අසරණ රාළහාමිලා වෙනුවෙන් පොලිස්පතිතුමාගෙන්  අප කරන ඉල්ලීම

1436

තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව සිය ව්‍යාපාරය ජයට කරගෙන ගිය කාලයේදී ඇය ළඟ විශාල මුදලක් ආයෝජනය කළ භික්ෂුන් වහන්සේ නමක් ඇය අත්අඩංගුවට පත්වීමට පෙර, කොළඹ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් හි පිහිටි ඇගේ කාර්යාලයට ගොස් මහ හඬින් කෑ ගසා පොළවේ අඩි හප්පා ස්වකීය මුදල් නැවත ලබාගත් බව දැන ගන්නට තිබේ. මෙහිදී අපි කිසියම් ප්‍රශ්නයක් මතු කරමු. මෙය ශාසනික ප්‍රශ්නයක් නොවන ජාවාරම් ප්‍රශ්නයකි. මේ රටේ භික්ෂුන් වහන්සේලා සෑහෙන පිරිසකට බෙන්ස් කාර්, බී.එම්.ඩබ්ලිව්, ජගුවර්, මොන්ටෙරෝ, ප්‍රාඩෝ, V 8 වැනි රථ වාහන තිබේ. මෙවැනි චීවරධාරීන්ට නැත්තේ හෙලිකොප්ටර් පමණි. කව්රුහරි ඇහුවොත් මේ සියලුම චීවරධාරීන් කියන්නේ ස්වකීය දායකයන් මෙවැනි සුඛෝපභෝගී රථ තමන්ට පූජා කළ බවය. දායකයන් චීවරධාරීන්ට රථ පූජා කරන්නේ ඊළඟ ආත්මයේදී රථ ගාය සෑදීම වළක්වා ගැනීම සඳහා ද? නූතන වෛද්‍යවරු කුඩා දරුවන්ට රත කල්කය දීම නුසුදුසු බව නිර්දේශ කරති. ඔවුන් කියන්නේ රත කල්කය වෙනත් ලෙඩ වලට හේතුවක් විය හැකි බවය. එබැවින් තමන්ගේ ඊළඟ ආත්මය වන විට ආණ්ඩුව විසින් රත කල්කය තහනම් කිරීමට ඉඩ ඇති බව පෙර කී ව්‍යාපාරිකයන් සිතනවා වන්නට පුළුවන. ඒ නිසා වඩාත්ම සුදුසු දේ වන්නේ රත ගාය නොහැදෙන පරිදි කුසල කර්මයක් සිදුකර ගැනීමය. මෙහිදී බුද්ධ චරිතයෙන් අල්පයක් උපුටා දක්වමු. ගිහිගෙය අත්හැර ශ්‍රමණයකු බවට පත්වී සිද්ධාර්ථ කුමාරයා කිසි කලෙකත් කරත්තයක් පාවිච්චි කලේ නැත. උන්වහන්සේ දඹදිව පුරා පා ගමනින්ම වැඩම කළහ. උන්වහන්සේගේ දායකයන් ලෙස විවිධ දේ පූජා කිරීමට එකල දඹදිව සිටි සියලු රජවරුද සොළොස් මහා ජනපද පාලනය කළ යුව රජවරුද මහත් කැමැත්තෙන් සිටියහ. බුදුන් වහන්සේ එක පණිවුඩයක් යැව්වේ නම් ජේතවනාරාම භූමිය පරිත්‍යාග වශයෙන් ලැබෙන අශ්ව රථ වලින් පිරී යෑමට ඉඩ තිබිණ. එහෙත් මේ උත්තම පුරුෂයා පරිනිර්වාණ මංචකය දක්වාම ගියේ පා ගමනිනි. AC කළ ආවාස ගෙවල්, ලයිට් වැල් වලින් සරසන ලද විහාර ගෙවල් නොතිබූ ඒ කාලයේ ජිවත් වූ සරල මිනිස්සු සරල ආගම් වක්තෘවරයකු සහ සංකීර්ණ දාර්ශනිකයකු වූ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ දහම පිළිපැද්දේ හැකි හැම විටම දනක් පිනක් කිරීමේ උතුම් අරමුණිනි. එහෙත් එදා තිබූ ඒ අරමුණු අද තිබෙන පුණ්‍යකර්ම වැනි Flash වැඩ නොවේ. අද මේ රටේ මිනිස්සු බුදුන් වහන්සේ වෙනුවෙන් කරන පිංකම් බොහොමයක් සංගීත සංදර්ශන හා සමානය. මියුසිකල් ගෲප් ඇරුණු විට අනෙක් හැම විකාරයක්ම මේ පිංකම්වල තිබේ. කිසියම් චීවරධාරියෙක් තිලිණි ප්‍රියමාලි ළඟ මුදලක් ආයෝජනය කළා යැයි කීමම විශාල පාප කර්මයකි. එසේම ශාසනයට කෙරුණු නිග්‍රහයකි. මේ ගැන සොයා බැලීම අපගේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා විසින් කළ යුතුමය.

තිලිණි ප්‍රියමාලි මේ වන විට මේ රට තුළ ඵෙශ්වර්යා රායිට වඩා ජනප්‍රියය. ඇය පිළිබඳ කතන්දරය ලංකාවේ ජනප්‍රියම ගීත පහෙන් එකක් වන මාස්ටර් ගීතයට වඩා ජනප්‍රියය. (මාස්ටර් සර් ගීතය ජනප්‍රිය බව සොයාගන්නා ලද්දේ විශ්වවිද්‍යාල සිසුන් විසින් කළ සමීක්ෂණයකිනි) දැනට දැන ගැනීමට ඇති පරිදි තිලිණි පාසල් ගියේ අටේ පන්තියට පමණි. එහෙත් ඇය කළේ යැයි කියන දේවල් හැටේ පන්තිය දක්වා උගත් කෙනකුටවත් කිරීමට බැරිය. (හැටේ පන්තිය යනු කල්පිතයකි. එය භෞතික වශයෙන් පවතින්නක් නොවේ) රටේ සිටින සියලුම පල් හොරුන් ඇය සමග ගනුදෙනු කිරීම අපට ප්‍රශ්නයක් නොවේ. අපට තිබෙන ප්‍රශ්නය චීවරධාරීන්ද ඇයට හසුවීමය. ඇය රටේ ජනප්‍රිය පුද්ගලයන් වැඩි දෙනෙක් ඇසුරු කරමින් වෙනම මාධ්‍ය අංශයක් ද පවත්වාගෙන යමින් වර්ණවත් වැස්මක් සහිත අද්භූත ජීවිතයක් ගත කළාය. ඇයට පාට් ටයිම් උදව් කළ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ ඉරණමද විසඳෙන්නට යතැයි කතාවක් පවතී. සල්ලි එහා මෙහා වීසි කිරීමට හැකි ජනප්‍රිය චරිත සමග මේ රටේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ට සම්බන්ධකම් තිබේ. එයට හේතුව මේ රටේ පොලිසිය යනු අන්තිම හිඟන පඩි ගෙවන නිලධාරීන්ට promotion නොදෙන ඉහළ සිටින නිලධාරියා විසින් අනුක්‍රමයෙන් පහළ සිටින නිලධාරියා සූරාකනු ලබන ආයතනයක් වීමය. තිලිණිගෙන් ලොකු ජරාව කුට්ටි කෑ ඉහළ පොලිස් නිලධාරීන් ඇගේ සුළු කටයුතු සඳහා පහළ පොලිස් නිලධාරීන් යොදවන්නට ඇති. හැබැයි වෙඩිල්ල පත්තු වන විට හැඳි ගෑවී යන්නේ ඉහළ පොලිස් ලොක්කා නොව පහළ සිටින දුප්පත් රාළහාමි ය. මෙය මේ රටේ පාරම්පරික ක්‍රමවේදයකි. මෙයට කලකට පෙර කොළඹ ටවුන් හෝල් එකේ සුඛෝපභෝගී මන්දිරයක විසූ කාන්තාවක් බූරුපළක් පවත්වාගෙන ගියාය. ඇගේ පෙම්වතා වූයේ 2015 ට කලින් තිබූ ආණ්ඩුවේ සිටි මීඩියා ලොක්කෙකි. මේ මීඩියා ලොක්කා එවකට සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ගජ මිතුරෙකි. සිය පෙම්වතියගේ බූරුපළට පොලිස් ආරක්ෂාව දීම මැනවයි හැඟුණු බැවින් මාධ්‍ය ලොක්කා පෙරකී ඩී.අයි.ජී. ලොක්කා ලවා පෙර කී බූරුපළට පොලිස් ආරක්ෂාව ලබා දුන්නේය. පෙම්වතකු වශයෙන් ගත් කල සිය පෙම්වතිය වෙනුවෙන් මාධ්‍ය ලොක්කා කළ කැපවීම කෙරෙහි අප තුළ මහත් ගෞරවයක් පවතී. හොඳ පෙම්වතෙක් යනු හොඳ මිනිහෙකි. එහෙත් අපට ඇති ගාය නම් ඔහු සිය පෙම්වතියගේ බූරුපළට ආරක්ෂාව දෙන්නේ ආණ්ඩුවේ පොලිස් රාළහාමිලා යොදවා වීමය. ඔහු පෞද්ගලික ආරක්ෂක සේවයක් ලවා පෙම්වතියට ආරක්ෂාව දුන්නේ නම් එය මහඟු ක්‍රියාවකි. අන්තිමට මේ ගැන වෙඩිල්ල පත්තුවුණු පසු බූරුපළ හිමිකාරියට ආරක්ෂාව සැපයූ සාමාන්‍ය පොලිස් රාළහාමිලා වැඩ තහනමකට ලක්වූහ. ඩී.අයි.ජීට කිසිදු කරදරයක් වුණේ නැත. මාධ්‍ය ලොක්කා ද කිසි කලබලයක් නැතුව ආණ්ඩුවේ රාජකාරි කරගෙන ගියේය. ප්‍රියමාලිගේ සිද්ධියේදී ද මෙවැනි දෙයක් සිදුවන්නට ඇතැයි අපි අනුමාන කරමු. එබැවින් ඇය වෙනුවෙන් පාට් ටයිම් කළ රාළහාමිලා දඬුකඳේ ගැසීමට පෙර ප්‍රියමාලි සුරැකීමට ඕඩර් නිකුත් කළ පොලිස් ලොක්කන් කව්දැයි සොයා බලන ලෙස අපි පොලිස්පතිගෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment