අසීරු අවස්ථාවක රට භාරගෙන නිවැරදි මාවතට මෙහෙයවීමට ජනපති රනිල්ට හැකිවුණා – ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි

106

ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට රට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇති අතර, ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට එතුමාට ආශිර්වාද කරන බව ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියෝ පැවසූහ.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 06 වැනිදා පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

 විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ හිටපු අමාත්‍ය දයා ගමගේ හා අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු පිළිගනු ලැබූහ.

 ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

 අත්දැකීම් බහුල දේශපාලන නායකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉතා අභියෝගකාරී අවස්ථාවක, බොහෝ දෙනකු අපේක්ෂා නොකළ පරිදි ජනාධිපති ධුරයේ භාරධූර වගකීම භාරගත් බවත්, රට මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට එතුමාට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන බවත් මහා නායක හිමියෝ පැවසූහ.

 මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පෞද්ගලිකව කොතරම් පාඩු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවූ බවයි. රටක් ඉදිරියට ගෙනයෑමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

 කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කොටපිටියේ රාහුල හිමියන් අනුශාසනාවක් කරමින් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාමකාමී විරෝධතාවලට ඉඩදීම මෙන්ම නීති විරෝධී ක්‍රියා මැඩලීම රජයේ වගකීම බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment