අහසින් පොලවට නොබසින හාල් මිල

443

වෙළඳපොළේ දිනෙන් දින ඉහළ යමින් තිබෙන සහල් මිල පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කිරීම පලක් නැතැයි සිතෙන තරම්ය. එහෙත් මහජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතර සහල් ද වඩාත් ඉදිරියෙන් හෙයින් එය අමතක කළ හැකි කරුණක්ද නොවේ. මිනිස් පරිභෝජනය සඳහා ගනු ලබන ආහාර ද්‍රව්‍ය මෙන්ම පුන්නක්කු ඇතුළු සත්ව ආහාරවල මිලද ඉතා ඉහළ යැයි සත්ව ගොවිපළ හිමියෝ කියති. මෙරට පුන්නක්කු ආහාරයට ගන්නා සංඛ්‍යාවට වඩා සහල් පරිභෝජනය කරන නැතහොත් බත් කන ජනයා වැඩි යැයි විශ්වාස කරන හෙයින් තවදුරටත් සහල් අර්බුදය ගැනම කතිකා කරන්නට සිදුව තිබේ.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල මේ අන්දමට අසීමාන්තිකව ඉහළ යෑම ගැන චෝදනා එල්ලවන්නේ රජයට බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙහිදී පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ රජය පසුගියදා සහල්, සීනි, පරිප්පු, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්‍ධයෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම මිල වැඩිවීමට බලපෑ අනිවාර්ය හේතුව ලෙසය. එම වැරදි පූර්වාදර්ශය රජය මුලින්ම ලබා දුන්නේ මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට බවද ඔවුහු මතක් කර දෙති.

මෙයට මාසයකට පමණ ඉහතදී රජය සහල් සම්බන්‍ධයෙන් පැවැති පාලන මිල ඉවත් කර ගැනීමෙන් පසුව මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් පිළිබඳ මිල ගණන් රටට ඉදිරිපත් කළේය. එහිදි කියැවුණේ නාඩු සහල් කිලෝවක් රුපියල් 115කට අලෙවි කරන බවය. සම්බා සහල් කිලෝවක මිල 140ක් කීරි සම්බා කිලෝවක් රුපියල් 165 බැගින්ද අලෙවි කරන බව කීහ. එහෙත් ඒ මිල ගණන් දැන් අහලකවත් නොමැති බව පාරිභෝගික ජනතාව කියති. ඉන් පසුව අවස්ථා ගණාවකදී සහල් මිල ඉහළ දැමීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ක‍්‍රියා කළ බව උදාහරණ ගෙනහැර දක්වමින් ඔවුහු පෙන්වාදෙති. මේ වනවිට මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ වෙළෙඳුන් මහජනයාට සහල් විකුණන්නේ හිතුමතේට මිල තීන්දු කර යැයිද එම පාරිභෝගික ජනතාව කියා සිටියහ. එසේ වුවද ඊට වගකියන්නට කිසිවෙකු නොමැතිවීම දොම්නස දනවන කාරණයක් බවද ඔවුහු කියා සිටිති. එම නිසා මේ ප‍්‍රශ්නය හමුවේ තමන් අසරණ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතුද නැතැයිද පසුගිය දිනවල රටේ ප‍්‍රධාන පුරවැසියා වෙතින් පළ වූ අදහස් තුළින් ද එය මනාව තහවුරු වන බවද ඔවුහු කියා සිටිති. දින දින ඉහළ යන කන බොනදෑවල මිල හමුවේ මේ අන්දමට පාරිභෝගික ජනතාව වඩාත් අසරණවී ඇතුවා පමණක් නොව ඔවුන්ගේ දුක්මැසිවිලි අසන රජෙකු නිරිඳෙකු තබා කොළු කුරුට්ටෙකුවත් මිහිපිට නොසිටීම අවාසනාවක් බවද කියති.

රජය පාලන මිල ඉවතලා රිසිසේ භාණ්ඩ අලෙවි කිරීමේ අයිතිය මුදලාලිට ලබාදීම මෙලෙස බඩුමිල ඉහළ යෑමට බලපා තිබෙන බව කවුරුත් හොඳින් දන්නා කාරණයකි. කෙසේ නමුත් දිනපතා කුලී වැඩෙක හෝ සුළු රැකියාවක නිරතව එදිනෙදා වේල සරිකර ගන්නට සුළුවෙන් ආදායමක් උපයන ජනයාට පමණක් නොව මේ රටේ මධ්‍යම පන්තික ජන සමාජයට පවා වෙළෙඳපොළේ දැන් පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඔරොත්තු නොදෙන බව පැහැදිලිය. ගොවීන් වගාවට අවැසි පොහොර ඉල්ලා කරන උද්ඝෝෂණ තරමට බඩුමිල පහත හෙළා ජීවන බර අඩුකරන ලෙස රජයට බල කෙරෙන වීදි සටන්ද මේ දිනවල බහුලව දැකිය හැකිය. එයින් පැහැදිලිවන්නේ දැරිය නොහැකි බඩු මිල හේතුවෙන් රටේ ජනතාව දැඩි පීඩනයෙකින් පසුවන බව මිස අන් කිසිවක් නොවේ. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළ ගොස් තිබෙන බවට පාරිභෝගික ජනතාවගෙන් නැෙඟන මැසිවිලි සුළුපටු නොවේ.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළයෑම ගැන වගකීමක් තමන්ට දැරිය නොහැකි බව සිල්ලර වෙළෙඳුන් කියා සිටිති. මෝල් හිමියන් විසින් තීරණය කරනු ලබන තොග මිලට අනුව සිල්ලර මිල තීරණය වන බව ඔවුහු පෙන්වාදෙති. අලූත්ම මිල ගණන්වලට අනුව කීරි සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 225ක් ඉක්මවන බව පවසන එම සිල්ලර වෙළෙඳුන් මේ වනවිට සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 165ක් දක්වාද නාඩු වර්ගයේ සහල් කිලෝවක් රුපියල් 140ක් දක්වාද මිල ඉහළ ගොස් ඇතැයිද කියති. එයට සාපේක්ෂව සහල් සිල්ලර මිල ඉහළ යෑම අනිවාර්යයෙන්ම සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අන්දමට සහල් තොග මිල ඉහළ දැමීම මේ දිනවල දිනපතාම පාහේ සිදුවන බවද එම සිල්ලර වෙළෙඳුන් පැවැසූහ. බොහෝවිට ඕනෑම වර්ගයක සහල් කිලෝවක තොග මිල සහ සිල්ලර මිල අතර පවතිනුයේ රුපියල් 05ක පරතරයක් බවයි එම සිල්ලර වෙළෙඳුන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. එසේ වුවද එවැනි පරතරයක් කිසිසේත්ම පෙනෙන්නට නොමැති අතර බෙහෙවින් ඉහළ මිල ගණන්වලට හැර අඩු මුදලකට සහල් මිලදී ගැනීමට නොමැති බව බත්කන ජනයා හොඳාකාරවම දනිති.

මේ අන්දමට සහල් මිල ඉහළ යාමට හේතු කාරණා විමසන විට සහල් මෝල් හිමියන්ගෙන් ලැබෙන පොදු පිළිතුර වී ඇත්තේ එදිනෙදා පවතින වී මිලට අනුව සහල් මිල වෙනස්වන බවයි. වී මිල දවස ගාණේ ඉහළ යාම නොවැළැක්විය හැකි බවද ඔවුහු කීහ. මෙම කාරණය සම්බන්‍ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ මරඳගහමුල තොග වෙළෙඳපොළට සහල් සපයන එම ප‍්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අපට පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් විසින් මේ දිනවල කෘතිම ලෙස වී මිල ඉහළ දමමින් තිබෙන බවයි. එමෙන්ම ඔවුන් බොහෝ දෙනෙකු ප‍්‍රකාශ කළේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් එලෙස වී මිල හසුරුවමින් සිය ඒකාධිකාරියක් පවත්වාගෙන යන බවත්ය. ඔවුන්ගේ මිල තීරණවලට අනුව මේ වනවිට නාඩු වී කිලෝවක් රුපියල් 77ක් සම්බා වී කිලෝවක් රුපියල් 92ක් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 118ක් දක්වා වී මිල ඉහළ නැඟ ඇතැයිද කීහ. ඔවුන් සහල් මිල තීරණය කරනු ලබන්නේ එම වී මිලට සාපේක්ෂව බව කී ඒ සහල් මෝල් හිමියෝ මරඳගහමුල තොග වෙළෙඳපොළේ මිල මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ මිලට වඩා අඩුමට්ටමක පවතින බවද කීහ.

සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නොහැකිවී ඇත්තේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු දිනෙන් දින වී මිල ඉහළ දැමීම බවට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පෙන්වාදෙන කරුණ සම්බන්‍ධයෙන් අප සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතාගෙන් විමසූවිට ඔහු කියාසිටියේ එය සැබෑවක් බවයි. වර්තමානයේ ඇතිවී තිබෙන සහල් අර්බුදය නිර්මාණය කර ඇත්තේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් බවද ඒ මහතා කීය. එම නිසා මේ ප‍්‍රශ්නයට රජය දිය යුතු එකම විසඳුම ප‍්‍රමාදවී හෝ නැවත සහල් පාලන මිල පැනැවීම බවද කීය. එසේ නොවන තාක්කල් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ මෙම මාෆියාව ක‍්‍රියාත්මක වන බව කීවේය.

”අපි මුල ඉඳලම දරපු ස්ථාවරය තමයි රජය සහල් පාලන මිල ඉවත් කිරීම වැරදියි කියන එක. අද මේ ඇතිවෙලා තිබෙන සහල් මිල ඉහළ යාමට ප‍්‍රධාන හේතුව එයයි. අද මේ නිසා පාරිභෝගික ජනතාව විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා. දවසින් දවස හාල් මිල වැඩිවෙනවා. මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. මේ සහල් මිල වැඩි කරන්නේ අපි නොවෙයි. මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙක්. රජය සහල් පාලන මිල ඉවත් කළ මොහොතේ පටන් වෙළෙඳපොළේ සහල් මිල පිළිබඳ අධිකාරී බලය ඒ අය අතට පත්කර ගත්තා. එදා ඉඳලා සහල් මිල ඉහළ දැමීම ඒ අය විසින් කරන්නේ. මහා පරිමාණ සහල් මෝල් හිමියන් අදටත් සහල් නිෂ්පාදනය කරන්නේ රුපියල් 50ට වඩා අඩු මිලට ගත් වී වලින්. නමුත් මිල තීරණය කරන්නේ අද පවතින වී මිලට අනුව. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට විශාල වී තොග ඇත්තේ නෑ. ඒ අය සහල් නිෂ්පාදනය කරන්නේ එදිනෙදා පවතින මිලට වී අරගෙනයි. මේ දිනවල මහා පරිමාණ සහල් මෝල් හිමියන් කරන්නේ වී මිල ඉහළ දැමීමයි. එවිට ඒ අයගේ ළඟ තිබෙන වී කිලෝ කෝටි ගාණක මිලත් ඉබේටම වැඩි වෙනවා. ඒ අඩු මිලට අරගෙන ගබඩා කරලා තිබෙන වීවලින් නිෂ්පාදනය කරන සහල් දැන් පවතින වී මිලට සාපේක්‍ෂව මිල කරලා විශාල ලාභයක් ඇතිව වෙළෙඳපොළට නිකුත් කරනවා. මේක මහජනතාව දන්නේ නෑ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ වී මිල වැඩි නිසා තමයි සහල් මිලත් වැඩියි කියලා. නමුත් ඒක නෙවෙයි ඇත්ත තත්ත්වය. වී මිල වැඩි කරන්නේ ඔය මහා පරිමාණ සහල් මෝල් හිමියන් අඩු මිලට අරගෙන ගබඩාවල තියෙන වී තොගයේ වටිනාකම වැඩි කරන්නයි කියන එක බොහෝ දෙනෙක් දන්නේ නෑ. වර්තමානයේ මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වැඩි පිරිසක් දැඩි අසීරුතාවයට පත්වෙලා ඉන්නේ. ඒ අයට මේ පවතින මිලට වී අරගෙන සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම විශාල වී හිඟයක් තිබෙනවා. ඒ නිසා වී මෝල් විශාල ප‍්‍රමාණයක් මේ වනවිට වැහිලා. මේ රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට පණහක් පමණ වෙළෙඳපොළට සපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්. නමුත් මේ අර්බුදයට මුහුණ දෙන්න බැරිව රටපුරාම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 500කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට වැහිලා. අපි, ආණ්ඩුවට මුලදිම කිව්වා මේ වැඬේ කරන්න එපා නැති ප‍්‍රශ්න ඇතිවෙනවා කියලා. දැන් ප‍්‍රශ්නයෙන් පාරිභෝගික ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවා වගේම සහල් නිෂ්පාදකයින් පිරිසක් හැටියට අපිත් විශාල අර්බුදයකට මැදිවෙලයි ඉන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ ප‍්‍රමාදවෙලා හරි නැවත සහල් සඳහා රජයේ පාලන මිල පනවන්න කියන එකයි. එහෙම නොකළොත් මේ ප‍්‍රශ්න තව තවත් දිග්ගැහෙනවා. ඒක අනිවාර්යයි. දැන් මේ වෙනකොට මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතරේත් විශාල තරඟයක් ඇතිවෙලා. ඒ අය මුලින් කියපු විදියට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. පාරිභෝගිකයා අපහසුතාවයට පත්වෙන විදියට සහල් මිල ඉහළ දමන්නේ නෑ කියලා ප‍්‍රසිද්ධියේ කිව්වා. නමුත් දැන් රජයත් අපහසුතාවයට පත්වෙලා. මේ අන්දමට මහජනතාවට ඔරොත්තු නොදෙන ආකාරයට දිනෙන් දින සහල් මිල ඉහළ දැමීම නිසා. මේ තත්ත්වය මෙතැනින් අවසාන වෙන්නේ නෑ. එක් ස්ථිරවම කිව හැකියි. මේක නොනවතින මිල ඉහළ දැමීමක් ඒ නිසා අපි කියන්නේ මේ සූරාකෑම වහාම නැවැත්වීමට රජය පියවර ගතයුතුයි. ඒ සඳහා කළයුත්තේ සහල් සඳහා පාලන මිල පැනැවීම පමණයි. ඒ හැර වෙනත් විකල්පයක් ඇත්තේ නෑ.’’

සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන පරිදි මෙරට සහල් නිෂ්පාදන කර්මාන්තය ද මේ වනවිට විශාල අර්බුදයකට ලක්ව තිබේ. එනම් සහල් නිපදවීම සඳහා අවශ්‍ය වී තොග නොමැතිකමින් ඒවා වැසී යෑමයි. මෙරට වෙළෙඳපොළේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණ මෙතෙක් සපයන ලද්දේ එම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් මගින් බවද කියැවේ. සහල් මෝල් වැසීයෑමෙන් ඒ සැපයුම අඩාලවී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවන අතර සැපයුමේ අඩුවක් ඇතිවන කල භාණ්ඩ මිල ඉහළ යෑම වෙළෙඳපොළ මූලික න්‍යායෙකි. දිනෙන් දින වී මිල ඉහළ දැමීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ක‍්‍රියාකිරීම තුළින් ඔවුන් අපේක්ෂා කරනුයේ තමන් මේවනවිට ගබඩා කරගෙන තිබෙන ඉතා අඩුවට මිලදී ගත් වීවලින් නිපදවන සහල්වලට වැඩි මිලක් ලබාගැනීම යැයි සභාපතිවරයා කරුණු සහිතව පෙන්වාදෙයි. තවත් විදියෙකින් කිවහොත් තුට්ටු දෙකට මිලදී ගත් වීවලින් සහල් නිපදවා අපූරුවට පාරිභෝගිකයා සූරාකන ආකාරය හෙවත් සහල් මාෆියාවේ සැබෑ නිර්ලජ්ජිත හැසිරීමයි. නිෂ්පාදකයාගේ අරමුණ කුමන භාණ්ඩයක් වුවද ඉතා ඉහළ මිලකට අලෙවි කිරීම බව අප මෙහිදී අමතක කළ යුතු නැත. නමුත් එය පාරිභෝගිකයාට ඔරොත්තු දෙන සාධාරණ මිලකට අලෙවි කිරීමේ පිළිවෙතක් අනුගමනය නොකරන්නේ නම් රජයක වගකීම වන්නේ එය නියාමනය කිරීමය. එහෙත් දැන් එය හාල් මෝල් හිමියන් වෙතම බන්දේසියේ තබා පිරිනමා බකංනිලාගෙන සිටීම තුළ වෙළෙඳපොළේ සහල් මිල නහුතෙට නගිනවෝයි කියමින් පාරිභෝගිකයාට මරහඬ තලන්නට සිදුව තිබීම එතරම් අරුමැසි කාරණයක් නම් නොවේ.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් වර්තමානයේ පවතින වී මිල ගෙනහැර දක්වමින් සහල් කිලෝවේ මිල ඉහළ දැමුවද වී සහල් බවට පත්කිරීමේදී බැහැර කෙරෙන දහයියා, සහල් කුඩු, සුණු සහල් ආදියද සල්ලි මවන අතුරු නිෂ්පාදන බව බොහෝ දෙනා නොදන්නා කරුණෙකි. මෝල් හිමියන් සහල් නිෂ්පාදනයේදී ලබන ලාභය පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී එම අතුරු නිෂ්පාදනවලින් ලැබෙන ආදායම සැබැවින්ම අප‍්‍රකටය. පාරිභෝගිකයාටද ඒ පිළිබඳව අවබෝධයක් නොමැති අතර විශේෂ අවධානයක් ද යොමු නොවේ.

සහල් නිෂ්පාදනය කිරීමේදී ලැබෙන සහල් ප‍්‍රමාණය සියයට 62 -63ක් බව මෝල් හිමියෝ කියති. ඉතිරිය අයත්වන්නේ දහයියා, සහල් කුඩු සහ සුණු සහල් ආදියටය. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කල දහයියා සියයට 20ක්, සහල් කුඩු සියයට 15ක් පමණය. උදාහරණයක් වශයෙන් වී කිලෝ 1000ක් කෙටීමේදී නිෂ්පාදනය වන ප‍්‍රමාණය වී කිලෝ 630ක් පමණය. ඉන් ඉවත්වන දහයියා ප‍්‍රමාණය කිලෝ 200ක් පමණ බව කියති. කලකට පෙර සහල් මෝල් හිමියන්ට මෙම දහයියා ප‍්‍රශ්නය විශාල බරක් වී තිබූ අතර දැන් එය කිලෝවක් රුපියල් 4 කට 5කට පහසුවෙන් අලෙවි කිරීමට හැකිවී තිබේ. වී කිලෝ 1000කින් සහල් කුඩු කිලෝ 150ක් පමණ ලැබෙන අතර වර්තමානයේ එහි කිලෝවක මිල රුපියල් 70කි. වී කිලෝ 1000ක් කෙටීමේදී ලැබෙන සුණු සහල් ප‍්‍රමාණයද කිලෝ 25ක් පමණය. එහි වත්මන් මිල කිලෝවක් රුපියල් 70ක් ඉක්මවයි. මේ අනුව බලන කල වී කිලෝ 1000ක් කෙටීමේදී ලැබෙන එම අතුරු නිෂ්පාදනවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් 20,000 ඉක්මවයි.

අප මෙම තොරතුරු මෙහි සටහන් කිරීමට අදහස් කළේ මෝල් හිමියන් සහල් කිලෝවේ මිල දිනෙන් දින ඉහළ දමමින් පාරිභෝගිකයා මතම බර පටවමින් සිටිය ද සහල් නිෂ්පාදන කර්මාන්තය තුළින් සහල් මෝල් හිමියා ලබන අසීමිත ලාභය කෙතරම්ද යන්න පෙන්නුම් කිරීමටය. එහෙත් එම කිසිදු ප‍්‍රතිලාභයක් පාරිභෝගිකයාට නොලැබෙන අතර බොහෝවිට මෙය සහල් මෝල් හිමියා සඟවාගත් ආදායමක් ලෙසද හැඳින්විය හැක.

රටට බත සපයන මූලික කාරිය ඉටුකරන ගොවියා පවසන්නේ මේ වනවිට වී ගොවිතැන පාඩු ලබන රැකියාවක් බවය. එසේ වුවද ගොවියා නිපදවන වී ඇටයේ පොත්ත ඉවත් කරන සහල් මෝල් හිමියා ඒ කර්මාන්තය පාඩුපිට පවත්වාගෙන යන බව නොකියයි. එමගින් අසීමිත ලෙස ලාභ ලබන අතර ඒ ලාභය උපයන්නේ පාරිභෝගිකයා තලාපෙලා දමමිනි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment