අෂ්ටාංගික මාර්ගයේ එන්නත විදගැනීම..

278

පින්බර ඇසළ මාසය උදාවෙලා. තවත් සුන්දර වස්සානයක මතකය අපි හැමෝගේම සිත් තුළ අවදිවෙනවා. මේ දිනවල වරින් වර ඇද වැටෙන පොද වැස්ස, වස්සානය ගැන අවදිවන මතකය තව තවත් ශක්තිමත් කොටදෙනවා. ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම අපි, කොරෝනා අකුසලයේ කරවටක් ගිලී සිටින මොහොතක, විපාකදෙන අකුසලය ධර්මානුකූලව කළමනාකරණය නොකරගැනීම නිසාම, කොරෝනා අකුසලය මුල්කරගෙන තව තවත් සමාජ අර්බුදයක් නිර්මාණය කරගනිමින් සිටින අවාසනාවේ මොහොතක උදාවෙන මේ සුන්දර වස්සානය, අපි හැමෝටම සුන්දර අවස්ථාවක් ලබාදෙනවා. විපාකදෙන අකුසල් යටපත් කොටගෙන, ලෞකික සැපයට අදාළව, කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින අපේ ජීවිතවලට එකතුකොටදීමට.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම පිංවතෙක් සහ පිංවතියක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා. පංච උපාදානස්කන්ධය කෙරෙහි අසීමිත තෘෂ්ණාව නිසාම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නත ශරීරගත නොකරගැනීම හේතුවෙන් සකස්වෙන මේ සුව කළ හැකි සහ ඇලීම් සහ ගැටීම් කියන විෂබීජයන් මඟින්, වේගයෙන් බෝවෙන මෙම වසංගත මානසික රෝගි, රෝග කාරකය, අපේ සමාජයෙන් යම් පමණකට හෝ පාලනය කොට ගැනීමට, ඉදිරියේ උදාවෙන වස්සානය අපි හැමෝටම හොඳ අවස්ථාවක් වෙනවා. රූපයන් කෙරෙහි තෘෂ්ණාව හේතුවෙන් අපේ ඵස්සයෙන් කඩා හැලෙන ඇලීම් සහ ගැටීම් ක‍්‍රියාකාරකම්වලට සංචරණ සීමාවන් අපිම, ස්වයංව පනවා, තෘෂ්ණාවේ පාලනයට හේතුවෙන අත්‍යවශ්‍ය උපේක්ෂා සහගත සිතුවිලිවලට පමණක්, නිදහසේ ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය විනයානුකූල හික්මීමක් ලබාදීමට, මේ උදාවෙන වස්සානය අපි ප‍්‍රයෝජනයට ගත යුතු වෙනවා.

අෂ්ටාංගික මාර්ගයේ එන්නත විදගැනීම..

අපි කාටවත් තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. පිනෙන්, කුසලයෙන් ගුණාත්මක වස්සානයක සැබෑ අරුත අපි මතුකොට ගැනීමට නම්, ගිහි සහ පැවිදි අපි දෙපාර්ශවයේම ධර්මානුකූල කැපවීම අත්‍යවශ්‍ය වෙනවා. දයාබර පිංවත, ලෝකය මනුෂ්‍යයා, මනුෂ්‍යයාව මරාදමන වියරුවක් නොවී, තවමත් සදාචාරාත්මකව සහ යම් හෝ ගුණාත්මකභාවයකින් පවතින්නේ, උතුම් ශ්‍රී සද්ධර්මය මතුකොටදි තිබෙන, උතුම් දානයේ, ශීලයේ, මෛත‍්‍රියේ අර්ථයන් නිසාමය. එය එසේ නොවන්න අපි සියල්ලෝම, මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන, ආයුධ අතදරාගත් වියරු අමනුෂ්‍යයෝමය. සංස්කාර මාරයාගේ ග‍්‍රහණයට නතුවූ මේ පංචඋපාදානස්කන්ධ ලෝකය ඉල්ලා සිටින්නේ, සද්ධර්මයේ ඇත්ත නොව අවිද්‍යාවේ බොරුවයි. පිංවත ඔබේ අහිංසක පංචඋපාදානස්කන්ධ ලෝකයට නන්නත්තාරයේ යන්න දෙන්න එපා. ඔහු, ඇය හරිම අහිංසකයි, කරුණාවන්තයි, මෛත‍්‍රීසහගතයි, පරිත්‍යාගශීලියි. පිංවත උපේක්ෂාසහගත සිතින් ඔබේ ඵස්සය දෙස බලන්න, සත්‍යකින්ම ඔබට වැටහේවි, ඔහු, ඇය මොනතරම් නම් අහිංසකද කියලා. අවිද්‍යාව නිරෝධය කළ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ ඵස්සයේ අවිහිංසකභාවය. අවිද්‍යාව නිරෝධය කළ යශෝධරා උත්තමාවියගේ, උප්පලවන්නා උත්තමාවියගේ ඵස්සයේ අවිහිංසකභාවය, නිහතමානිභාවය, විනයගරුකභාවය, පිංවත් ඔබ මොහොතක් සිහියට නගාගන්න. පිංවත අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙනකොට අවිද්‍යාවේ ඉන්ධන මිල හොඳටෝම අඩුවෙලා යනවා, අඩුවට දෙනවා නම් දෙමළ පත්තරයත් මොකද, කියන්නා සේ අපි අපේ විඳීම්, ඇලීම් සහ ගැටීම් නමැති මිල අඩු, අවිද්‍යාවේ ඉන්ධනවලින්මයි පුරවාගන්නේ. එ් නිසාම අපි සංස්කාර ලෝකය තුළ, පටිච්චසමුප්පන්නව අධිවේගයෙන් අපේ ජීවිත පදවාගෙන යනවා.

පිංවත මොහොතක් ඔබේ ජීවිතය ඔය පාර අයිනේ තිබෙන, උපේක්ෂා මංතීරුවේ නවතාගන්න. සළායතනයන්ගේ ඵස්සය නමැති තිරිංග, සතිය සිහිය නමැති කකුලෙන් තදින් පාගාගන්න. දැන් ඔබේ ජීවිතය නමැති වාහනය නැවතිලා. හැබැයි ඵස්සය නමැති එන්ජිම ක‍්‍රියාත්මකවයි තිබෙන්නේ. දැන් පිංවත් ඔබ උපේක්ෂාවේ සිතින් සමාජය දෙස බලන්න. අවිද්‍යාවේ ඉන්ධන මිල අඩු නිසාම, මනුෂ්‍යයාගේ ජීවිත ඇලීම් සහ ගැටීම්, මංතීරු දෙකේ අශ්ව වේගයෙන් දුවන හැටි නුවණින් දකින්න. අපිට දියව්, වරෙව්, ගසව්, භංගවේවා, අධිවේගයෙන් දිවෙන වාහන ඔබට පෙනෙනවා නේද. සමාජය තුළ මනුෂ්‍ය හිංසනය වැඩිවෙලා, කාමයේ වරදවා හැසිරීම, මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිතයත් වැඩිවෙලා, අතීතයේ අපි දැක්කේ පිරිමි පක්ෂය ගහ මරාගන්නවා. වර්තමානයේ කාන්තා පක්ෂයත් ප‍්‍රසිද්ධියේ රණ්ඩුවෙන්න යනවා, අවිද්‍යාවේ ඉන්ධන මිල අඩු නිසාම, මනුෂ්‍ය ජීවිත සිත්සේ සංස්කාර ලෝකය පසුපස දිවයනවා. අරුමයක්, පුදුමයක් නැහැ, අපි මේ දකින්නේ සුන්දර ධර්මයක්. පිංබර වස්සානය ඔබ ඉක්මනට එන්න, අවිද්‍යාවේ තෙල් මිල තව අඩුවෙන්න දෙන්න එපා. උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි, අවිද්‍යාවේ තෙල් මිල වැඩි කරලා, ලෝභ, ද්වේශ, මෝහයන්ගේ වේගය ඔබ තුළින් පාලනය කොටදෙන්නේ.

මේ ලිපිය සටහන් තබන මොහොතෙන්, වැසි පොද වැටෙනවා. අපිට නොතේරුණාට පරිසරය අපි සමග තරහවෙලා. අපි කැමති විදිහට, පරිසරය ප‍්‍රතිචාර දක්වන්නෙම නැහැ. පරිසරය හරිම අකීකරුයි. වර්තමානයේ විපාකදෙන කොරෝනා අකුසලය නිසා, මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධයන් තෘෂ්ණාවෙන් ගිනිගන්නවා වගේම, පරිසරයට අධිගෘහිත අමනුෂ්‍යයින්ගේ, යක්ෂයින්ගේ පංචඋපාදානස්කන්ධයනුත් ඇලීම් සහ ගැටීම්වලින් ගිනිගන්නවා ඇති. උපාදාන පච්චයා භවය කියන ධර්මතාවය හේතුවෙන් මනුෂ්‍යයා තුළ මහ සාගරය කෙරෙහි තෘෂ්ණාව වැඩිවෙත්දි, මහා සාගරයේ අසුර ග‍්‍රහණය වැඩිවෙනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව පරිසරය කෙරෙහි, මහපොළව කෙරෙහි, අසීමිත ලෙස වැඩිවෙන කොට, පටිච්චසමුප්පන්නව පරිසරයේ අමනුෂ්‍ය ග‍්‍රහණයන් වැඩිවෙනවා. කොරෝනා අකුසලය නිසාම, පිංවත් මනුෂ්‍යයින් වගේම, මෙම අමනුෂ්‍යයින්ද මානසික ආතතියෙන් ජීවත්වෙන්නේ. මේ කාටවත් සිත්සේ කාමච්ඡන්දයන් විඳින්න බැහැ. මේ මනුෂ්‍ය සහ අමනුෂ්‍ය ඇලීම් සහ ගැටීම්වල පුපුරායෑමයි සමාජය තුළ අපි දකින්නේ.

වර්තමානයේ කෝටි ගණනක් දේශීය සහ විදේශීය සංචාරකයෝ මුහුදට බැහැල, දියනාන්නේ, විනෝද වෙන්නේ නැහැ. අඩනිරුවතින් මුහුදේ දිය නාන කාන්තා සහ පිරිමින්ගේ ශරීරයේ දැවටී, කාමච්ඡන්දයන් විඳින අසුරයින්ට අද එ් කාමච්ඡන්දයන් විඳින්න විදියක් නැහැ. එ් නිසාම අසුරයෝ මනුෂ්‍ය අපි වගේම මාරාවේශයෙන් ජීවත්වෙන්නේ. මහ සාගරයේ නැව් ගිනිගන්නවා. මුහුද ආශ‍්‍රිත අනතුරු වැඩියි. විශාල ගොඩනැඟිලි කඩා වැටෙනවා. වියරු නායයාම් සිද්ධවෙනවා. අව්ව සහ වැස්ස අකීකරුවෙලා. පරිසරය උපාදානය කොටගෙන ජීවත්වෙන අමනුෂ්‍ය කොටස්, මනුෂ්‍ය අපි වගේම දියව්, වරෙව්, මාර භාෂාවෙන්ම කතා කරන හඬයි, මේ සිදුවෙන පාරිසරික විකෘතීන්ගෙන් ඇසෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මනුෂ්‍යයා පිරිහෙනකොට, දෙවියනුත් පිරිහෙනවාය කියලා. මනුෂ්‍යයා පිරිහෙනකොට, දෙවියනුත් පිරිහෙද්දී, අමනුෂ්‍යයින් ගැන කුමන කතාවක්ද. පිංබර වස්සානය ඔබ ඉක්මනට එන්න, අසරණ අපේ කුසල් සිත්, මෝදුකොට දෙන්න. සියලූ සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. සද්ධර්මයේ ආශ්චර්ය එ්හිපස්සිකව අපි ඉදිරියේ බබලනවා. අසූහාරදහසක් ධර්මස්කන්ධය අපේ දෑස් ඉදිරිපිට වැඩ සිටිනවා. එහෙත් අපි අහක බලාගෙන, තවමත් සෙලියුලර් දුරකතනයේ බොත්තම් ඔබනවා.

උදාවෙන පිංබර වස්සානය, අපි ඔබව ගෞරවයෙන් පිළිගන්නවා. අපි වෙනුවෙන් නොවේ, පිංවත් ඔබ සැවොම වෙනුවෙන්. පිංවත කරුණාකර ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් තොරව වස්සානය පිළිගන්න. සක්කාය දිට්ඨියේ කුණු හැව, ගලවා දමා වස්සානය පිළිගන්න. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් සකසා, ප‍්‍රනීතව, සියතින්ම වස්සානය පිළිගන්න. සුන්දර වස්සානය තවත් අකුසලයේ ගංවතුරක් උදෙසා ප‍්‍රයෝජනයට ගන්න එපා. අපිට ජීවත්වෙන්න ඉතිරිවෙලා තිබෙන්නේ තව බොහෝම කෙටි කාලයයි. ඔබ ගැන, මම ගැන නොසිතා, අවිද්‍යා පච්චයා සංඛාරා යැයිම සිතන්න. එවිට ඔබේ ජීවිතයට හිස් බවක් දැනේවි. එ් සිතත් චිත්තානුපස්සනාවටම භාරදෙන්න.

ඊයේ පිංවත් මහත්මයෙක්, භික්ෂුව මුණගැසීමට පැමිණියා. ඔහු මුව ආවරණයක් පැළඳගෙන පැමිණියේ නැහැ. භික්ෂුව ඔහුගෙන් ඇසුවා, මහත්මයා එන්නත් විදගෙනද තිබෙන්නේ කියලා. ඔහු නැහැ කියලා කිව්වා. විනයක් නැති අහිංසකයෙක්. මේක භයානක මානසික ව්‍යාධියක්. මේ ව්‍යාධියම තමයි ධර්මයේ සක්කායදිට්ඨිය කියලා කියන්නේ. මම ධර්මයේ හැසිරෙනවා මට කොරෝනා හැදෙන්නේ නැහැ. විනය රැකුනොත් පමණයි, පිංවත් මහත්තයෝ, සද්ධර්මය රැකෙන්නේ. විනයක් නැති තැන, ඔබට ආරක්ෂා වෙන්න එතැන සද්ධර්මයේ ආරක්ෂාවක් කොහින්ද. කරුණාකර, පිංවත් ඔබ අනාරක්ෂිත වුණාට කමක් නැහැ. අහිංසක අපිව අනාරක්ෂිත කරන්න එපා.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ කැමති රසායනික පොහොරවලටද, කොම්පොස්ට් පොහොරවලටද කියලා. භික්ෂුවගේ පිළිතුර වුණේ, මහත්තයෝ, රසායනිකත් කොම්පොස්ට්ටුත් යන දෙකම මාරයාය කියලා. භික්ෂුව කැමති මේ දෙකෙන්ම මිදීම ලබාදෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයටයි කියලා. මාරයා සරණ ගියොත්, ඔබත් මාරාවේශ වේවි. නගරයේ වසාදැමූ රසායනික පොහොර කඬේ ඉදිරිපිට තිබෙන අරක්කු කඬේ, මේ සැන්දෑවෙත් පාරිභෝගිකයෝ පෝලිම් ගැහිලා. පිළිකා සහ වකුගඩු කතා මුකුත්ම නැහැ.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment