අසංවේදීව තීරණ ගැනීමෙන් ජනතා නොසන්සුන්තා උග‍්‍රවෙනවා

321

– මහ නාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

මහජන පීඩාවන් පිළිබඳව අසංවේදීව තීන්දු තීරණ ගැනීම ජනතා නොසන්සුන්තාවන් තවත් උත්සන්නවීමට හේතුවන හෙයින් අර්බුදයේ ස්වභාවය පිළිබඳව අවබෝධයෙන් වටහාගෙන මහජනතාවට පිළිගත හැකි විසඳුම් නිසි යාන්ත‍්‍රණයක් මගින් සමාජ ගතකිරීමට රාජ්‍ය පාලන තන්ත‍්‍රණය ක‍්‍රියා කළ යුතු බව මහ නාහිමිවරුන් ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් පෙරේදා (02දා) රජයෙන් ඉල්ලා සිටියහ.

මේ ආපදා අවස්ථාවේ මහජනතාව වෙත එල්ලවී ඇති ආර්ථික පීඩනය අවම කිරීමට රජයේ සියලූ අනවශ්‍ය වියදම් ඉවත් කර අමාත්‍ය වරප‍්‍රසාද මහජන සුබ සාධනය වෙනුවෙන් කැප කර මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමෙහිලා මහජනතාව වෙත අවශ්‍ය සහන කඩිනමින් ලබා දෙන ලෙසද උන්වහන්සේලා එමගින් අවධාරණය කර සිටිති.

ඉවසීමෙන් හා බුද්ධියෙන් විශේෂඥ උපදෙස් වෙත නම්‍යශීලීව මෙම ආර්ථික අවපාතය හේතුවෙන් උද්ගතවී ඇති ගැටලූවලට විසඳුම් සෙවිය යුතු බව ද එමගින් පෙන්වා දී තිබේ.

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල, මල්වතු මහනාහිමි, අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන අස්ගිරි මහ නාහිමි, අතිපූජ්‍ය මකුලෑවේ ශ‍්‍රී විමල, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නාහිමි, අතිපූජ්‍ය දොඩම්පහළ ශ‍්‍රී චන්ද්‍රසිරි, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහනාහිමි යන මහනාහිමිවරු මෙම ඒකාබද්ධ ප‍්‍රකාශයට අත්සන් තබා තිබේ.

එහි මෙසේද දැක්වේ.

අද වනවිට රටේ සමස්ත මහජනතාව ඉහළ යන ජීවන වියදම හේතුවෙන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ලෙස අපි මහත් සංවේගයට පත්වෙමු. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සපයා ගැනීමේදී මෙන්ම ඉන්ධන, විදුලිය ගෘහස්ථ ගෑස් අවශ්‍යතා සපයා ගැනීමේදී මුහුණදෙන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත්ව සිටිති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිදි මහජනයා විෂයෙහි සංවේදීව දානය, ප‍්‍රියවචනය, අර්ථචර්යාව හා සමානාත්මතාවයෙන් යුතුව අක්‍රෝධ අහිංසාවාදී දසරාජ ධර්ම පදනම්ව මූලික මහජන අවශ්‍යතා පූරණය කරමින් මහජන සුරක්ෂාව උදෙසා කටයුතු කිරීම රජයක යුතුකම සහ වගකීමයි.

උද්ගතව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය විසඳා ගත හැක්කේ රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, ¥ෂණය පිටුදැකීම, රටේ මහජන අවශ්‍යතා මත පදනම්ව ප‍්‍රමුඛතා ගත කළ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම, තිරසාර ජාතික ප‍්‍රතිපත්තියක් මත පදනම්වූ රටට වඩාත් උචිත වූ දේශීය ආකෘතියක් ගොඩනැඟීම හරහා පමණක් බව අපගේ විශ්වාසයයි.

ධර්මානුකූල ප‍්‍රතිපත්තියෙහි පිහිටා විපතේදී ශෝක කිරීම ප‍්‍රතික‍්‍රියාවක් නොවන බව අවබෝධ කරගෙන ප‍්‍රඥාව පෙරදැරි කරගත් වීර්යයෙන් යුතුව සියු යුතුකම් හා වගකීම් වටහාගෙන දේශය ආරක්ෂාව හා මහජන සුබසාධනය උදෙසා කැපවී කටයුතු කිරීමට සැමට රත්නත‍්‍රයේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර සිටුම්හ’ යනුවෙන් ද එහි දැක්වේ.

සමන්තී වීරසේකර – සිරිල් විමලසුරේන්ද්‍ර -මහනුවර
 

advertistmentadvertistment
advertistmentadvertistment