අසාද් සාලිගේ ඉඩම වෙන්දේසි කිරීමට එරෙහි නඩුව කල් දමයි

252

රුපියල් මිලියන 60 කට ආසන්න ණය මුදල නොගෙවීම නිසා තමාට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් වෙන්දේසි කිරීමට එක්තරා පෞද්ගලික බැංකුවක් දරන වෑයම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනුකර තිබූ නඩුව ලබන 14 වැනිදා දක්වා කල් තැබූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එකඟතාවක් ඇති නම් එදින අධිකරණයට වාර්තා කරන ලෙසට දෙපාර්ශ්වයට ඊයේ (27දා) නියෝග කළේය.

ඉදිරි මාසයක කාලයක් තුළදී එකී ණය මුදල ගෙවීමේ හැකියාවක් ඇති බැවින් ලබන 21 වැනිදා පැවැත්වෙන ඉඩම් වෙන්දේසිය වළක්වන්නැයි අසාද් සාලි මහතාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම බැංකු ආයතනය එම ණය මුදල පැමිණිලිකරු වෙත ලබාදී ඇත්තේ නීත්‍යානුකූල ආකාරයෙන් වන බැවින් ඉඩම් වෙන්දේසි කර හෝ ණය මුදල් අයකර ගැනීමේ අයිතිය තම ආයතනයට හිමිව ඇති බවත්, පැමිණිලිකරු නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති සමාගම්වල රුපියල් කෝටි ගණනක් තැන්පත් කර ඇති බව ජනමාධ්‍ය මගින් වාර්තා කර ඇතැයි පසුගිය සති කිහිපය තුළ රට පුරා මහත් ආන්දෝලනයට ලක්වූ තිළිණි ප්‍රියමාලි නමැත්තියට අදාළ ප්‍රවෘත්තිය පළවූ පුවත්පත් රැසක් අධිකරණයට ඉදිරිපත් කරමින් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී සිද්ධිය මෙම නඩුකරයට අදාළ කරුණක් නොවන්නේ යැයිද අසාද් සාලි මහතාගේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment