අහසේ පාවෙන බඩු මිල

814

පසුගිය දිනවල රජය විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත් කරන ලදී. හදිසි නීතියට මුවාවී මෙම පත්වීම කරනු ලැබූයේ රජයේ ගජ මිතුරන්ට සහන සැලසීමට යැයි විපක්‍ෂය එම අවස්ථාවේදී චෝදනා කළේය. නමුත් රජය පවසා සිටියේ භාණ්ඩ හි`ගයක් මවාපාමින් පාරිභෝගිකයන් සූරාකන ව්‍යාපාරිකයන් නීතියේ රැුහැනට හසුකර ගැනීමට මෙකී පත්වීම වඩා වැදගත් වන බවයි. ඒ අනුව පොළොන්නරුවේ සහල් මෝල් කීපයක් වැටලීම, එසේම සඟවා තිබූ සීනි තොග කීපයක් සොයාගැනීම ගැන මාධ්‍ය ඉහළින්ම වාර්තා කරන අයුරු අපට දැකගත හැකි විය. නමුත් මේ කිසිවකින් සහල් මෝල් හිමියන් හෝ සීනි ව්‍යාපාරිකයන් හෝ වෙනත් කිසිදු ව්‍යාපාරිකයකු මට්ටු කිරීමට ආණ්ඩුවට නොහැකි විය. අවසානයේදී භාණ්ඩ මිල තීරණය කිරීමේ අයිතිය ව්‍යාපාරික ප‍්‍රජාවටම හිමි විය. සහල් මිල ඩඞ්ලි ඇතුළු පිරිස තීරණය කළ අතර ගෑස්, කිරිපිටි සහ අනෙකුත් භාණ්ඩවල මිල ද තීරණය කරනු ලැබූයේ ව්‍යාපාරික ප‍්‍රජාව විසිනි.

 මෙම තත්ත්වය හමුවේ අද වන විට බඩු මිල අහසේ පාවෙන තත්ත්වයට පත්ව ඇත. ‘දිවයින’ට ප‍්‍රකාශයක් ලබාදුන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් එම්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා පවා ප‍්‍රකාශ කර ඇත්තේ භාණ්ඩ මිල පාලනය අහෝසි වීම නිසා වෙළෙඳුන්ට හිතුමතේ බඩු මිල ඉහළ දැමීමට ඉඩ ලැබී ඇති බවයි. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යෑම, නැව් ගාස්තු අසීමිත ලෙස ඉහළ යෑම මෙන්ම ඩොලර් සංචිත හිඟය, භාණ්ඩ මිල ඉහළ යෑමට තුඩුදුන් ප‍්‍රධාන හේතුව බව ව්‍යාපාරිකයෝ පවසති. එය සත්‍යයකි. ලාභයක් නොමැතිව කිසිදු ව්‍යාපාරයක් කෙරෙන්නේ නැත. නමුත් ප‍්‍රශ්නය වන්නේ අප ඉහත සඳහන් කළ කාරණාවල යහපත් ප‍්‍රවණතාවයක් ඇති වුවහොත් ඊට සාපේක්‍ෂව අදාළ භාණ්ඩවල මිල අඩුවේද යන්නයි. එය ප‍්‍රායෝගිකව බොහෝ විට සිදුවන්නේ නැත. එනිසාම දුප්පත් අහිංසක ජනතාවට තවදුරටත් පටි තදකර ගැනීම හැර විකල්පයක් නොමැත.

 රටක භාණ්ඩ මිල ගැන කතා කිරීමේදී බොහෝ දෙනා කතා කරන්නේ සහල්, කිරිපිටි, සීනි, පාන් පිටි වැනි දේ ගැන පමණි. නමුත් අද වෙළෙඳපොළට ගිය විට අන් සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් තිබේ. සබන් කෑල්ලේ සිට බුරුසුව දක්වා ද හිස පිරිසිදු කරන පුංචි ෂැම්පු පැකට් එකේ සිට සියලූ සේදුම් කාරක ද්‍රව්‍යවල ද මිල මාස්පතා වැඩිවෙමින් තිබේ. මෙම භාණ්ඩවලට ද කිසිදු මිල පාලනයක් නැති අතරම ඒ ගැන සොයා බලන්නට පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටිනවා කියන පාරිභෝගික අධිකාරියට හෝ වුවමනාවක් ඇති බව අප දකින්නේ නැත.

 වසංගතය වසන්තයක් කරගෙන තිබෙන කුඩා පරිමාණයේ වෙළෙන්දන් පවා පාරිභෝගිකයා ගැන කිසිදු තැකීමක් නොකර භාණ්ඩවල මිල ඉහළ දමා ඇති බව සති පොළකට ගිය විට තේරුම්  ගැනීමට පුළුවන. පලා මිටියේ සිට පොළොස් ගෙඩිය දක්වා වූ සියලූම භාණ්ඩවල මිල මොවුන් විසින් ඉහළ දමා තිබේ.

 සියලූ භාණ්ඩවල මිල අහස උසට  නගිද්දී ඊට සාපේක්‍ෂව මෙරට  පාරිභෝගිකයාගේ ආදායම කිසිදු අයුරකින් වැඩිවී නොමැත. පවතින කොරෝනා වසංගතය හමුවේ තිබෙන ආදායම් මාර්ගත් අහිමිව ඇති පිරිසට මෙම භාණ්ඩ මිල දරාගැනීම තියා සිතා ගැනීමට පවා අපහසුය. එය ගහෙන් වැටුණු මිනිහාට ගොනෙකු නොව ගොන් රැුළක් ඇන්නා හා සමානය. එනිසාම බඩු මිල තීරණය කිරීමේ පූර්ණ අයිතිය ව්‍යාපාරිකයන්ට හා වෙළෙන්දන්ට ලබා දුනහොත් තවදුරටත් අසරණ වනුයේ මේ රටේ පාරිභෝගිකයා බව අදාළ නිලධාරීන් තේරුම් ගත යුතුව ඇත. ජනතාවට අවම සහන සැලසෙන අයුරින් හෝ බඩු මිල පාලනය කිරීමට අදාළ ආයතන වහා කි‍්‍රයාත්මක විය යුතුව ඇත. එසේ නොවුණහොත් සිදුවනුයේ මේ රටේ යමක් කමක් කරගත නොහැකි බහුතර ජනතාව තවදුරටත් අසරණ වීම පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment