අසීරු නමුත් වළකා ගතයුතු බෝනොවන රෝග

1578

බෝ නොවන රෝග සම්බන්ධව රටේ පවතින තත්ත්වය සහ එහි ප්‍රවණතා (රටේ තත්ත්වය සහ බෝ නොවන රෝග ඒකකයේ අඛණ්ඩ මැදිහත්වීම් සහ සැලසුම්) පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ, වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය සමඟ කරනු ලැබූ සාකච්ජාවකි.

ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග සහ ඒවායේ දක්නට ලැබෙන ප්‍රවණතා පිළිබඳව ඔබට පැවසිය හැකිද?

 බෝ නොවන රෝග ලෙස හෘද වාහිනි රෝග (හෘදයාබාධ, ආඝාතය), දියවැඩියාව, නිදන්ගත පෙනහළු රෝග – (ඇදුම, Bronchiectasis” COPD&), පිළිකා, නිදන්ගත වකුගඩු රෝග හඳුන්වා දිය හැක. 2016 වර්ෂයේදී, රටේ සමස්ත මරණවලින් 83% බෝ නොවන රෝග නිසා සිදු වී තිබෙනවා. වාර්ෂික සෞඛ්‍ය ප්‍රකාශනයට අනුව, 2019 වසරේ රජයේ රෝහල්වල සිදුවූ මරණවලින් 50.7%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවී තිබෙනවා. පසුගිය දශකය තුළ රජයේ රෝහල්වල සිදු වූ මරණවලට හේතු වූ ප්‍රධානතම හේතුව වන්නේ හෘද රෝගයි. බෝ නොවන රෝග සඳහා අවදානම් සාධක සමීක්ෂණයට(STEPS2015) අනුව සමීක්ෂණයට ලක් කරන ලද වැඩිහිටියන්ගෙන් 7.4% (අවුරුදු 18-69) අධි රුධිර ග්ලූකෝස් ප්‍රමාණයක් ඇති අය වූ අතර වැඩිහිටියන්ගෙන් 9% කට අධික ප්‍රමාණයක් හෘද වාහිනී රෝග අවදානමක් හෝ හෘද වාහිනි රෝග ඇති අය බවට සොයා ගෙන තිබෙනවා. ජනගහනයෙන් හතරෙන් එකක් සාමාන්‍ය සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටමට වඩා වැඩි කොලෙස්ටරෝල් මට්ටමක් ඇති අය බවට සොයා ගෙන තිබෙනවා. තවද 26% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවද සොයා ගන්නා ලදී. 2016 වර්ෂයේදී, වත්මන් සෞඛ්‍ය වියදම්වලින් බිලියන 464 න් වැඩි ප්‍රමාණයක් (36%) බෝ නොවන රෝග කළමනාකරණය සඳහා වැය කර තිබෙනවා.

බෝ නොවන රෝග ශ්‍රී ලංකාවේ නොමේරූ මරණ සඳහා බලපාන ප්‍රධානතම හේතුව වේ, ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධක මොනවාද? වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කවුද? යෞවනයන් සහ දරුවන් ගැන කුමක් කිව හැකිද?

 බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාව (දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර, ශාරීරික ක්‍රියාශීලීත්වය අඩු බව) ප්‍රධාතම හේතුවක් වන බව අප හොඳින් දන්නා කරුණක්. බෝ නොවන රෝග සඳහා අවදානම් සාධක සමීක්ෂණයට (STEPS2015) අනුව වැඩිහිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් 30.4% ක් ප්‍රමාණවත් ලෙස ශාරීරිකව ක්‍රියාශීලී නොවන බවත්, 73% ක් පමණ දිනකට නිර්දේශිත පලතුරු හෝ එළවළු පරිභෝජනය නොකරන බවත් සොයා සොයා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ පුරුෂයන් ගෙන් 1/3 පමණ දුම් පානය කරන්නන් වන අතර 20%ක් පමණ දෛනික දුම් පානය කරන්නන් බව සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 18%ක් පමණ දැනට මත්පැන් පානය කරන බව සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ, බෝ නොවන රෝග නිසා සිදුවන මරණ වලින් අඩකට ආසන්න (45%) වයස අවුරුදු 70 ට අඩු (පිරිමි මරණ වලින් 54% සහ කාන්තා මරණ වලින් 36%) පුද්ගලයන් බව සොයා ගෙන තිබේ.

බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම බෝ වන රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට සාපේක්ෂව සංකීර්ණ කාර්යයක් වන්නේ ඇයි?

 බෝවන රෝග හා සසඳන විට බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම වඩාත් සංකීර්ණ කාර්යයක්. මෙම සංකීර්ණත්වය සඳහා හේතු කිහිපයක් තිබෙනවා. බෝ නොවන රෝග හෝ බෝවන රෝග වැළැක්වීම සඳහා ඒවා ඇති වීමට හේතුවන අවදානම් සාධකවලට නිරාවරණය වීම අඩු කිරීම ඉතා වැදගත්. බෝනොවන රෝග සඳහා හේතු වන අවදානම් සාදක ජීවිත කාලය පුරාම පැවතීම මෙම රෝගයන් වළක්වා ගැනීම සංකීර්ණ වීමට හේතුවක්. තවද ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග යොදා ගනිමින්ද, ජනතාව පදනම් කරගත් උපාය මාර්ග උපයෝගි කර ගනිමින් ද, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත කරවීමට ආකල්පමය වෙනස්කම් සිදු කරවිය යුතු නිසා වෙන් බෝ නොවන රෝග වළක්වා ගැනීම තරමක් අසීරු කාර්ය භාරයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

බෝ නොවන රෝග සඳහා ප්‍රතිපත්ති පැනවීමට සහ ක්‍රියාත්මක කිරීමට පවතින ජාතික වැඩසටහන් හෝ රජයේ උපාය මාර්ග මොනවද?

 සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ සහ පාර්ශ්වකරුවන් සමඟ සමීප සහයෝගයෙන් 2025 වන විට බෝනොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා අවශ්‍යවන ගෝලීය ඉලක්කවලට අනුකූලව ජාතික ඉලක්ක සමූහයක් නිර්මාණය කර තිබෙනවා. මෙම ඉලක්ක 2016-2020 දක්වා කාලය තුළ බෝනොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වූ ජාතික බහුආංශික ක්‍රියාකාරී සැලැස්ම ලෙස නම් කර ඇත. එම ඉලක්ක නම් :

 1: හෘද වාහිනි රෝග, පිළිකා, දියවැඩියාව, හෝ නිදන්ගත ශ්වසන රෝගවලින් සිදුවන සමස්ත මරණ අනුපාතය 25% ක සාපේක්ෂ අඩුවීමක් ලබා ගැනීම.

 2: හානිකර මත්පැන් භාවිතය අවම වශයෙන් 10% සාපේක්ෂ අඩුවීමක් ලබා ගැනීම.

 3: ප්‍රමාණවත් නොවන ශාරීරික ක්‍රියාකාරකම්වල ව්‍යාප්තියේ 10% සාපේක්ෂ අඩුවීමක් ලබා ගැනීම.

 4: ලුණු/සෝඩියම් සාමාන්‍ය ජනගහන පරිභෝජනයෙහි 30% සාපේක්ෂ අඩුවීමක් ලබා ගැනීම.

 5: වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයන්ගේ වර්තමාන දුම්කොළ භාවිතයේ ව්‍යාප්තිය 30% ක සාපේක්ෂ අඩුවීමක් ලබා ගැනීම.

 6: රුධිර පීඩනය වැඩිවීමේ ව්‍යාප්තියේ 25% සාපේක්ෂ අඩුවීමක් ලබා ගැනීම.

 7: දියවැඩියාව සහ තරබාරුකම වැඩිවීම නැවත්වීම.

 8: හෘදයාබාධ සහ ආඝාත වැළැක්වීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් අවම වශයෙන් 50%ක් ඖෂධ ප්‍රතිකාර සහ උපදේශනය (ග්ලයිසමික්‍ය පාලනය ඇතුළුව) ලබා ගැනීම.

 9: පොදු සහ පෞද්ගලික පහසුකම් දෙකෙහිම ප්‍රධාන බෝ නොවන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සාමාන්‍ය ද්‍රව්‍ය ඇතුළුව දැරිය හැකි මූලික තාක්ෂණයන් සහ අත්‍යවශ්‍ය ඖෂධ 80%ක් ලබාගත හැකි වීම.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් බෝ නොවන රෝගවල වාර්ගික ව්‍යාප්තිය අවම කිරීම සඳහා දැනට කරගෙන යන මැදිහත්වීම් සහ සැලසුම් මොනවාද?

 අනෙකුත් සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන අංශවල හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් බෝ නොවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාංශය විසින් විවිධ ස්ථාන සහ ප්‍රජාව තුළ දුම්කොළ නිවාරණ සහ පාලන සඳහා ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබනවා. සුව දිවි සායන (HLCs) දිවයින පුරා ස්ථාපිත කර ඇත්තේ සාමාන්‍ය ජනතාව බෝ නොවන රෝග සහ ඒවායේ අවදානම් සාධක සඳහා පරීක්ෂා කිරීමට මෙන්ම ජීවන රටාවන් වල වෙනස් කිරීම් ප්‍රවර්ධනය කිරීමටයි. රෝග කලින් හඳුනා ගැනීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ චර්යාත්මක සහ අතරමැදි අවදානම් සාධක හඳුනා ගැනීම මෙන්ම පූර්ව මැදිහත්වීම් සහ කළමනාකරණය සඳහා යොමු කිරීමයි. වයස අවුරුදු 35 සහ ඊට වැඩි වයස් කාණ්ඩය රෝග හඳුනා ගැනීම සඳහා ඉලක්කගත ජනගහනය ලෙස සැලකේ, එය මධ්‍යම වසර ජනගහනයෙන් 40%ක් පමණ වනවා. මීට අමතරව, තෝරාගත් අවදානම් සාධක ඇති වයස අවුරුදු 20-34 අතර පුද්ගලයන් ද රෝග පරීක්ෂාව සඳහා සුදුසුකම් ලබනවා. චර්යාත්මක අවදානම් සාධක සඳහා සේවාදායකයන් පරීක්ෂා කරනු ලබන අතර, බෝ නොවන රෝග සඳහා අතරමැදි අවදානම් සාධක (රුධිර ග්ලූකෝස් සහ කොලෙස්ටරෝල් මට්ටම, රුධිර පීඩනය, තරබාරුකම,) සහ වසර 10 ක් තුළ හෘද වාහිනි ආශ්‍රිත රෝග ඇති වීමේ අවදානම තක්සේරු කරනවා. ජාතික බෝ නොවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාංශය විසින්, සේවා ස්ථාන, පාසල් තුළ මෙන්ම සමාජයේ විවිධ ස්ථානවල දුම්කොළවලින් තොර කලාප පිහිටුවීම මූලික වී තිබෙනවා. දුම්කොළ නැවැත්වීමේ උපදේශන සේවා සැපයීම සඳහා සුව දිවි සායනයන් හි කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ ධාරිතා ගොඩනැඟීම සඳහා ද මෙම ඒකකය සම්බන්ධ වෙනවා.

 ජාතික බෝ නොවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාංශය විසින් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල ප්‍රතිපත්ති මාලාවන් හා සමගාමීව ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දීම උනන්දු කරවන අතර ඒ වෙනුවෙන් ජාතික මට්ටමේ මග පෙන්වන්නකු වශයෙන් ද ක්‍රියා කරනවා. මෙම ඒකකය සිය සේවාදායකයන් අතර සහ ප්‍රජාව තුළ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාථමික සුව දිවි සායනවල කාර්ය මණ්ඩලය පුහුණු කරනවා. තවද, මෙම ඒකකය ශ්‍රී ලාංකීය ප්‍රජාව වඩාත් ශාරීරිකව ක්‍රියාශීලී වීම සවිබල ගැන්වීම සඳහා සිවිල් සමාජ සහ පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කරනවා. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ආහාරවල අන්තර්ගත ලුණු, සීනි සහ පරිවර්තන මේද අඩු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම්ද සිදු කෙරනවා.


 විශේෂඥ වෛද්‍ය- වින්ද්‍යා කුමාරපේලි

advertistmentadvertistment
advertistmentadvertistment