“අහසට නොවෙයි මුන්ට මැරෙන්නම වෙඩි තියන්න” – එස්. එස්. පී කීර්තිරත්න නියෝග කරලා

490

– නීතිපති අභියාචනාධිකරණයට දන්වයි

ඉන්ධන ගැටලුවට විසඳුම් ඉල්ලා පසුගිය අප්‍රේල් 19 වැනිදා රඹුක්කන පැවැති විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තබන විට “අහසට නෙමෙයි මුන්ට මැරෙන්නම වෙඩි තබන ලෙසට කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න පොලිසියට නියෝග කොට ඇතැයි අතිරේක පොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා ඊයේ (19 දා) අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය. එකී පොලිස් වෙඩිතැබීමෙන් මියගිය චමින්ද ලක්‍ෂාන් හෙවත් ‘සුද්දා’ නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබාදුන් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ඒ බව සනාථ කරමින් සාක්‍ෂි ලබා දී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය. තමන් අත්අඩංගුවට ගැනීමට හා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝග බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකු ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන අගෝස්තු 30 වැනිදා නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල ඊයේ  (19 දා) නියෝග කළහ.

කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් පෙත්සම්කාර සැකකරුවන් සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ නීතියට අනුකූල නියෝග වන බැවින් පෙත්සම්කරුවන්ගේ එකී පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙන්ම අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රියෙන්සි අර්සකුලරත්න හා උපුල් ජයසූරිය යන මහත්වරු ඉල්ලා සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ද නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment