජයා ධර්ම දූතයන් යැවූ රටවලින් ධර්මදූත ව්‍යාපාරය වඩාත් සාර්ථක වූයේ ලංකාවෙහිය. ආසියාව, අප්‍රිකාව හා යුරෝපය යන මහද්වීප තුනටම ධර්ම දූතයන් යවනු ලැබූ බව පෙනෙන අතර රට රටවල් සමග බෞද්ධ තානාපති සබඳකම් පවත්වාගෙන යෑම කෙරෙහි ද එතුමා උනන්දු වීය. එමගින් ද අපේක්‍ෂා කළේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කරවීමය. අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකරවූ එතුමා තමාගේ නමින් පාඨලී පුත්‍රයෙහි ‘අශෝකාරාමය’ ද කරවීය. එකම දිනෙක විහාර අසූහාර දහසෙහිම ධාතු නිධානෝත්සවය ද පවත්වා ඇත. කාර්යක්‍ෂම නිලධාරී මණ්ඩලයක විධිමත් සංවිධානය එමගින් කැපී පෙනෙයි.

ස්වකීය දියණිය හා පුතණුවන් ද බුදු සසුනෙහි පැවිදි කරවූ එතුමා ශාසන දායාදයට ද හිමිකරුවෙක් වූහ. මේ රටට බුදුදහම හඳුන්වා දුන්නේ අශෝක අධිරාජයාගේ පුත්‍රයකු වූ මිහිඳු මහ රහතන් වහන්සේය. උන්වහන්සේ, දඹදිව භික්‍ෂුණීන් අතර පැවිදි වී සිටි තම සොහොයුරියට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළහ. සංඝමිත්තා මෙහෙණිය තවත් භික්‍ෂුණීන් පිරිසක් ද සමග ලක්දිවට සැපත් වූහ. එතුමිය විසින් බුදුරදුන් බුද්ධත්වයට පත්වීමේදී සෙවණ ලබාදුන් බෝධි වෘක්‍ෂයේ ශාඛාවක් ද ලක්දිවට වැඩමවන ලදී. අශෝක අධිරාජයාගේ උපදෙස් පරිදි සියල්ලක්ම සිදු කෙරිණි.

ගුණධර්මයන්ගෙන් පෝෂිත දැහැමි සමාජයක් සඳහා ඇවැසි උපදෙස්වලින් යුක්ත ශිලා ලේඛන අශෝක සිය විජිතය පුරා පිහිටුවීය. ලොව ඉතා වටිනා ලේඛන ලෙස පිළිගැනෙන අශෝක ශිලා ලේඛන, අශෝක රජය පිළිබඳ සැබෑ තතු අනාවරණය කරයි. අශෝක, භාරතයේ සෑම වැදගත් ස්ථානයක් ම ආවරණය වන පරිදි සෙල් ලිපි 40 ක් පමණ පිහිටුවා ඇත. එමගින් අදහස් කළේ ද බුදුරදුන් වදාළ ධර්මය ජනතාව අතර ප්‍රචලිත කිරීමය. අශෝක අධිරාජයාගේ හැඟීම කුමක්ද? යන වග ‘හවන ගිරි’ ලිපියෙන් කියැවෙයි.

‘මුළු ලොවට හිතවැඩ සැලසීම මට අයත් කාර්යයක් කොට සලකමි, ලොවට හිතවැඩ සැලසීමට වඩා වටිනා සේවාවක් තවත් නැත. මාගේ සෑම වෑයමකින්ම කෙරෙන්නේ සියලු සත්ත්වයන් දෙලොවම සුවපත් කිරීමත්, මා ඔවුනට ඇති ණයෙන් නිදහස් වීමත්ය.’

අශෝක අධිරාජයාගේ විශ්වානුකම්පාව ප්‍රථම ‘ධෞලී’ ලිපියෙන් ද ප්‍රකට වෙයි.

‘සියලු සත්ත්වයෝ මාගේ දරුවෝය. මගේ ම දරුවන් කෙරෙහි මෙන්ම ඒ හැම ප්‍රජාවගේම මෙලොව-පරලොව යහපත ද සැපත ද සඳහා වෙහෙසීමට මම ආශා ඇත්තෙමි’

අශෝක අධිරාජයා ජනතාවට කැමති ආගමක් ඇදහීමේ නිදහස ලබා දුන්නේය. බලෙන් ආගම් ව්‍යාප්ත කිරීමට එකඟ නොවූයේය. සැදැහවත් බෞද්ධයකු වූ එතුමා ජෛනාගමට ද සැලකිලි දැක්වීය.

යහපත් වූ අන්තර් පුද්ගල සබඳතාවන් යටතේ සාරධර්ම අතින් ජනතාව පෝෂණය කිරීම සඳහා අශෝක අධිරාජයා සකස් කරගත් ධර්ම මාර්ගය පිළිබඳ නූතන විද්වතුන්ගේ මත කිහිපයක් මෙසේය.

‘අශෝකගේ ධර්මය දේශපාලනය හා සදාචාරය අන්තර්ගත රාජ ධර්මයකි‘(ප්ලිට් හා බියුලර්)

‘එය සෑම ආගමකටම පොදු වූ ධර්මයකි’ (වින්සන්ට් ස්මිත්)

‘අශෝකගේ ධර්මය බුදුදහමින් උපුටාගත් ධර්මයකි‘ (සේනාර් හා හුල්ට්ස්)

‘අශෝක ධර්මයෙහි දෙවියකු ගැන හෝ ආත්මයක් ගැන හෝ බුදුන් ගැන හෝ බුද්ධ ධර්මය ගැන හෝ කිසිම සඳහනක් නැත.’ (රීස් ඩේවිඩ්ස්)

‘අශෝකගේ ධර්මය බුද්ධ ධර්මයේ ලෞකික අංශය පිළිබඳ මූලධර්ම හා සාකල්‍යයෙන් ම ගැළපෙන අතර අනෙක් ආගම් හා දර්ශන මගින් ඉදිරිපත් කොට ඇති මූලධර්මයන්ට පටහැනි නොවේ. (ආචාර්ය බරුවා)

බුදුසමයේ ප්‍රායෝගික අංශය ක්‍රියාත්මක කරලීම සඳහා ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකු උපයෝගී කොටගත් ධර්මය හා ධර්මාන්විත පිළිපැදීම් මාර්ගයක් අශෝක ධර්මයෙන් පිළිබිඹු වෙයි. අශෝක ධර්මය සරලය, ප්‍රායෝගිකය. අනවශ්‍ය වාද විවාදාදියෙන් තොරය. එහෙත් එමගින් සෑම මනුෂ්‍ය දුබලතාවයකටම පිළියමක් ඉදිරිපත් කොට ඇත.

‘ඉන්දියාවේ බෞද්ධ අධිරාජයා’ නම් ග්‍රන්ථයේ ‘වින්සන්ට් ස්මිත්’ මෙසේ සඳහන් කරයි.

‘ශාන්ත පෝල් ක්‍රිස්තියානි දහමට කළ සේවය වැන්නක් අශෝක බුදුදහමට සිදුකර ඇත. එහෙත් ශාන්ත පෝල් ක්‍රිස්තියානි ධර්මය විකෘති කළාක් මෙන් අශෝක බුදුදහම විකෘති කළේ නැත. ඔහු එම ධර්මය පතුරුවා හැරියේ එහි වූ මූලික පවිත්‍රතාව සමගය.’

අශෝක අධිරාජයාගේ ධර්මවිජය පිළිවෙත

ඌරුගමුවේ අස්සජි හිමි.

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment