අහසට පෙම් බැඳි ගැහැනිය අපූර්ව කෙටිකතා සංග‍්‍රහයක්

335

නූතන සිංහල කෙටිකතාකරුවන් අතර ප‍්‍රතිසම්පන්න කෙටිකතාකරුවකු ලෙසින් පාඨක-විචාරක සම්භාවනාවට පත් සුනිල් ගුණවර්ධනගේ සත්වැනි කෙටිකතා සංග‍්‍රහය වන ”අහසට පෙම් බැඳි ගැහැනිය’’ සුඛ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරි ජීවිතයේ සැබෑ යථාර්ථය මැනවින් විදාරණය කරන අපූර්ව අනුභූතීන්ගෙන්, විවිධ ආඛ්‍යාන රටා වලින්, සහ භාෂා ප‍්‍රයෝගයන්ගෙන් යුත් කෙටිකතා සංග‍්‍රහයක් බැව් නමෝවිත්තියෙන්ම සඳහන් කළ යුතුය.

මෙම කෙටිකතා සංග‍්‍රහය තුළින් සුනිල් ගුණවර්ධනයන් මීට පෙර රචනා කළ ”දූලගේ තාත්තා’’, ”රේස් ආච්චි’’ ,”මෙත්තම්මා’’, ”නොසිතූ විරූ’’, ”බීකා’’, සහ ”ඩ‍්‍රැයිවර් නැන්දා’’ යන කෙටිකතා සංග‍්‍රහයන්ගෙන් විශද කරන ලද කතුවරයාගේ නිර්මාණ කෞශ්‍යලය, වඩාත් ඔපමට්ටම් වී ඇති බැව් පිළිබිඹු කරයි. මෙම කෙටිකතා සංග‍්‍රහයේ ඇතුළත හමුවන ප‍්‍රථම කෙටිකතාව ”ගැඹුරට ගිය මිනිහෙක්’’ තනිකඩව දිවි ගෙවූ පියුම්රත්න නැමති චරිතය කේන්ද්‍රකර ගොඩනගා ඇත. කුඩා දරුවන්ට බෙහෙවින් ආදරය කළ පියුම්රත්න දරුවන්ට කඩයෙන් මිලට ගෙන මොනවා හරි කෑමට බෙදා දීමට දැක්වූයේ දැඩි ප‍්‍රියතාවයකි. විමලසේනගේ දරුවෝ පියුම්රත්න බාප්පාට දැක්වූයේ ගෞරවාන්විත භය පක්ෂපාතීකමකි. පියුම්රත්න විමලාවතී කෙරෙහි කිසියම් පේ‍්‍රමයකින් පසුවුවද ඔහු විමලාවතී සිය සොහොයුරාට විවාහ කරදීමට උත්සුක වී කසාද නොබැඳ ඔවුන් සමඟ ජීවත්වීම අරුමැසි පේ‍්‍රමයක් නොවන්නේද? ඔහුගේ මෙවදන් වලට සවන්දුන මැනවි.

”විමලාවතී, මේ ලෝකෙ මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් එකම එක් කෙනෙකුට විතරයි. මුළු සසර පුරා සිද්ධාර්ථ කුමාරය ආදරේ කළේ යශෝධරාවට’’

සිය සොහොයුරු විමලසේන මහා පරිමාණ කොන්ත‍්‍රාත්කරුවෙකු ලෙසින් ව්‍යාපාර ලෝකය ජය ගනිද්දී පියරත්න අකුටිලව ඔහුගේ සහයට පැමිණියේ සහෝදර පේ‍්‍රමයෙනි. විමලරත්නගේ පුතා කොළඹ විශ්වවිද්‍යාලයටත්, දියණිය කළුතර ඉංග‍්‍රීසි මාධ්‍ය විද්‍යා පීඨයටත් ඇතුළත්වීම ඔවුන් ලත් ජයග‍්‍රහණයකි. එහෙත් පවුලේ බඩ පිස්සා මානසික ව්‍යාධියකට ගොදුරුව අනපේක්ෂිත ලෙසින් තරුණියක් නිවසට කැන්දන් පැමිණියේය. එ් හා සමඟම තුන්වන දියණිය කාන්ති බලවත් සේ අසනීප වුවත්, ඉන් සුව කර ගත්තද, වික්ෂෝපයට පත් විමලසේන දිවි සැරියෙන් සමුගත්තේය. විමලාවතීගේ අභාවයෙන් සති කීපයකට පසු පියරත්න විමලාවතීගේ සොහොන් කොත අසළ සැතපීම සැළමුතුු පේ‍්‍රමයක ඛේදනීය අවසානය නොවන්නේද? මෙම සිදුවීම් පෙළ චිත‍්‍රණය කිරීමේදී කතුවරයා දක්වා ඇති විවේක බුද්ධියත්, මනා සංයමයත්, මෙහි සෑම පිටුවකින්ම මනාව පිළිබිඹුවේ.

”රත්තරන් මිනිස්සු’’ කෙටිකතාව නුගේගොඩ ජම්බුගස්මුල්ල ආශ‍්‍රය භූමි කරගෙන රචිතය. එදා ජම්බුගස්මුල්ල ප‍්‍රදේශයේ තතු මැනවින් චිත‍්‍රණය කරමින් ඇරඹෙන මෙම කෙටිකතාව දෙල්ගහවත්ත ඉඩමෙන් නිවසක අත්තිවාරම දුටු පීරීස් මහතා ඉඩමෙහි අයිතිකාර සිරිවර්ධන නෝනා හමුවී කරන දෙබස් තුළින් පීරීස් මහතා සතු උදාර ගතිගුණ මැනවින් විදාරණය වේ. දෙල්ගහවත්ත ඉඩමේ පදිංචි වූ පීරීස් පවුල නිහඬ පිළිවෙත් රැකි අතර, ජම්බුගස්මුල්ල සමාජයට පළමුව පා තැබුවේ සිරිවර්ධන නෝනාගේ මව ගේ අභාවය හේතුවෙනි. පීරිස් මහතා ගේ චරිතාභ්‍යන්තරය විශද වන්නේ මෙබඳු දෙබස් කාණ්ඩ තුළිනි.

අහසට පෙම් බැඳි ගැහැනිය අපූර්ව කෙටිකතා සංග‍්‍රහයක්

”අපි හිතුවේ පීරිස් මහත්තය අහංකාර මනුස්සයෙක් කියල’’

” අපි මොකට අහංකාර වෙන්න ද? අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට, අවශ්‍ය විදියට කෙරෙන්න ඕන?’’

දෙවැනි ඉඩමෙහි පදිංචිව සිටි ධර්මසේන මත්පැනට ලොල් වූ චාරයක් නොමැතිව අනාචාරයේ යෙදෙන මිනිසෙකු විය. ඔහුගේ පවුලේ සාමාජිකයින් පීරිස් මහතාගේ නිවසේ රැුඳී සිටිනු දුටු ඔහු ප‍්‍රතික‍්‍රියා කරන්නේ මෙබඳු අසංවර, අශ්ශීල වදන් සමුදායකිනි.

”වල් ලන්සිය, ඇරපිය යකෝ දොර. තෝ මගේ ගෑනිවයි දරු දෙන්නවයි, ගේ ඇතුළෙ දාගෙන අහවල් එක කරනව ද? බැල්ලි ගෙ පුතෝ දොර ඇරපිය.’’

”තෝ යකෝ ලන්සි වේ… මගේ ගෑනිවයි ළමයි දෙන්නවයි එළියට නොදැම්මොත් මං අදිනව තොගේ කොළ බොක්ක ’’

ධර්මසේනගේ විසඥ වූ සිහිය ප‍්‍රකෘතියට පත් වූ පසු ධර්මසේන පීරිස් මහතා ඉදිරියේ දණින් වැටී සමාව ඇයදීම පුරුද්දක් බවට පත් විය.

”මනුෂ්‍යයෙකුට ලොකුම යුතුකම තව මනුෂ්‍යයකුට පිහිට වෙන එක” මෙය පීරිස් මහතා ඇදහූ ධර්මතාවයකි. කවුරුන් සමගත් හදවතින් දිවි ගෙවූ පීරිස් මහතා සිය පවුලත් සමඟ ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට පිටත් වන්නේ සිය බඩු බාහිරාදිය අසල්වාසීන්ට තිළිණ කරමිනි. කතුවර සුනිල් ගුණවර්ධන ඔහු විසින් විරචිත සෑම කෙටිකතා සංග‍්‍රහයකම බර්ගර් ජාතිකයින් වස්තු විෂය කරගත් අපූර්ව කෙටිතා රාශියක් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. බර්ගර් ජාතිකයින් ගැන ලියූ කාල් මලර්ගෙන් පසුව බර්ගර් ජන ජීවිතය විදාරණය කරන එකම සිංහල කෙටිකතාකරුවා සුනිල් ගුණවර්ධනයන් බැව් පරාක‍්‍රම කොඩිතුවක්කු කිවිඳුන් කර ඇති සඳහන මට මෙහිදී මතකයට නැගේ.

”අහසට පෙම් බැඳි ගැහැනිය’’ කෙටිකතා සංග‍්‍රහය සුනිල් ගුණවර්ධන ගේ ඉසියුම් පරිකල්පනය, විසල් ප‍්‍රතිභා ශක්තිය හා මානව පේ‍්‍රමය පිළිබිඹු කරන අපූර්ව කෙටිකතා සංග‍්‍රහයක් බැව් සඳහන් කළමනාමය.

උදේනි සරත්චන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment