අසැබි වෙබ් අඩවි තහනම්… 15 හැවිරිදි දැරිය ගණිකාවක් ලෙස සලකන්නේ නෑ… ලිංගික දර්ශන නරඹන්න විනාඩි 5 – 10 ට රු. 8000 ක් අරන්

1460

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් උපයා ගැනීම ද සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන් වෙන්ව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ යැයි ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (29 දා* කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය. 02 – පිටුවට
 
 දැරිය නිරුවත් කර විවිධ ලිංගික කි‍්‍රයාවන් සිදුකරන ආකාරය පටිගත කර එකී දර්ශන අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම ද එකී ජාවාරම්කරු විසින් සිදුකර ඇතැයි ද අධිකරණයට පැවසූ ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන නිලධාරීහු එලෙස මුදල් ගෙවා එකී ලිංගික දර්ශන නැරඹු පුද්ගලයන් තිදෙනකුගෙන් මේ වනවිටත් ප‍්‍රකාශ සටහන් කර ඇතැයි ද අධිකරණයට පැවසූහ.
 
 ගෙවන මුදල අනුව එකී ලිංගික දර්ශන නැරඹිමට ලබාදෙන කාලය තීරණය වන බවත් විනාඩි 5 – 10 වැනි කාලයක් නැරඹිමට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම සඳහා රුපියල් 5000 – 8000 ක් වැනි මුදලක් අයකර ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට කීහ.
 
 ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ පවුල්වල පිරිසට විවිධ පීඩාකාරී සිදුවීම් සිදුවී ඇති බවට සමහර පිරිස් පැමිණිලි කර ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.
 
 එකී වින්දිත දැරිය ගණිකාවක ලෙස තම අධිකරණය කිසිම අවස්ථාවකදී නොසලකන බව එහිදී විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය අත්අඩංගුවට පත් වී ඇති පිරිසට අමතරව එකී දරුවා ලිංගික කටයුතු සඳහා මිලදී ගත් පුද්ගලයන් තවත් සිටින්නේදැයි විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියාය.
 
 එකී අපරාධයට සම්බන්ධ තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවත් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.
 
 එම දැරිය ලිංගික කටයුතු සඳහා ජාවාරම් කිරීමේ චෝදනාව එල්ල වී තිබූ ප‍්‍රධාන ජාවාරම්කරු, වෙබ් අඩවි හිමිකරු, එම වෙබ් අඩවි පාලකවරයා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් තිදෙනා ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කළාය.
 
 එවැනි ලිංගික වෙළෙදාම් කිරීමට කුමන හෝ ආකාරයකින් අනුග‍්‍රහය දක්වන සියලූම වෙබ් අඩවි තහනම් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය මේ වනවිට චෝදනා එල්ල වී ඇති ලංකා ඇඞ්ස් වෙබ් අඩවිය ඇතුළු අනර්ථ වෙබ් අඩවි තහනම් කිරීමට එහිදී නියෝග කළාය. එමෙන්ම එකී ජාවාරමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් හත්දෙනකු දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ පි‍්‍රයානි අබේගුණවර්ධන මහත්මිය සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අතර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, මංජුල පතිරණ, ප‍්‍රසන්න අරම්පත්, ලලිත් දහනායක, උපුල් රණතුංග, නීතිඥ නලින් ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
 
 පොලිස් පරීක්ෂක එස්. සමරනායක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් සේනාරත්න යන මහත්වරු පැමිණිල්ල නියෝජනය කළහ.

– ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment