අහසට වෙඩි තබා දරුවා ඉස්සූ පාතාලයේ නීලකත් වෙඩිකා නසී…

816

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ 14ක ප‍්‍රධාන සැකකරුවෙක්…

වධකාගාරයකුත් පවත්වාගෙන ගිහින්…

අතපය වෙන් වෙන්න කැපුවා මදිවාට බිරිඳගේ රහස් ප‍්‍රදේශයටත් කඩු පහරවල් එල්ල කරලා…

රට තුළ ක‍්‍රමානුකූලව අපරාධ තැනින් තැන හිස ඔසවන බවක් පෙනේ. මිනීමැරීම්, ස්ත‍්‍රී දූෂණ, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම්, නිවාසවලට පහරදීම් සහ කුඩු බෙදාහැරීම් දිනපතාම පාහේ සිදු වෙමින් පවතී. පාතාලකාරයින් යයි කියා ගන්නා පිරිසක් මෙම අපරාධ පිටුපස සිටිති. එහෙත් වෙනදා මෙන් අපරාධ සිදු කර වර්තමානයේ ඔවුන්ට සැඟවී සිටීමට නොහැකිය. දැන් නීතිය තදින්ම ක‍්‍රියාත්මක වෙමින් පවතී. සමහර දේශපාලකයින්ට පවා තම පාතාල හෙංචයියන් බේරාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙමින් පවතී.

තත්ත්වය එසේ තිබියදීත් සමහර පාතාලකාරයන් කිසිදු බියක් සැකක් නොමැතිව දරුණු ගණයේ අපරාධ සිදු කරති. පසුගියදා හොරණ ප‍්‍රදේශයේ ද එවැනි අපරාධ සිදු කරන පාතාලකාරයකුට පොලිස් වෙඩිකා මිය යෑමට සිදු විය. එම සිද්ධිය සැකවින් මෙසේය.

ඉලිබේ රන්ජිගේ පුතා නොහොත් නීලක හොරණ ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. හරිහමන් අධ්‍යාපනයක් නොලද මොහු පාසල් කාලයේ සිටම ඉතා මෝඩ අයකු විය. පාසල් අධ්‍යාපනය අතහැර දැමූ මොහු යහළුවන් සමඟ රස්තියාදු ගැසීමට පුරුදු විය. ඒ සමගම මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයට ද මොහු ඇබ්බැහි විය.

ගැටවර වයසේදීම තම ජීවිතය විනාශ කරගත් මොහුට තද පාතාල උණක් ද වැලඳී තිබුණි. එම නිසා පාතාල කල්ලියක් බිහි කර ගැනීමට මොහු කටයුතු කළේය. ඒ සඳහා තමන් මෙන්ම හරි හමන් අධ්‍යාපනයක් නොලද පිරිසක් මොහු එකතු කර ගත්තේය. පොඩියට පටන් ගත් එම පාතාල කල්ලිය කලක් යද්දී හොරණ ප‍්‍රදේශයටම පිළිලයක් විය.

දකුණු ඉන්දියාවේ කසිකබල් දෙමළ චිත‍්‍රපටිවල ඇති මන්නා පිහි රැගෙන කරන පහරදීම් මෙන් නීලක නමැති මෙම පාතාලයා එම ප‍්‍රදේශයේ අහිංසක මිනිස්සුන්ව කපා කොටා දැමුවේය. ඒ අතර ජීවත් වීම සඳහා කප්පම් ගැනීමට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම ද මොහු සිදුකරගෙන ගියේය.

පේ‍්‍රම සම්බන්ධතාවයක් මත හොරණ ප‍්‍රදේශයේම තරුණියක සමඟ මොහු අඩු වයසින් විවාහ විය. ඒ දැනට වසර කිහිපයකට පමණ ඉහතදීය. එම විවාහයෙන් ඔහුට පිරිමි දරුවකු සිටී. පියකු වූ පසුවත් ඔහු තම අපරාධ කිසිවක් අඩු නොකර සුපුරුදු පරිදි සිදු කරගෙන ගියේය. එමෙන්ම මොහු තදින්ම අයිස් සහ ගංජා පානයට පුරුදු වී සිටි අයෙකි. එලෙස මත්ද්‍රව්‍ය පානය කර පැමිණි පසු ඔහු තම බිරිඳට නොකළ වැරදිවලට පවා චෝදනා එල්ල කරමින් බැණ වැදුණේය. අමානුෂික ලෙස පහරදුන්නේය.

ප‍්‍රදේශයේ ජනතාව මොහුගේ මුහුණ බැලීමට පවා අකමැති විය. ඒ තරමටම ඔහු අප‍්‍රසන්න දාමරික පුද්ගලයකු විය. ප‍්‍රදේශයට පිළිලයක් වූ මොහු කලක් තිස්සේ හොරණ කිරිගලහේන ප‍්‍රදේශයේ වධකාගාරයක් ද පවත්වාගෙන ගියේය. තමන්ට එරෙහි වන තරුණයන්ව එම වධකාගාරයට රැගෙන යන මොහු ඔවුන්ට අමානුෂික ලෙස දඬුවම් ලබා දුන්නේය.

දිනක් නීලක නමැති මෙම පාතාලයා තරුණයකුට එම වධකාගාරය තුළ අමානුෂික ලෙස දඬුවම් ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලය හරහා හුවමාරු විය. එය දැකීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූහ. එම පරීක්ෂණවලට අනුව දැනගන්න ලැබුණේ එම වධකාගාරය පවත්වාගෙන ගියේ නීලක නමැති මෙම පාතාලයා විසින් බවයි. ඒ අනුව එම නිලධාරීහු තියුණු ආයුධ කිහිපයක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්හ. එයට පෙර ද අවස්ථා කිහිපයකදීම මොහු විවිධ අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකි.

වධකාගාරයක් පවත්වාගෙන යෑම සහ තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් යළිත් වරක් මොහු බන්ධනාගාර ගත විය. එලෙස බන්ධනාගාර ගත වූ පසු ඔහුගේ බිරිඳගේ සිතට දැනුනේ දැඩි සැහැල්ලූවකි. ඒ කාලයක් ඔහුගේ කරදරවලින් බේරී සිටීමට හැකි නිසාය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කාලය තුළ ත‍්‍රීවිල් රථ රියැදුරකු සමඟ ඇය සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය.

සති කිහිපයක් බන්ධනාගාර ගතව සිටි නීලක නමැති මෙම පාතාලයා ඇප පිට නිදහස් විය. එලෙස නිදහස් වී නිවසට පැමිණි පසු ඔහුට දැන ගන්නට ලැබුණේ තම බිරිඳ කිසියම් පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ඇති බවයි. එම නිසා ඔහු සිටියේ බිරිඳ සමඟ ඉමහත් කේන්තියකින් ය. එලෙස කේන්තියෙන් සිටි අණක් ගුණක් නොතිබූ මෙම පාතාලයා කිසිවක් සොයා බලන්නේ නැතිව කඩුවකින් තම බිරිඳව ඉතා අමානුෂික ලෙස කපා කොටා දැමුවේය.

මෙම පාතාල අපතයා තම බිරිඳගේ කකුල් දෙක සහ අත්දෙක වෙන් වෙනතුරු කඩු පහරවල් එල්ල කර තිබුණි. එයට අමතරව ඇයගේ රහස් ප‍්‍රදේශයට සහ ඔළුවට ද කඩු පහරවල් කිහිපයක් එල්ල කර තිබුණි. එම කඩු පහරවල් හමුවේ බරපතළ තුවාල ලැබූ ඇය තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් සිටී.

එතැනින් නොනැවතුණු මෙම පාතාලයා තම බිරිඳ සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන තී‍්‍රරෝද රථ රියදුරාව ද බුලත්සිංහල හල්වතුර ප‍්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කළේය. ඉන්පසු මෙම පාතාලයා පොලිසිය මඟ හරිමින් කට්ටි පනිමින් සිටියේය. පොලිසිය මෙම සිද්ධි දෙක පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමෙන් පසු ඔවුන්ගේ වයස හතක් වන එකම දරුවා තාවකාලිකව මිත්තණිය භාරයට පත්කර තිබුණි. මිත්තණිය යනු මෙම පාතාල අපතයාගේ බිරිඳගේ මවයි.

පසුව අධිකරණය එම දරුවා පරිවාස භාරයට පත් කිරීමට නියෝග කර තිබුණි. ඒ පසුගිය 18 වැනිදාය. මේ බව දැනගත් නීලක තම බිරිඳගේ මවගේ නිවසට ගොස් ටී. 56 ගිනි අවියක් පෙන්වා අහසට වෙඩි තබා ඔවුන් බියවද්දා දරුවා පැහැරගෙන ගියේය. එලෙස පැහැරගෙන ගිය තම දරුවා මිතුරකුගේ නිවසේ රඳවා තැබුවේය.

නීලක දරුවා පැහැරගෙන ගිය පසු එම නිවැසියන් ඒ පිළිබඳව පොලීසියට දැන්නුවේය. ඒ අනුව පොලිසිය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළේය. ඒ අනුව එම පොලිස් නිලධාරීන්ට හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ නිවසක මෙම සැකකරු සැඟවී සිටින බවට තොරතුරු ලැබුණි. වහාම ක‍්‍රියාත්මක වූ හොරණ පොලිසියේ නිලධාරීහු එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පිටත්ව ගියහ.

අදාළ නිවස ආසන්නයට පැමිණීමත් සමගම නිවස තුළ සිටි නීලක නමැති පාතාලයා පොලිස් නිලධාරීන්ට වෙඩි පහර කිහිපයක් එල්ල කළේය. ඒ සමඟම විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණියේය. ඔවුන්ට ද මෙම සැකකරු වෙඩි ප‍්‍රහාර කිහිපයක් එල්ල කළේය. ඒ සමගම එම නිලධාරීන් ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. එහිදී එල්ල වූ වෙඩි පහරකින් නීලක නමැති මෙම පාතාලයා තුවාල ලැබුවේය.

තුවාල ලබා සිටි සැකකරු ප‍්‍රතිකාර කිරීම සඳහා හොරණ රෝහලට ගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබුණි. ඒ සමගම ඔහු සමඟ සිටි තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකි වී තිබුණි.

වැඩිදුර නිවස පරීක්ෂා කිරීමේදී පැහැර ගත් දරුවා එම නිවසේ සිට නැති අතර දරුවා සොයා මෙහෙයුමක් ද ක‍්‍රියාත්මක කළේය. එම මෙහෙයුම ක‍්‍රියාත්මක වෙද්දී මරණයට පත් වූ පුද්ගලයාගේ මිතුරකු විසින් දරුවා එදින රාත‍්‍රියේම හොරණ පොලිසියට ගෙනවිත් භාරදී තිබේ.

තම උපන් ප‍්‍රදේශය ට පමණක් නොව රටටම පිළිලයක් වූ මිනීමැරුම් ඇතුළු අපරාධ දහහතරකට සම්බන්ධ මෙම පාතාල කල්ලි සාමාජික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් ගියේ එලෙසින්ය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment