අසාද් සාලි නිදහස්: පැමිණිල්ලේ මන්තී‍්‍රවරුන් තිදෙනකුට නොතීසි

352

පසුගිය මාර්තු 9 වැනිදා මාධ්‍ය හමුවේ සිදුකළ ප‍්‍රකාශය මගින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජාතික ආගමික සංහිඳියාව බිඳී යන ආකාරයෙන් හෝ ජාතීන් හා ආගම් අතර වෛරය ඇති වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවට නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම විත්තිකරු සියලූ අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (02දා) නියෝග කළේය.

විත්තිකරු විසින් මාධ්‍ය හමුවේදී එදින සිදු කරන ලද ප‍්‍රකාශය කෙරෙහි අවධානය යොමු කිරීමේදී රූපවාහිනි මාධ්‍ය මගින් විකාශනය කර ඇත්තේ ඉන් උපුටාගත් ප‍්‍රවෘත්තිමය වටිනාකමක් සහිත සුළු කොටසක් පමණක් බව පෙනී යන්නේ යැයි පිටු 15 කින් යුත් සිය තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය. දේශපාලන විරුද්ධවාදීන් විසින් රටේ ජනතාව රැුවටීමට ගන්නා වෑයම මෙන්ම මුස්ලිම් දේහයන් ආදාහනය කිරීම ගැන විත්තිකරු එකී මාධ්‍ය හමුවේදී විවේචනය කර ඇතත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් තම අධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් පැවසූ පරිදි වෛරී සහගත හැඟීම් ඇතිවන ආකාරයේ හෝ ත‍්‍රස්තවාදයට හා අන්තවාදයට ආධාර අනුබල දෙන ආකාරයේ හැඟීම් හෝ ප‍්‍රකාශ මගින් පිළිබිඹු වූ බවට සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි නොමැති බවද විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය. අධිකරණයේ නියෝගය අනුව මහාධිකරණ භාෂණ පරිවර්තක මොහොම්මදු අෂ්රාෆ් මොහොම්මදු අෆ්රාර් මහතා එකී තීන්දුව විවෘත අධිකරණය හමුවේ කියවා ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න මහතා අධිකරණය ලබාදුන් එකී තීන්දුව මගින් තහවුරු කර ඇත්තේ රටේ අධිකරණය සතු නිදහස හා යුක්තිසහගත බව වන්නේ යැයි කීවේය. කෙසේ නමුත් සිය සේවාදායකයාට එරෙහිව දේශපාලන හේතුන් මත හා ද්වේශසහගත ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හා පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදුන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තිදෙනාගෙන් වන්දි අයකර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එකී වන්දි ලබාගැනීමේ කි‍්‍රයාවලිය සිවිල් නඩු විධාන සංග‍්‍රහය අනුව කටයුතු කිරීමෙන් සාක්‍ෂාත් කර ගැනීමේ හැකියාව ඇති බව විනිසුරු අමල් රණරාජා මහතා විත්තියේ නීතිඥවරයාට පැවසීය. යම් අයකු අයුතු ලෙස සිරභාරයට ගෙන රඳවා තබාගැනීමට පාදක වූ යමෙකුගෙන් වන්දි ලබාගැනීමේ නීතිමය අවසරය අපරාධ නාඩු විධාන සංග‍්‍රහයේ 17 (2) වගන්තිය අනුව පවතින බවත්, සිය සේවාදායකයාට මාස 9 කට ආසන්න කාලයක් සිර භාරයේ හා රැුඳවුම් භාරයේ සීටීමට සිදුවූයේ පැමිණිලිකරුවන්ගේ අයුතු සහගත පැමිණිලි නිසා බවත් එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව පියවර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තියේ නීතිඥවරයාගේ එකී ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතාට දැනුම් දුන් විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන පෙබරවාරි 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මොහොමඞ් මුසම්මිල්, නිමල් ජයතිස්ස හා ගාමිණි ජයනන්ද වලේබොඩ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වෙත නොතිසි යැවීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment