අසූචි වෙනුවෙන් මිලක් ලැබෙන බැංකුවක්

889

අපේම මලපහ දෙස වුණත් නැවත හැරී බැලීම සැබැවින්ම ඔබට අප්‍රසන්න කටයුත්තක් බව සැබෑය. නමුත් අනාගතයේදී මලපහ වෙනුවෙන් හොඳ මිලක් ලැබෙන දිනයක් අප ඉදිරියේ ඇතැයි කිවහොත් ඔබ බෙහෙවින් සතුටට පත් වෙනු ඇති. මේ වෙන විටත් බි්‍රතාන්‍යයේ අසූචි සාම්පලයක් වෙනුවෙන් පවුම් 10 ක් ලැබෙන අතර ඇමෙරිකාවේදී නම් අසූචි සාම්පලයක් වෙනුවෙන් ඩොලර් පනහක මුදලක් ගෙවීමට පර්යේෂකයන් සූදානමින් සිටිනවා.

● අසූචිවලින් වැඩක් ඇතැයිද…?

ඇත්තටම අසූචිවලින් පොහොරක් නිෂ්පාදනය කිරීම හැර වෙනත් කිසිදු කටයුතත්තක් වෙනුවෙන් යොදා ගැනීම ගැන ඔබේ මතකයට නැඟෙන්නේ නැති බැව් ඇත්ත. එහෙත් අසූචිවල ඇති හිතකර බැක්ටීරියා ආමාශයික රෝග වෙනුවෙන් බද්ධ කිරීමෙන් සිදු කරන Fecal Microbiota Transplantation (FMT) ප්‍රතිකාර විධි ගැනත් දැන් ලෝකයාගේ අවධානය යොමු වී තිබනවා.

● නමුත් අසූචි නිරෝගී විය යුතුයි…

සාමාන්‍යයෙන් අවයව බද්ධ කිරීමට පෙරාතුව දායකයා ගැන වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් පවත්වනවා. ඒ වගේම අසූචි සාම්පලයක් මිලට ගැනීමට පෙරාතුවත් අදාළ අසූචි සාම්පලය නිරෝගී මටට්මක පවතිනවා දැයි පර්යේෂණ ගණනාවක් පවත්වා එයින් ලද තහවුරුව මත අදාළ සාම්පලය වෙනුවෙන් අනුමැතිය ලැබෙනවා.

මිනිස් සිරුරේ බැක්ටීරියා සෛල ටි්‍රලියන ගණනාවක් තිබෙනවා. ක්ෂුද්‍ර ජීවීන් ලෙස (microbiome) හැඳින්වෙන මෙම බැක්ටීරියා අතර තවමත් ගවේෂණය නොකළ බැක්ටීරියාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෙම බැක්ටීරියාවන් ඇදුම, දියවැඩියාව මොළය සහ සුෂුම්නාව ආශ්‍රිත ආබාධ (Multiple sclerosis (MS)) සහ විවිධ ස්නායු රෝග වෙනුවෙන් වූ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමේ හැකියාව ඇති බවට විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු වී තිබෙනවා.

● එතැනින් නැවතීමක් නැහැ

අනාගතයේද තරබාරුව සහ වයස්ගත වීම පාලනය කිරීමට පවා අසූචිවලින් ලබා ගත් හිතකර බැක්ටීරියා බද්ධ කිරීම ඉතා සාර්ථක ලෙසින් යොදාගත හැකි බව හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ සහ බර්නින්හැම් කාන්තා රෝහලේ පර්යේෂක කණ්ඩායමක් විසින් සඳහන් කර තිබෙනවා. ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත කායික සහ මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳව වූ පර්යේෂණයන්හි නිරත මෙම අධ්‍යයනයේ ප්‍රධානී වෛද්‍ය යෑන්ග් යූ ලිං පෙන්වා දෙන්නේ මෙතෙක් යොදා ගත් අසූචි බද්ධ කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේදය වෙනුවට මෙම බැක්ටීරියාව ශල්‍ය කර්මයක් හෝ පෙත්තක් ලෙසින් බඩවැලේ තැන්පත් කිරීමට ඇති හැකියාව ගැන ඔවුන් අධ්‍යයනය සිදු කරන බවයි. 2013 වසරේ පටන් සිදු කරන ලද මෙම අධ්‍යයනයේ වාර්තාව ජුනි 30 වන දින journal Trends in Molecular Medicine මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

● බැංකුවක් ආරම්භ කිරීම…

මිනිස් අසූචි අනාගතය වෙනුවෙන් නැත්පත් කිරීම සඳහා බැංකුවක් ආරම්භ කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට දැන් පත්ව ඇතැයි වෛද්‍ය යෑන්ග් යූ ලිං පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් දරුවන්ගේ පෙකනිවැලෙන් ලබා ගන්නා රුධිරය අනාගත අවශ්‍යතාවයන් වෙනුවෙන් ලේ බැංකුවක තැන්පත් කිරීමට සමාන අන්දමින් අසූචි බැංකුගත කිරීමේ ක්‍රවේදයක් වෙනුවෙන් යොමු වීම වැදගත් බැව් පර්යේෂකයන්ගේ අදහසයි. පෙකනිවැල රුධිරය මගින් ඇතැම් වර්ගයේ පිළිකා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඌණතාවයන් සහ ඇතැම් ජානමය ආබාධයන් සඳහා වූ ප්‍රතිකාර වෙනුවෙන් යොදා ගන්නවා. පෙකනිවැල ආශ්‍රිත රුධිරය බද්ධ කිරීමට වඩා අසූචිවල ඇති හිතකර බැක්ටීරියා බද්ධ කිරීම වඩාත් වාසිදායක බැව් පර්යේෂකයන්ගේ අදහස වී තිබෙනවා.

තමන් නිරෝගී අවස්ථාවක හෙවත් තරුණ කාලයේදී ලබා දෙන අසූචි අනාගතයේදී තමන්ගේ රෝගාබාධ වෙනුවෙන් වූ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමේ හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම මෙය තවත් රෝගියකු වෙනුවෙන් යොදා ගැනීමේ ඇති හැකියාව නිසා රාජ්‍ය අංශ, ව්‍යවසායකයන් සහ විද්‍යාඥයන් විසින් මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් බැව් ඔහුගේ අදහසයි.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment