අසාධාරණ බදු හකුළා ගන්නා තෙක් වෛද්‍යවරු විරෝධතාවේ – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමය

175

2023 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලියේ ඇතුළත් ‘අසාධාරණ බදු ප්‍රතිපත්තියට’ එරෙහිව අනිද්දා (5 දා) සිට රට පුරා රෝහල්වලදී අඛණ්ඩ විරෝධතාවල නිරතවීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

යෝජිත බදු හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් බලවත් අසාධාරණයකට ලක්වන බැවින් එම බදු ප්‍රතිපත්තිය ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම්වරයා වෙත පෙත්සමක් භාරදෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (02 දා) පැවසීය.

වසර 6 කින් වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩිවී නැති බවත් ජීවන වියදම ද ඉතා ඉහළ ගොස් තිබුණත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර රජය බදු පනවා ඇති බැවින් එම අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර ගන්නා තෙක් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

වෛද්‍යවරුන්ගෙන් 50% ක් ඉන්නේ කුලී නිවාසවල. දැන් ගෙවල් කුලිය ඉතාමත් ඉහළයි. වතුර, විදුලිය, බිල් වගේම ඉන්ධන මිලද දරාගත නොහැකියි. අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල නැඟලා. අපි බදුවලට විරුද්ධ නැහැ. ඒත් 2023 අයවැය ගෙන ආ බදු ප්‍රතිපත්තියට අපි එකහෙළා විරුද්ධයි. ආණ්ඩුව වහාම මෙය හකුළාගත යුතුයි. එසේ නොකළහොත් වෘත්තීය ක්‍රියා සහ අරගල රැසකට රජය මුහුණ දෙන්න වෙයි යැයිද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment