අස්කරන්නට පෙර අස්වූ විරාත් කණස්සල්ලෙන් ද ?

491

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-1 ලෙස පරාජය වී දිනකට පසුව ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව ට්විටර් හරහා නිවේදනය කර සිටියේය. මෙය ඉන්දියාව පමණක් නොව ලෝකයේම මාධ්‍යවලට ප‍්‍රමුඛ පුවතක් විය. ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ප‍්‍රකාශ කරමින් ට්විටර් මගින් පළකර තිබූ නිවේදනයේ මෙලෙස සඳහන් විය. ‘‘ඉන්දීය කණ්ඩායම නිවැරදි මාවතකට ගෙනයෑමට වසර 7ක් වෙහෙස මහන්සි වී නොපසුබට උත්සාහයෙන් කටයුතු කළෙමි. මම අවංකව එම කාර්යය ඉටු කර තිබේ. සෑම දෙයක්ම යම් අවධියක හෝ නතර විය යුතුය. මම ඉන්දියාවේ ටෙස්ට් නායකයා ලෙස ගිය ගමනේ ජයග‍්‍රහණ මෙන්ම පසුබෑම් සිදුවී ඇත, නමුත් කිසි විටෙකත් උත්සාහයේ අඩුවක් හෝ විශ්වාසයක් පහළ යෑමක් නොතිබුණි” 33 හැවිරිදි විරාත්ට ටෙස්ට් නායකත්වය ලැබුනේ මහේන්ද්‍ර සින් දෝනි නායක ධුරයෙන් හා ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගන්නා බවට නිවේදනය කළ පසුවය. 2015 ජනවාරි සිට 2022 ජනවාරි දක්වා විරාත් නායකත්වයේ කටයුතු කළේය. ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 68 කට ක‍්‍රීඩා කර ඇති අතර එයින් 40ක් ජයග‍්‍රහණය කර ඇති අතර 17ක් පරාජය වී තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. විරාත්ගේ ජයග‍්‍රහණ ප‍්‍රතිශතය 59%කි.

ඇත්තෙන්ම ඔහු ඉන්දියාව එතෙක් මෙතෙක් බිහිකළ හොඳම ටෙස්ට් නායකයා බව අවිවාදිතය. පසුගිය වසරේ සැප්තැම්බරයේ පැවතී 20-20 ලෝක කුසලානයෙන් පසු තමා එම තරගවලට නායකත්වය දීමෙන් ඉවත්වන බව විරාත් ප‍්‍රකාශ කළ අතර එසේම අයීපීඑල් හි ඔහු නායකත්වය දරන රෝයල් චැලේන්ජර් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉවත් විය. දෙසැම්බර් මාසයේදී මේ ක‍්‍රීඩකයා එක්දින නායකත්වයෙන් ඉවත් කිරීමට ඉන්දීය පාලක මණ්ඩලය පියවර ගෙන තිබිණි. මේ තීරණයත් සමග යම් ආන්දෝලනයක් ඇති වූයේ විරාත් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩල තීරණ අභියෝගයට ලක්කරමින් තනිවම පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ නිසාය. එය විරාත් හා පාලක මණ්ඩල සභාපති සව්රාව් ගංගුලි අතර ගැටුමක් ලෙස මාධ්‍ය හුවා දක්වා තිබිණි. කෙසේ නමුත් ඇත්තෙන්ම සව්රාව් ගංගුලි හා විරාත් අතර පැහැදිලි ගැටුමක් දක්නට ලැබිණි. බෙංගාලි බ‍්‍රාහ්මණ සව්රාව් පන්ජාබ් විරාත්ට කැමති වූයේ නැත. විරාත් දෙමල බ‍්‍රාහ්මණයකු වන රවිචන්ද්‍රන් අශ්වින් පැත්තකට කර තැබූ බවටත් මාධ්‍යවල පලවී තිබිණි. නමුත් කෝලි කෙතරම් බලවත් ක‍්‍රිකට් තාරකාවක් වුවද ඉන්දීය පාලක මණ්ඩලය හා ගැටීමට යෑමෙන් ඔහු පරාජයට පත්විය. ටෙස්ට් නායකත්වයෙන් විරාත් කෝලි ඉල්ලා අස්වූ පසු හිටපු ක‍්‍රිකට් නායක සුනිල් ගවස්කාර් ප‍්‍රකාශ කර තිබුණේ පාලක මණ්ඩලය ඔහුව අස්කිරීමට ප‍්‍රථම කෝලිම ඉල්ලා අස්වී ඇති බවයි. මේ ගැන තමා පුදුමයට පත්නොවන බවත් ගවස්කාර් පවසා තිබිණි. ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකාර ධුරයෙන් රවී ශාස්ත‍්‍රී ඉල්ලා අස්වීමත් සමග විරාත්ට යහපත් කාලයක් උදා වූයේ නැත. විරාත් සෙසු ක‍්‍රීඩකයන්ගේ අදහස්වලට කන් නුදුන් බවත් තනි මතයේම ක‍්‍රියා කළ පුද්ගලයකු බවටත් චෝදනා එල්ලවී ඇත. නමුත් මේ ක‍්‍රිකට් තාරකාව නායකත්වයට සමුදුන්නේ සතුටකින් නොවන බව පැහැදිලිය. විරාත්ගේ නායකත්වය යටතේ අයීසීසී ලෝක කුසලානයක් දිනා ගැනීමට නම් හැකියාව ලැබුනේ නැත. මෙය චෝදනාවක් ලෙසද ඔහුට එල්ලවේ.

නායකත්වයෙන් සමුගත් විරාත් ගේ නිළි බිරිඳ අනුෂ්කා ශර්මා සමාජ මාධ්‍ය වෙත හැඟීම්බර සටහනක් ලියා තිබිණි. ”මට මතකයි 2014 ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්න දෝනි තීරණය කරපු නිසා නායකත්වයට පත් කළා කියලා ඔයා මට කිව්ව දවස. මට මතකයි දෝනි, ඔබ සහ මම එදිනට පසුව කතාබහක නිරත වුණා. නායකත්වය භාර ගත්තට පස්සේ විරාත්ගේ රැවුල කෙතරම් ඉක්මනින් සුදු වීමට පටන් ගනීදැයි දෝනි විහිළු කළා. අපි හැමෝම ඒකට හොඳට හිනා වුණා. ඉන්දීය ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඔබේ වර්ධනය සහ ඔබේ නායකත්වය යටතේ කණ්ඩායම ලැබූ ජයග‍්‍රහණ ගැන මම ආඩම්බර වෙනවා. ඔබ තුළ ඔබ අත්පත් කරගත් වර්ධනය ගැන මම වඩාත් ආඩම්බර වෙනවා” අනුෂ්කා සිය සැමියා යම් හිතේ අමාරුවක සිටින බව හො`දින් දනී. විරාත් සුපිරි තාරකාවක් වුවද ඔහුද මනුෂ්‍යයෙකි. හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ගෞතම් ගාම්භීර් බ‍්‍රාහ්මණ වංශිකයෙකි. ඔහු වර්තමාන භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙකි. මොහු විරාත් සම්බන්ධව යම් විවේචනාත්මකව අදහස් දක්වා තිබිණි. ‘‘නායකකම කිසිවකුගේ ජන්ම අයිතියක් නොවේ විරාත් කෝලි ලකුණු ලබා ගැනීම ගැන වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනෑ” මෙහි නායකකම ජන්ම අයිතියක් නොවේ යැයි කීම හරහා හිටපු නායකයාට සරදමක් එල්ල කරයි. ජාතික කණ්ඩායම සමඟ කෝලිගේ භූමිකාව විස්තර කරමින් ගාම්භීර් ප‍්‍රකාශ කර තිබුණේ, ‘‘මම හිතන්නේ විරාත් කෝලි ලකුණු රැස් කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඔබ ඉන්දියාවට ක‍්‍රීඩා කිරීමට සිහින දකින විට ඔබ නායකයකු වීමට සිහින දකින්නේ නැත, ඔබ සිහින දකින්නේ ජයග‍්‍රහණය ගැන පමණකි.

ඇත්තෙන්ම කෝලි වසර දෙකකින් ජාත්‍යන්තර ටෙස්ට් ශතකයක් රැස්කර නොමැත. හිටපු එංගලන්ත ක‍්‍රිකට් නායක ඇලිස්ටයාර් කුක් සඳහන් කර තිබුනේ විශිෂ්ට නායකයකු ලෙස ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ලොව අංක එකේ තැනට ගෙන ඒමට කෝලි කටයුතු කළ බවයි. ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක තනතුරට සුදුසු පස් දෙනකුගේ නම් ඉන්දීය පුවත්පත්වල පලවී තිබිණි. රෝහිත් ශර්මා, කේ. එල්. රාහුල්, රිශාබ් පාන්ට්, රවිචන්ද්‍රන් අශ්වින් හා ජස්ප‍්‍රිට් බුම්රා මේ පස්දෙනාය. සුනිල් ගවස්කාර් යෝජනා කර තිබුණේ කඩුලූ රකින ක‍්‍රීඩක රිශාබ් පාන්ට් මීළඟ නායකයා කළ යුතු බවයි. වයස 24ක් වන රිශාබ් පාන්ට්ට මේ නායකත්වය ලබා දෙයිද? විරාත් තම සියවැනි ටෙස්ට් තරගය ක‍්‍රීඩා කරන්නේ ලබන පෙබරවාරි 25 වැනිදා ශ‍්‍රී ලංකාවට එරෙහිවය. මෙම තරගය බැංගලෝර් හිදී පැවැත්වේ. නායකයා වශයෙන් සමුගැනීමේ තරගයක් ලබා දීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පල කර තිබුණද කෝලි ප‍්‍රතික්ෂේප කර තිබේ. කෝලිට සමුගැනීමේ තරගයක් ලබා දීම වෙනුවෙන් කතා කළ පාලක මණ්ඩලයේ සාමාජිකයාට කෝලි පවසා ඇත්තේ ‘‘එක තරගයක් වෙනසක් නෑ. ඒක මගේ හැටි නෙවෙයි” යනුවෙනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment