අසිරිමත් මනෝ

442

ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ 74 වැනි ජන්ම දිනය පසුගිය 12වැනි දිනට යෙදි තිබිණ. බණ්ඩාර ඇහැළියගොඩ මහතා සංස්කරණය කළ ‘මනෝ රංග තීර්ථ යාත්‍රිකයා’ පොතෙන් උපුටාගත් ලිපියක් මනෝරත්නයන්ට උපහාරයක් ලෙස මෙසේ පලකරමු.

මීට අවුරුදු 2000 කට පෙර නසරෙත්හි ජෝසෆ් නම් වූවකු ගේ පුත් වූ ජේසුස් පලස්තීනයේ මහා ක්‍රියාකාරකම් කරන විට යම් වැදගැම්මකට නැත්තකු එය නොතකමින් “නසරතයෙන් හොඳක් වෙන්ඩ පුළුවන්ද?” යනුවෙන් පැවසූ බව බයිබලයේ සඳහන් වෙයි. එලෙස ම කෙසෙල්ගස්පෙ මනතුංග ජයලත් මනෝරත්න කිසිදු සැලකිල්ලක් නොලබන ඈත පිටිසර ගමක් වූ දෙහිපෙ ගම්පියස කරගත් කෙසෙල්ගස්පෙ මනතුංග නම් තැනැත්තකුගේ පුතකු බව දැනගත් විට කෙනකු “දෙහිපෙන් හොඳක් වෙන්ඩ පුළුවන්ද?” යයි අසන්නට බැරි නැත.

මේ සම්බන්ධයෙන් කිසිදු අනුමානයක් අවශ්‍ය නැත. පිළිතුර ඉඳුරා ම පැවසෙන ‘ඔව්’ යන්නකි. මේ සඳහා ඇති පැහැදිලි උදාහරණය ජයලත් මනෝරත්න යයි ප්‍රසිද්ධ ව ඇති. සුවහසක් රසික ජනයාට නිකම්ම මනෝ වන, කෙසෙල්ගස්පෙ මනතුංග ජයලත් මනෝරත්න යි. නළුවකු (වේදිකාව, රිදී තිරය සහ රූප පෙට්ටිය) නාට්‍ය රචකයකු, කවියකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, වේදිකා හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු ජන සන්නිවේදන ක්‍ෂෙත්‍රයෙහි ශාස්ත්‍රපති උපාධිධර, විශ්වවිද්‍යාල කීපයක බාහිර කථිකාචාර්යවරයකු වන අසම සම මනෝ වසර 40ක් පමණ කාලයක් තිස්සේ දිවයන ඔහුගේ දිදුලන වෘත්තීයමය ජීවිතය තුළ දී ඔහු දිනා ඇති දෙයෙහි ආනුභාවයෙන් සිංහල නාට්‍ය නමැති වේදිකාවේ සනාතන ආශ්චර්යය ලෙස ඔහු නැගී සිටී. ඔහු ප්‍රාණවත් ය. ක්‍රියාශීලි ය. යෝධයකු මෙන් සිංහල නාට්‍ය ලෝකයෙහි මහා අඩි තබයි.

විශිෂ්ට වේදිකා නළුවා

සියලු කරුණු අභිභවා ජනතාවගේ පරිකල්පනයෙහි මනෝ රැඳී සිටින්නේ විශිෂ්ටතම වේදිකා නළුවකු ලෙසයි. වේදිකාවෙහි ඔහු ගේ පැවැත්ම මන බන්ධනීය ය. සිංහල නාට්‍ය ක්‍ෂෙත්‍රයෙහි ඔහු ස්ථානගත කිරීමට නම් නිදහසින් පසු කාලයෙහි සිංහල නාට්‍යයෙහි ප්‍රධාන කුලුනු හතර නම් එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන සහ සුගතපාල ද සිල්වා යන සිව් දෙනාය යන සිද්ධාන්තය සිහියට නගාගත යුතු ය. සරච්චන්ද්‍රගේ නාට්‍ය හයක ද, හෙන්රි ජයසේනගේ නාට්‍ය පහක ද, දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය හතරක ද, සුගතපාල ද සිල්වාගේ නාට්‍ය දෙකක ද මනෝ වැදගත් භූමිකාවක් දරා ඇත. මේ සංක්‍ෂිප්ත කරුණ ම ජයලත් මනෝරත්නගේ කතාවෙහි සාරය දක්වයි.

එහෙත්” සිංහල නාට්‍ය ක්‍ෂෙත්‍රයෙහි අනුපිළිවෙළට අනුව ඔහු දරන ස්ථානය පිළිබඳ මගේ විනිශ්චයට යම් කිසි ප්‍රමාණයක සත්‍යතාවක් දීමට නම් විස්තර සඳහන් කළ යුතු වෙයි. ඒ නිසා අදාළ කරුණු සලකා බලන්න. අද වන තෙක් මනෝ හැටතුනකට නො අඩු නාට්‍ය සංඛ්‍යාවක කැපී පෙනෙන චරිත නිරූපණය කර ඇත.

සරච්චන්ද්‍රගේ වෙස්සන්තර, සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස්, ප්‍රසන්න විතානගේගේ ද්විත්ව, ඔහුගේ ම නිෂ්පාදනයක් වූ තලමල පිපිලා සහ පුත්‍ර සමාගම රංගනය පිළිබඳ මිණිකැට වැන්න. මෙරටෙහි නාට්‍ය පිළිබඳ උරගල ලෙස සැලකෙන වාර්ෂික රාජ්‍ය නාට්‍ය උළෙලෙහි දී ඔහු පස්වරක් හොඳ ම නළුවා ලෙස සම්මාන ලැබී ය. මේ උළෙලක දී ම හොඳ ම තිර රචනය සඳහා ඉහළ ම සම්මානයෙන් ඔහු පිදුම් ලැබී ය. දෙවරක්ම උළෙලෙහි හොඳ ම නාට්‍ය සම්මානය ද එක් වරක් හොඳ ම අධ්‍යක්‍ෂණයට ද සම්මාන ලැබීය. 1988 දී ඔහුගේ තලමල පිපිලා නාට්‍යය වෙනුවෙන් හොඳ ම පිටපත හොඳ ම නළුවා සහ හොඳ ම අධ්‍යක්‍ෂණය යන සම්මාන දිනා ගත්තේය. ඔහුට පෙර හෝ පසු හෝ කිසිවකු විසින් හෝ එවන් ජයග්‍රහණයක් හිමිකර ගෙන නැත. ඉහත සඳහන් කළ නිදහසින් පසු කාලයේ සිංහල වේදිකාවේ පතාක යෝධයන් හතර දෙනා ම තම ප්‍රධාන නාට්‍යවල ප්‍රධාන චරිත රඟපෑමට ඔහු තෝරාගත් කරුණ හැරුණු විට මෙ රට නාට්‍ය නිෂ්පාදකයෝ 25 දෙනෙක් පමණ තම නාට්‍යයන් හි චරිත නිරූපණයට ඔහුට ආරාධනා කළෝ ය. මේ අය අතර කේ. බී. හේරත් (මායා දේවි), සුනන්ද මහේන්ද්‍ර (සොක්‍රටීස්), සයිමන් නවගත්තේගම (සුභ සහ යස) සහ රන්ජිත් ධර්මකීර්ති (මෝදර මෝල) යන සුපතළ නම් ඇත. මේ සඳහන් කර ඇත්තේ සියලු කරුණු නො වේ. අනුන්ගේ නාට්‍යවල රඟපෑම දිගට ම කරගෙන යන අතර මනෝ ස්ව නිර්මාණ හතක් රචනා කර, ඒවා නිෂ්පාදනය කර, ඒවායෙහි චරිත නිරූපණය ද කර ඇත. මේ සම්බන්ධයෙන් ඔහුට ලෝකය ම හෙල්ලූ ආදී කම්මිකයකු ඇත. ෂේක්ස්පියර් ද පටන් ගත්තෙත් මුදලට රඟපාන නළුවකු ලෙසිනි. එතැන සිට තමන් ම ලියූ නාට්‍යවල රඟපෑම දක්වා ඔහු ගමන් කළේ ය. ජයලත් මනෝරත්න ලියා නිෂ්පාදනය කළ නාට්‍ය නම් මහගිරිදඹ (1980), තලමල පිපිලා (1988), අන්දරේලා (1993), ගුරුතරුව (1996), සඳගිර (1998), කනේරු මල් (2000) හා ලෝකය තනි යායක් (2005) යන නාට්‍ය හතයි. මේ නාට්‍ය බොහෝමයක් ම ඉහළ පිළිගැනීමකට ලක් විය. තව තවත් මා කියන කරුණ පමා කළ යුතු නැත. ජයලත් මනෝරත්න අද සිංහල නාට්‍ය නම් විශ්වයෙහි මධ්‍යගත ස්ථානය ම බව මට පැහැදිලි ව ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. එසේ වුව ද ඔහු තම වැදගත්කම පිළිබඳ හැඟීමකින් සම්පූර්ණයෙන් තොර ය. ඒ නිසා තම ක්‍ෂෙත්‍රයේ ම සිටින තරගකරුවන්ගේ නොරිස්සුම් සහගත හැඟීම් අවුළුවන බවක් නොපෙනෙයි.

ශ්‍රේෂ්ඨත්වයේ රහස

ෂේක්ස්පියර්ගේ නාට්‍යයක, කුමන්ත්‍රණකාරී කැසියස්,
ජූලියස් සීසර් පිළිබඳ ව දුෂ්ට චේතනාවෙන් නැඟූ ප්‍රශ්නය අනුව යමින්
එක්වරම සියලු දෙවිවරුන්ගේ නාමයෙන් (අසමි)
අපගේ මනෝ කුමන අහරක් ගන්නේ ද
ඔහු මෙතරම්
ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට තරම්,

1948 ජුනි මස 12 වන දින මනතුංග බණ්ඩාර සහ මුදියන්සේලාගේ ලීලා කුමාරි යන දෙපළගේ දරුවන් හය දෙනාගෙන් බඩපිස්සා ලෙස ඔහු උපත ලැබී ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිරිසිදු වාතාශ්‍රය සහිත සැපදායක දේශගුණයක් ඇති දෙහිපෙ නම් ගමෙහි උපන් ඔහු ලැබූ ආහාර විශේෂ පෝෂණ ගුණයෙන් යුක්ත වූවා විය හැකි ය. ආරම්භයක් වශයෙන් හය දෙනකුගෙන් යුත් පවුලක බඩපිස්සා වශයෙන් ඔහුට දිගු කාලයක් මව්කිරි ලැබිණ. එසේම ඔහු පවුලේ ම, විශේෂයෙන් තම මවගේ ප්‍රියතමයා විය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පැවසූ පරිදි තම මවගේ විවාද රහිත ප්‍රියතමයා වන තැනැත්තෙක් තම ජීවිතය පුරාවට ම ජයග්‍රාහකයකුගේ හැඟීම පවත්වා ගනී. එය ඇත්තට ම සාර්ථකත්වය ලැබීමට නිතර ම පොලඹවන, සාර්ථකත්වය පිළිබඳ ආත්ම විශ්වාසය ගෙන එයි. මනෝ මේ පැහැදිලි සත්‍යයට උදාහරණයකි. (මඳක් පිට පනිමින් මේ සංසිද්ධිය පිළිබඳව තවත් දිදුලන උදාහරණයක් දක්වමි. එනම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගමකින්ම පැමිණි මහා සංගීතඥ රෝහණ වීරසිංහයි. ඔහු නව දෙනකුගෙන් යුත් පවුලක නව වැනියා ය. දෝසියා යන හුරතල් නමින් ඔහු ඇමතූ ඔහුගේ මවගේ හුරතලා ඔහු විය.)

බුද්ධි පෝෂණය

මනෝට මුලින් ම බුද්ධිමය පෝෂණය ලැබුණේ පුංචි පාසලක් වූ දෙහිපෙ ප්‍රාථමික මිශ්‍ර පාසලිනි. එතැනින් ඔහු පොරමඬුල්ල මධ්‍ය මහා විiාලයට ඇතුළු විය. එහි දී 1966 දී දීපව්‍යාප්ත පාඨශාලා නාට්‍ය තරගයෙන් විශිෂ්ට රඟපෑමට සම්මාන සහතිකයක් දිනාගත්තේ අනාගතයේ දී ඉටුකරන්නා වූ කාර්ය භාරයට ඉඟියක් ලෙසට ය. එම වසර ඔහු පේරාදෙනිය ශ්‍රී ලංකා විශ්වවිiාලයට ඇතුළු වූ වසරයි. ඉතිහාසය, භූගෝල විiාව හා සිංහල හදාරා ඔහු 1969 දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ ය. ඔහු තම ජීවිත කාර්යය සඳහා නාට්‍ය පිළිබඳ හැදෑරුවේ මහා නාට්‍ය ගුරු එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගෙනි. ගුරුවරයා නිවැරැදිව තම ශිෂ්‍යයාගේ ප්‍රතිභාව හඳුනා ගත්තේය. 1976 දී සිංහබාහු සහ 1969 දී මනමේ නාට්‍යයන්හි සුළු චරිත සඳහා ඔහු තෝරා ගැනිණ. ඉන්පසු තවමත් විiාර්ථියකු ව සිටිය දී ම සරච්චන්ද්‍ර තම විශිෂ්ට ගීතමය නිර්මාණය වූ ‘පෙමතො ජායතී සොකො. නාට්‍යයෙහි ප්‍රධාන චරිතය වූ උද්දාල බමුණාගේ චරිතය රඟපෑමට ඔහුට ආරාධනා කළේ ය. මා සිතන පරිදි ගුරු දේවයන්ගේ වඩාත් ම සිත් වශීකරන කලා නිර්මාණය මෙයයි.

පශ්චාත් උපාධි මනෝ නාට්‍යයන් හි පිටපත ධාරණය කර ගැනීමේ ආශ්චර්යවත් මතකයක් ඇති ශිෂ්‍යයා ගැන ගුරුතුමා සැලකිල්ලෙන් සිටියේය. මනෝ උපාධි ලබා විශ්වවිiාලයෙන් පිට ව වෘත්තීමය වශයෙන් මෝරා ගිය පසු ඔහුගේ ප්‍රධාන නාට්‍ය තුනකට ප්‍රධාන භූමිකා රඟපෑමට මනෝට ආරාධනා කළේය. ඒවා නම් මහාසාර (1973), වෙස්සන්තර (1980) සහ එලොව ගිහින් මෙලොව ආවා (1982) යන නාට්‍යයයි. මනෝට ජීවය කැවුවේ නාට්‍ය බවට කිසිදු සැකයක් නැත.

ඔහුගේ පැවැත්මට හේතුව වූයේ නාට්‍යයයි. ඔහු වේදිකාවේ නිරූපණය කළ නාට්‍ය 63 ක දෙබස් මතක තබා ගැනීමට ඔහු තුළ වූ ඇදහිය නොහැකි ධාරණ ශක්තිය මෙ කරුණින් පැහැදිලි වෙයි. මෙ තරම් නාට්‍ය ගණනාවක දෙබස් ඛණ්ඩ රඳවා ගත්තා වූ, සියල්ල උරාගන්නා වූ කඩදාසියක් මෙන් වූ ඔහුගේ මතක ශක්තියෙහි රහස පිළිබඳව වරක් මම ඔහුගෙන් ඇසුවෙමි. ලජ්ජාශීලි ව ඔහු පැවසුවේ අලියකුගේ මතක ශක්තියක් ඇති ව ඔහු ඉපදෙන්නට ඇති බවයි. ඇසෙහි දිදුලීමක් ද සහිත ව ඔහු එයට අටුවාවක් ද එක් කළේ සමහර අවස්ථාවල අලියන් ද ඔහුගේ උපදෙස් පතන බව කීමෙනි. ඒ ආශ්චර්යවත් මතකයට දෙවියන්ට පින් සිද්ධ වෙච්චාවේ! මක් නිසා ද යත්, පසුගිය වසර හතළිහ තුළ වේදිකාව මත චතුර වාග් විලාසයෙන් ඔහු අප කුල්මත් කර ඇති හෙයිනි. නිතර නිතර අප වශී කළ හෙයිනි. මනුෂ්‍ය ස්වභාවයෙහි අපැහැදිලි ලක්‍ෂණ සංවේදී ව නිරූපණය කරමින් අප ගේ බුද්ධිය පුළුල් කර ඇති හෙයිනි. මනෝ රඟපාන නාට්‍යයක් නරඹා කෙනකු ගෙදර යන්නේ අසාමාන්‍ය වූ සතුටුදායක හැඟීමකින් යුතුව ය. වේදිකාවෙන් ඔහුගේ ජීවිතය උත්සවාකාරයෙන් පිළිගැනීමට ලක්වීමට කාලය පැමිණ ඇත.

වේදිකාවෙන් ඔබ්බට

ජයලත් මනෝරත්නට විය යුතු පරිද්දෙන් ම වේදිකාවෙන් ඔබ්බට ගිය ජීවිතයක් ඇත. ඔහු ඔහුගේ කලාව වෙනුවෙන් ජීවත් වුව ද ඔහුට වායුවෙන් පමණක් ජීවත් විය නොහැකි ය. සුළු රැකියා කීපයක ම යෙදීමට ඔහුට සිදුවිය. ඉන්පසු මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළු ව රාජ්‍ය අංශයේ කනිෂ්ඨ විධායක තනතුරු දැරී ය. එසේ වුව ද වේදිකාවෙන් ඔබ්බට වූ ඔහුගේ ජීවිතයෙන් කොටසක් රිදී තිරය හා රූප පෙට්ටිය වෙනුවෙන් ගත විය. රිදී තිරයේ වැදගත් සහාය චරිත දහනවයක ඔහු පෙනී සිටියේ ය. රිදී තිරයේ රඟපෑම සඳහා ඔහු දිනා ඇති සම්මාන හොඳම සහාය චරිත සඳහා වීම පුදුමයක් නො වේ. මේවා අතර මතකයේ රැඳෙන චරිත වනුයේ සූරිය අරණ, සුදු කළු සහ අළු, සුදු කළුවර, හඳයා සහ සිරිබෝ අයියා යන චිත්‍රපටවල ඔහු රඟපෑ චරිතයි. සෝමරත්න දිසානායකගේ සූරිය අරණ චිත්‍රපටයෙහි ආරණ්‍යවාසී භික්‍ෂුවකගේ චරිතය ඔහු කෙතරම් තීක්‍ෂණ ව තාත්විකව සහ විශිෂ්ටව නිරූපණය කළේ ද යතහොත් එය මා මනසෙහි සදාකාලික ව රැඳී ඇත. වෙනස් වෙනස් චිත්‍රපට උළෙලවල දී ඔහු හොඳ ම සහාය නළුවා සඳහා වන සම්මානය පස් වරක් දිනා ඇත. ටෙලිනාට්‍යවලට ඇබ්බැහි වූ අපේ රටේ පවුල්වලට ඔහු තම පවුලේ ම සාමාජිකයකු තරමට ම කිට්ටු වී ඇත. අද දක්වා ඔහු ටෙලිනාට්‍ය හතළිස්හතරක රඟපා ඇත. එයින් පහක් ඔහු ම අධ්‍යක්‍ෂණය කරමින් චරිත නිරූපණය කර ඇත. ඒ සෑම භූමිකාවක් ම ඔහු සංවේදී ව සුදුසු හැසිරීම් ලීලා සහිත ව නිරූපණය කර ඇත. සෝමවීර සේනානායක විසින් රචිත දූ දරුවෝ නම් මැරතන් ටෙලි නාට්‍යයෙහි ඔහුට භාර වූ භූමිකාව ඔහු කෙතරම් උත්කෘෂ්ට දක්‍ෂතාවකින් නිරූපණය කළේ ද කිවහොත් ඔහු රඟපානවා නො ව සත්‍ය වූ සාමාන්‍ය ලෝකයෙහි ජීවත් වනවා ය යන මායාව ඇති කිරීමට සමත් විය. 1992 වසරේ දී ඔහු ටෙලිනාට්‍ය ක්‍ෂෙත්‍රයෙහි ජනප්‍රිය නළුවා ලෙසට ප්‍රේක්‍ෂක ඡන්දයෙන් තේරී පත් විය. 2002 දී සඳ අමාවකයි නම් නාට්‍යයෙහි රඟපෑම වෙනුවෙන් හොඳ ම නළුවා ලෙස සම්මාන ලැබී ය. 1992 දී ඔහුගේ ටෙලිනාට්‍යය වූ සෙක්කු ගෙදර හොඳ ම නිර්මාණශීලී අධ්‍යක්‍ෂණය ලෙස තීරණය විණ.

තැනින් තැන යන රංග ශිල්පියා

මව් බිමෙහි සුවඳ පතමින් විදේශගත ව ජීවත් වන සිංහලයන්ගේ මව්බිම පිළිබඳ සිතිවිලි උද්දාමයට පත් කරවමින් ඔවුන් වෙනුවෙන් වේදිකාවල වඩාත් ම රඟපෑ නළුවා මනෝ විය හැකි ය. 1998 හා 2005 අතර නාට්‍ය කණ්ඩායම්වල සාමාජිකයකු ලෙස ඔහු එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ටි්‍රයාව, ස්කැන්ඩිනේවියාව, ස්විට්සර්ලන්තය, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ මැදපෙරදිග රටවල් කීපයක ම සංචාරය කර ඇත. විදේශීය රටවල ඔහු රඟපෑ නාට්‍ය අතරට මනමේ, මායාදේවි, අන්දරේලා, තලමල පිපිලා, පුත්‍ර සමාගම සහ දිවැස් හෙළනු මැන යන නාට්‍ය ඇතුළත් වෙයි. සැකයක් නැති ව ම ජයලත් මනෝරත්න නම් ආශ්චර්යය නොයෙක් අලංකරණයෙන් විභූෂිත වූවෙකි. ඔහුගේ මුළු ජීවිතය ම ගලාගෙන යන ප්‍රාසාංගික කලාවකි. අවදි ව සිටින කාලයෙන් වැඩිපුර කාලයක් ඔහු වේදිකාව මත ගෙවා ඇතිවා විය හැකි ය. මේ අතර ම නවකතාවක්, කෙටි කතා සංග්‍රහ දෙකක්, කාව්‍ය සංග්‍රහයක් හා ළමා නාට්‍යයක් ලිවීමට ද ඔහු කාලය සොයා ගත්තේ ය. මෙයට අමතර ව නාට්‍ය සම්බන්ධ ව විශ්වවිiාලවලට බාහිර කථිකාචාර්යවරයකු ලෙස සම්බන්ධවීමට නිතර නිතර ඇරැයුම් ලබයි.

පුදුමය නම් සැබෑ ජීවිතයේ දී ප්‍රේමයෙන් බැඳී තමරා ජයන්ති හා විවාහ වී පුතකු (භානුක ප්‍රබුද්ධ) හා දියණියක (උත්පලා ඉන්දීවරී) හදා වඩා ගැනීමට ද කාලය යෙදවීමයි. ඇත්තට ම ඔහු උසස් භාවාත්මක බුද්ධියක් ඇති සොඳුරු මිනිසෙකි. ඔහු පෞද්ගලික ව දැන හැඳින ගැනීමට, වාසනාවන්ත වූවෝ, ඔහු හාස්‍යජනක කතා උල්පතක් ව ඇති ආනන්දජනක කතාකාරයකු බව දනිති. මනෝ ඇත්තේ කොතැන ද එතැන ආලෝකය හා විනෝදය ඇත.

සාරාංශ ගතකිරීම

ජයලත් මනෝරත්න සත්‍යයෙන් ම අද සිංහල වේදිකාව මත සිටින අති විශිෂ්ට පුද්ගලයන්ගෙන් කෙනෙකි. තම නිපුණත්වයෙන් ප්‍රමෝදයට පත් කරන සහස්‍ර සංඛ්‍යාත ජනතාව විසින් පුදනු ලබන ආදරයෙන් හා ගෞරවයෙන් ඒ බව පැහැදිලි වෙයි. පසුගිය වසර ගණනාව තුළ ඔහු දිනා ඇති ප්‍රශංසා හා සම්මාන මගින් ඒ බව සනාථ වෙයි. ඔහුගේ ජීවිතය හා කාර්යභාරය සැමරීමට කෙරෙන වැඩකටයුතු තුළින් එය මූර්තිමත් වෙයි. තම කලාවට මේ තරම් කැප වූ එහි මේ තරම් දක්ෂ වූ තැනැත්තෙක් තමා මේ තරම් ආදරයටත් ප්‍රශංසාවටත් ලක් වන බව දැනගත හැකි කලක දී ම, සුදුසු ලෙසට ම ගෞරවයට ලක් කිරීම ගැන අපි ප්‍රමෝදයට පත් විය යුතු වෙමු. ජයලත් මනෝරත්න ගැන ලියැවුණු මේ ප්‍රශස්තිය කියැවීමට තරම් සැලකිල්ලක් දැක්වූ විදග්ධ පුද්ගලයන්ට කළ හැකි හොඳ ම දෙය වන්නේ ජයලත් මනෝරත්න වේදිකාවේ රඟපානු දැක බලා ගැනීම ය.

අසිරිමත් මනෝ

මහාචාර්ය කාලෝ ෆොන්සේකා
(ඉංග්‍රිසි ලිපියේ පරිවර්තනය – කුසුම් දිසානායක)

අසිරිමත් මනෝ
advertistmentadvertistment
advertistmentadvertistment