අහස ඉසව්වේ ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේ

684

ප්‍රවීණ මාධ්‍යවේදී සහ විශිෂ්ඨ ගීත රචක ධර්මසිරි ගමගේ මහතාගේ ජන්ම දිනය ඔක්තෝබර් 4 වැනිදාට යෙදී තිබේ. ඔහු දැයට සමුදුන්නේ සැප්තැම්බර් 19 වැනිදා දිනකය. ඒ මහඟු කලාකරුවාගේ ගුණානුස්මරණය කරනු වස් මෙවර අකුරු දිගේ විවර වෙයි.

ධර්මසිරි ගමගේ ගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ 1955 දීය. ඒ වනවිට සිංහල ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක්ව පැවතුණත් ගීත රචනය ජනප්‍රිය කලා මාධ්‍යයක්ව නොපැවතිණ. ප්‍රශස්ත ගීත රචනා බිහි වී තිබුණත් නම් දරාසිටි ගීත රචකයෝ කිසිවෙක් එවක නොවූහ. ප්‍රශස්ත ගී පද මාලා රැසක් රචනා කළ නීතිඥ ජෝන් ද සිල්වා නම්දරා සිටියේ නාට්‍යකරුවකු හැටියටය. ආනන්ද සමරකෝන් නම් දරා සිටියේ ගායකයකු හා සංගීතඥයකු හැටියට ය. පසු කාලීනව ගීත රචකයන් ලෙස ප්‍රසිද්ධියට පත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, කරුණාරත්න අබේසේකර ආදීන් ඒ වනවිට ගීත රචකයන් හැටියට නම්දරා සිටියේ නැත. මෙනයින් සංගීත කරලියෙහි ගීත රචකයාගේ භූමිකාව කැපී පෙනෙන ස්ථානයක නොතිබුණේය.

“මා ගීත රචනය කෙරෙහි යොමුවුණු මුල් යුගයේ එය සාහිත්‍යාංගයක් ලෙස අද මෙන් සුහුඹුල්ව ලියලා වැඩි නොතිබිණි.” යනුවෙන් ‘සුළං කුරුල්ලෝ’ කෘතියෙහි ප්‍රස්තාවනාවෙහි ලා ධර්මසිරි ගමගේ පවසන ප්‍රකාශය උක්ත කරුණුවලින් සනාථ වේ.

ධර්මසිරි ගමගේ 2002 වනවිට ගීත ක්ෂේත්‍රය තුළ ගතකර තිබුණු කාලය වසර 45 කි. මේ කාලය තුළ ඔහු (1) ගුවන්විදුලි ගී ද (2) වේදිකා නාටක ගී ද (3) චිත්‍රපට ගී ද රැසක් රචනාකොට ඇත්තේය. එහෙත් වෙනත් බොහෝ ගීත රචකයන්ගේ මෙන් ම ධර්මසිරි ගමගේ ගේ ද මේ සියලු ගීත රචනා අද ඉතිරි වී නැත.

1989 මුද්‍රිත සුළං කුරුල්ලෝ නමැති ගීත සංග්‍රහයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ ගීත 52 ක් පමණි. එබැවින් ධර්මසිරි ගමගේ ගේ ගීත රචනා පිළිබඳ විමර්ශනයක යෙදෙන්ට සිදු වී තිබෙන්නේ උක්ත ගී සරණිය ඇතුළු මහත් අපහසුවෙන් සොයා ගත් තවත් ගීත ස්වල්පයක් පාදක කොට ගෙනය.

ගුවන්විදුලියට සවන් දුන් සංගීත රසිකයන් ධර්මසිරි ගමගේ හඳුනාගත්තේ එච්. ආර්. ජෝතිපාල ගැයූ ගීත 2 ක් නිසාය. ඒ (1) අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ – (2) එපා එන්න කියලා මොකෝ මැණිකෙ කිව්වේ – හිනාවෙන්න ආවත් ඇඬෙව්වේ ඔයානේ යන ගීත 2 යි. මේවා, ජෝතිපාලගේ ජීවිතයේ සත්‍ය සිද්ධීන් ඇසුරින් ධර්මසිරි ගමගේ ලවා රචනා කරවා ගත් බව පැවසේ. ගීත දෙකෙහිම තනු, හින්දි ගීතවලින් උපුටා ගත් ඒවාය.

ධර්මසිරි ගමගේ රචනා කළ ගුවන්විදුලි ගීත අතර අභිනව ගීතානුභුතීන් සහිත නිර්මාණ රාශියක් දක්නා ලැබේ. ‘බනින්නෙපා පොඩි දෝණීට’ එයින් එක් ගීයකි. දැරියක සිය මවට හොරා හාල් මුට්ටියෙන් හාල් මිටක් රැගෙන ගොස් ඇත. ඒ සෙල්ලම් බත් උයන්ටයි. හාල් මිටක් සරිකරන්ට පියා දරන වෙහෙස ගැන දන්නා මවට ඒ ගැන තරහක් එයි. ඇය දැරියට බැන වදී. සංවේදී පියා, දියණිය දෙස බලන්නේ ඊට වඩා සංවේදී සිතකිනි. ඔහු එය හුරතලයක් ලෙස දකී.

බනින්නෙපා පොඩි දෝණිට ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි

දුරුතු පෝය දා කැලණි විහාරේ
වඳින්න ගොස් අපි එන ගමනේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ
සෙල්ලම් බත් උයන්නයි….

“අද දීගෙක ගිය” නමැති ගීයෙන් පැවසෙන්නේ තවත් අනුවේදනීය අත්දැකීමකි. ඒ නැඟණියගේ විවාහ මංගලෝත්සවය දිනයයි. සොහොයුරා ද සෙසු නෑසියන් හා කෙළි කවට සිනාවෙන් සිටී. නැගණිය පතිකුලයට යෑමට සමුගන්නා මොහොත උදාවෙයි. සොහොයුරා, මේ වෙන්වීමේ වේදනාව දරාගන්ට වැර වඩයි. එහෙත් මවගේ දෙනෙතින් නැඟෙන කඳුළු දකින ඔහුගේ වෑයම අසාර්ථක වෙයි. ඔහු කාටත් නොපෙනෙන තැනකට ගොස් තනිවම හඬන්ට පටන් ගනී.

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ….

සිය දරුවා මුලින්ම පාසලට ගෙන ගොස් හැරලන මවක හෝ පියකු තුළ ඇතිවන්නේ කවරාකාර හැඟීමක් ද? එය ඇයට හෝ ඔහුට හෝ සතුට දනවන මොහොතක් බව සැබෑය. එහෙත් බොහෝ කලක් තමන් තුරුලෙ හැදුණු වැඩුණු දරුවා මුල් වරට ගුරුන්ට භාරකොට පෙරළා පැමිණෙන දෙගුරුන් තුළ පහළ වන හැඟුම් කෙබඳු ද? ධර්මසිරි ගමගේ ඉතා අපූර්ව ලෙස ස්පර්ශ කරන්නේ මේ අත්දැකීමයි.

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කළ මොහොතේ….

(ගා/ ඇන්ජලින්, සං/ක්ලැරන්ස්)

ගුවන්විදුලිය වෙනුවෙන් ගමගේ සූරීන් රචනා කළ ප්‍රේම ගීත අතර වෙසෙසි ගී දෙකක් තිබේ. පළමුවැන්න, ‘හද විල කළඹන පෙම් ජල රේඛා’ නම් වූ ගීයයි. මෙය අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් රචිත යාතුකර්ම ගීයක නොමඳ ආභාසය ලත් රචනයකි. එහි කොටස් මෙසේ වේ.

අහස ඉසව්වේ ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේ

බඹරකු හා මලක් අතර ඇති වන සංවාදයක ස්වරූපයෙන් රචිත ‘බඹරකු හැඬුවා’ නම් ගීය, අප රචකයා ලියූ අනෙක් වෙසෙස් පෙම් ගීයයි. මෙහි එන බඹරා වනාහි සිය පෙම්වතිය අහිමි වූ පරාජිත ප්‍රේමවන්තයෙකි; මල වනාහි මේ පරාජිත ප්‍රේමවන්තයාට අනුකම්පාව දක්වන යුවතියකි.

බඹරෙකු ඇඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
ඇහේ කඳුළු ඇති ඒ බඹරිඳු දැක
හඬන්නේ ඇයිදෝ මල ඇසුවා ….

(ගා/ අබේවර්ධන, නිරංජලා, සං/කේමදාස)

60 දශකයෙහි වේදිකා ගත වූ ගීත නාටක 2 ක් සඳහා ද ධර්මසිරි ගමගේ ගීත රචනා කළේය. මේ ගීත නාටක යුග්මය සඳහා සංගීතය සම්පාදනය කරන ලද්දේ ද ඒවා අධ්‍යක්ෂණය කරන ලද්දේ ද ප්‍රේමසිරි කේමදාස විසිනි.

පළමු වැන්න, නව රැල්ල (1964) යි. දෙවැන්න ‘රතු මල්’ (1964) ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ එස්. ෂන්මුගදාසන්ගේ ඇරියුමින් ගොවි කම්කරු බලය විදහාපෑම සඳහා රචිත ‘රතු මල්’ ගීත නාටකය 1964 මැයි 1 දා චීනයේදී රඟදක්වන ලදි. එහෙත් එය සාර්ථක වූ ගීත නාටකයක් නොවේ. එහෙත් ‘නව රැල්ල’, ධර්මසිරි ගමගේ ගේ සංගීත ජීවිතයෙහි සන්ධිස්ථානයක් වේ. මන්දයත්, ධර්මසිරි ගමගේ සහ ප්‍රේමසිරි කේමදාස යන දෙදෙනාගේ දීර්ඝ සංගීත චාරිකාව එයින් ඇරඹුණු බැවිනි; ඔවුන්ගේ සුසංයෝගයෙන් ප්‍රශස්ත ගී මාලාවක් සංගීත ක්‍ෂේත්‍රයට එක් වූ බැවිනි.

1960 දී ධර්මසිරි ගමගේ ‘ලංකාදීප’ පත්‍රයේ සේවයට බැඳුනේය. ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ කේමදාසගේ මිතුරෝ රැසක් වූහ. ඔවුනතරින් එක් අයෙක් (සුදාස් මාසකෝරාළ) කේමදාස සඳහා “බැරි සිල්” නම් ගීත නාටකය රචනා කළේය; තවත් අයෙක් (විමලවීර පෙරේරා) කේමදාසට “කැලෑ මල්” නම් ගීත නාටකය රචනා කළේය. මොවුන් සමඟ කේමදාස හමුවීමට කොළඹ, මරදානේ පිහිටි “සංගීත මංජරිය”ට නිතර ආ ගිය ධර්මසිරි ගමගේට “නව රැල්ල” රචනා කිරීම සඳහා කේමදාස ඇරියුම් කළේය.

“නව රැල්ලේ” ගී සරණිය, ඇසූ චිත්‍රපට අධ්‍යක්‍ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා විසින් ඔහු අධ්‍යක්ෂණය කළ ‘සැනසුම කොතැනද?’ චිත්‍රපටය සඳහා ධර්මසිරි ගමගේත් ප්‍රේමසිරි කේමදාසත් තෝරාගන්නා ලදී. ධර්මසිරි ගමගේ ඒ වනවිට ‘අම්බපාලි’ චිත්‍රපටයට ගීත රචනාකොට තිබිණ. කේමදාස ද චිත්‍රපට කිහිපයකට සංගීතය සපයා තිබිණ. ඒ – (1) රොබින් තම්පොගේ “සුදු සඳෙ කළු වලා” (ඇම්. කේ. රොක්සාමි, මොහොමඩ් සාලි සහ ඇල්ෆ්‍රඩ් කොරයා සමග – 1963) (2) රොබින් තම්පොගේ “සමාජේ අපි ඔක්කොම සමානයි” (සාලි සමග – 1964) (3) ඇම්. එච්. මොහොමඩ්ගේ “සෝබන සිත” (ආර්. මුත්තුසාමි සමග – 1964) (4) බී. නන්දිසේන කුරේගේ “සැපත සොයා” (1965) ආදියයි. එහෙත් ගමගේ හා කේමදාසයන් සිනමා සංගීත රසිකයන් හරිහැටි හඳුනාගත්තේ “සැනසුම කොතැනද?” චිත්‍රපටයෙනි.

ධර්මසිරි ගමගේත් – ප්‍රේමසිරි කේමදාසත් “සැනසුම කොතැනද?” තුළින් සිංහල චිත්‍රපට ගීතාවලියට මියුරු ගී කිහිපයක් එක් කළහ. “සුළං කුරුල්ලෝ”, “සංසාර ගමනේ”, “ආදරයේ රන් විමනේ” යන ගීත ඒ අතරින් කැපී පෙනෙයි.

“සුළං කුරුල්ලෝ” පදමාලාව විසින් ද තනු නිර්මාණය විසින් ද සුලබ චිත්‍රපට ප්‍රේම ගීතවලට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. සුළං කුරුල්ලෝ, ආදර උයනේ මල් සුවඳ රැගෙන පියඹා එත්. වසා ඇති සිහින පොතේ පිටු පෙරළේ. එහි ලියැවී ඇත්තේ ආදරයයි. මතක ලොවේ දොරගුළු හැරේ. එහි සිරවී ඇත්තේ ආදරයයි.

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ…..

(ගා/ ලන්ත්‍රා, ඇන්ජලින් සං/කේමදාස)

චිත්‍රපටයෙහි කථානායකයා තරුණ වෛද්‍යවරයෙකි. ඔහුට පෙම් බඳින්නී එහි හෙදියකි. ඔවුනතර සමාජ පරතරයක් පවතී. එබැවින් ඇයට සිය ආලය ප්‍රකාශ කර ගැනීම අසීරුය. ‘සුළං කුරුල්ලෝ’ වෙතින් පළවනුයේ ඒ නිහඬ ආලයයි. එහෙත් ඇය තනි වූ මොහොතේ දී ඇය සිය ආලය හඬනඟා පවසයි. ඒ මෙ පරිද්දෙනි.

ආදරයේ රන් විමනේ – මැණික් හඳක් පායලා වෛද්‍යවරයාගේ සහ හෙදියගේ ආලය පල නො දරයි. වෛද්‍යවරයාට විවාහවීමට සිදුවනුයේ ඔහුගේ සිතැඟි හා කිසිසේත් නො ගැලපෙන යුවතියක සමගයි. සිද්ධාර්ථ කුමරු සතර පෙරනිමිති දැක ගිහි ගෙයින් නික්මෙන්නේ යම් සේ ද එසේම කලකිරුණු අප කථානායකයා ද ගිහි ගෙයින් නික්මෙයි. මේ අවස්ථාව නිරූපණය කෙරෙන රූප පෙළ, උද්දීපනය කරන්නා වූ පද පෙළ මෙබඳුය.

සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා
ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා මඟ අවුරන්නේ….

(ගා/අමදේව, සං/කේමදාස)

‘රෑන ගිරව්’, ‘සමනල කුමරියෝ’, ‘හරි මඟ’, ‘ආදරවන්තයෝ’, ‘මනාලයෝ’, ‘පූජිතයෝ’, ‘මී මැස්සෝ’, ‘වසන්තයේ දවසක්’, ‘ජනක සහ මංජු’, මුවන්පැලැස්ස’, ‘හන්තානේ කතාව’, ‘දුලීකා’, ‘නාරිලතා’ ‘යස ඉසුරු, ‘පූජා’ ආදී ප්‍රේමසිරි කේමදාස සංගීත නිර්මාණය කළ චිත්‍රපට රාශියකට ධර්මසිරි ගමගේ ගීත රචනා කළේය. එයින් බොහොමයක් ප්‍රශස්ත ගීත විය.

‘රෑන ගිරව්’ චිත්‍රපටයෙහි කථානායක නායිකා දෙපොළ රෑන ගිරා ජෝඩුවකට උපමා කරන අප කවියා, ඔවුන්ගේ ආලය, වනය, මල්පෙති, දියරැලි, කඳු මුදුන් හා යා කරන අපූරුව බලන්න.

රෑන ගිරා ජෝඩුවයි – හාදවෙලා ආදරෙයි
වනන්තරේ වෙනසක් නෑ පෙම් සිතුවිලි පෑදේ
හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ….

ගා/ අමරදේව, නන්දාමාලනි, සං/කේමදාස)

“මනාලයෝ” චිත්‍රපටයෙන් උපුටා දැක්වෙන මතු සඳහන් ගීය ද ගමගේ – කේමදාස සුසංයෝගයෙහි තවත් මියුරු ඵලයකි.

ආදර නිල් දෑසේ – මැණික් රුවක් ඇඳී තිබේ
ආදර නිල් දෑසේ
විමානයේ කවුළු දොරින් – නෙත් හී සර විදලා
කුමාරියක් කතා කරයි – කාටද අත වනලා

(ගා/ නාරද දිසාසේකර, සං/ කේමදාස)

“මී මැස්සෝ” චිත්‍රපටය සඳහා ගමගේ – කේමදාස දෙදෙන විසින් නිර්මාණය කරන ලද ආදර ගී යුග්මය ද මධුරය. බලන්න.

රූං රූං රූං රූං මී මැස්සෝ
පෙම් මල් රොන් බොන මී මැස්සෝ
පියුම් විලයි පිපී වැනෙන මල් යහනාවයි
මී මැස්සන් පැද්දෙන පෙම් ඔංචිල්ලාවයි….

(ගා/ සුජාතා, ගීතදේව, සං/ කේමදාස)

ගමගේ – කේමදාස දෙපොළට තවත් මෙබඳුම විචිත්‍ර ළමා ගීයක් සිංහල සිනමා ගීතාවලියට එක් කිරීමට අවස්ථාව සැලසෙනුයේ “කපටිකම” (1966) චිත්‍රපටයෙනි. ඒ මේ ගී යයි,

කුරුලු රෑන් රෑන් රෑන්
සතුට ගේන් ගේන් ගේන් ….

(ගා/ලතා/සං/කේමදාස)

ගමගේ – කේමදාස දෙපොළ එක්ව “බයිසිකල් හොරා’ චිත්‍රපටය සඳහා නිර්මාණය කළ “බුදු රැස් ගඟ ගලා බසී – සදහම් මෙත් රැළි සලා” (ගා/ ලතා) ගීය ද සුරස ළමා ගීයකි.

“පූජිතයෝ” නම් චිත්‍රපටයක් 1971 දී තිරගත වූයේය. ඒ චිත්‍රපටය රසිකයා වෙත ඉතිරිකර තබා ගියේ එක් ගීයක් පමණි. චිත්‍රපටය සමඟ කිසිදු සම්බන්ධයක් නැතත් කේවලව ගත් කල එය මියුරු ගීයකි. ගමගේ – කේමදාස දෙපොළ එහි නිර්මාතෘවරු වෙත්.

නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක් සේ
මැණික් කොතින් අහස උසට බුදුරැස් විහිදේ
මුනි සිරි පා පහස ලැබූ හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිම් කැලණි විහාරේ

(ගා/අමරදේව, සං/කේමදාස)

ගමගේ – කේමදාස සුසංයෝගයෙන් “යස ඉසුරු” චිත්‍රපටයට එක් වූ “අම්මාවරුනේ” ගීතයත් “පූජා” චිත්‍රපටයට එක් වූ “දරු දුක උහුලා” ගීතයත් සිංහල චිත්‍රපට ගීත අතර දක්නා ලැබෙන හොඳම මවු ගුණ ගීයක් සහ පිය ගුණ ගීයක් ලෙස හැඳින්වීම වටී.

අම්මාවරුනේ – සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා – සුරලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා
  (ගා/නන්දා මාලනී, සං/කේමදාස)

දරු දුක උහුලා – තනිව වැලපෙනා
බුදු බව ලබනා – පියවරු වෙසෙනා
පූජා – පූජාවේවා
(ගා/නන්දා මාලිනි, වික්ටර්, සං/කේමදාස)

ධර්මසිරි ගමගේ සහ කේමදාස එක්ව නිර්මාණය කළ ප්‍රශස්තම ආදර ගීතය ඇතුළත් වන්නේ “හන්තානේ කතාව” චිත්‍රපටයෙහිය.

සමස්තාර්ථය විදහා දැක්වෙන ගීයකි; හද්දාපිටිසර ගමකින් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන අනුර නම් කථානායකයාගේ ආධ්‍යාත්මය අනාවරණය කෙරෙන ගීයකි. ගීයෙහි සඳහන් වන උඩවැඩියා මල නම් අනුරට පෙම් බැඳගත් රූමත්, ධනවත් යුවතියයි. මලෙහි සුවඳට සිත හකුළා ගන්නා බඹාරා නම් එම යුවතියට පෙම්කිරීමට බියෙන් පසුවන අනුර නම් තරුණයායි. මල වෙත බැල්ම හෙළන බඹරා නම් අනුරට වඩා හාත්පසින්ම විරුද්ධ ගති පැවතුම් ඇති අනුරගේ කෙළිලොල් මිතුරායි.

මහ ගිරි අරණේ මේ දිවි උයනේ
උඩවැඩියා මල සුවඳට පිපුණෙ
බඹරෙකු මල වෙත බැල්ම හෙළායා
බඹරෙකු සුවඳට සිත හකුළායා….

(ගා/නන්දා මාලිනි, සං/කේමදාස)

පෙම ගී රචනයෙහි දී අවශ්‍ය තන්හි දී මෙන්ම අනවශ්‍ය තැන්හි ද ආදරය යන පදය විශේෂණයක් සේ යෙදීම අප රචකයාගේ දුර්වලතාවක් ලෙස පෙනේ. ආදර ලෝකේ (ජනක සහ මංජු), ආදර පූජාසනේ (දෙවියනි ඔබ කොහිද?), ආදර මැණිකේ (ආදරවන්තයෝ), ආදරයේ රන් විමනේ (සැනසුම කොතැනද?), ආදර මල් පවනේ (දුලීකා), ආදර මල් යහනේ (බිනරමලී), ආදර රැල්ල (කවුද හරි), ආදර සඳ එළියේ ආදර ගීයක් (මී මැස්සෝ), ආදර රේඛා, ආදර චාරිකා, ආදර ගී පොත (ගුවන්විදුලි ගී) වැනි යෙදුම් ඊට නිදසුන්ය.

සෝමදාස ඇල්විටිගල හා ධර්මසිරි ගමගේ එක් කළ “බිනරමලී” චිත්‍රපටයෙන් ද රසවත් ගීයක් බිහි වූයේය.

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ
නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ….

(ගා/මිල්ටන් පෙරේරා, සං/ඇල්විටිගල)

“පුංචි බබා” චිත්‍රපටය සඳහා ධර්මසිරි ගමගේ – සිසිර සේනාරත්න එක් වී නිර්මාණය කළ “මාගේ පුතුට මල්” නමැති ගීය, පුරුෂ මුවකින් ගැයෙන එකම දරු නැළවිලි ගීය විය හැකිය. “පුංචි බබා’ චිත්‍රපටයෙහි කථානායකයා ලිපිකරුවෙකි. ඔහුට අහම්බෙන් දරු පැටියෙකු හමු වේ. දරු පැටියා කවා පොවා ඇති දැඩි කරයි. ගී ගයමින් නළවා නිඳි කරවයි. “මේ ළමයා කොහෙන්දෝ – රෝස කැලෙන් ඇහින්දෝ” යන ළමා කෙළි ගීයෙහි ඡායා මාත්‍ර ආභාසයක් ලබමින් ධර්මසිරි ගමගේ මෙබඳු පදමාලාවක් මෙහිදී ඉදිරිපත් කරයි.

මාගෙ පුතුට මල් – යහන සදන්නේ
දෑස සිහින වැල් – පාවී එන්නේ
රෝස කැලේකින් – ඇහිළුෑ වැන්නේ
මට මේ කුමරුන් – කවුදෝ දුන්නේ….
(ගා/සිසිර, සං/සිසිර)

“සහනය’ සහ “තරංගා” යන චිත්‍රපටවලදී ධර්මසිරි ගමගේ ගී පදමාලා වර්ණවත් වූයේ අමරදේවයන්ගේ තනු නිර්මාණයන්ගෙන් සහ සංගීත සංයෝජනයන්ප ගෙනි. මතු දැක්වෙනුයේ එසේ නිරිමිත ගී යුග්මයකි. සහනය චිත්‍රපටයේ එන ගීතය මෙසේය.

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
තුන් යම ගත වූ ජීවිතයේ
අරුණලු නැඟෙනා පබාතයේ….
(ගා/ අමදේවර, සං/අමරදේව)

“හුලවාලි” චිත්‍රපටයට වික්ටර් රත්නායක හා එක්ව ධර්මසිරි ගමගේ විසින් නිර්මාණය කරන ලද “කුඩා ගමේ මද්දහනේ” ඉතා ප්‍රශස්ත මට්ටමේ චිත්‍රපට ගීයක් ලෙස හැඳින්විය හැකි වේ. මන්ද යත් එය චිත්‍රපටයේ කේන්ද්‍රීය පුවත හා අත්‍යන්තයෙන් බැඳුණු ගීයක් බැවිනි. කුඩාගම නමැති රොඩි ගම්මානයේ මහහුලවාලියා ධාරා නමැත්තෙකි. පෙනුමෙන් හැඩිදැඩි, ගොරෝසු මිනිසකු වූ ඔහුගේ බිරිය සුබා නම් වූ සුරූපී ළඳයි. සුබා, ධාරාට ගෞරව කළ ද ඈ පතන සතුට ඔහුගෙන් ඇයට නො ලැබේ. මේ අතර ඒ ගමට පැමිණෙන ‘බිබිලේ ඇත්තෝ’ නම් වූ වෙළෙන්දා සමඟ සුබා අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගනී. මෙය ධාරාට අසුවේ. ධාරා සුබාට දක්වන ආදරය නිසාම ඇය බිබිලේ ඇත්තන්ට දන් දෙයි. එහෙත් ඒ සිතකින් නොවේ. ඒ මොහොත ධාරාගේ සිතට නැඟුණු හැඟුම් ධාරාවයි අප කවියා මෙසේ ගීයට නඟනුයේ.

කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන හිතා
උඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා….

(ගා/සුනිල් එදිරිසිංහ, සං/වික්ටර් රත්නායක)

මෙතෙක් අපගේ සාකච්ඡාවට පාත්‍ර වූ චිත්‍රපට ගීත සියල්ලම පාහේ ධර්මසිරි ගමගේ රචිත පදමාලා අනුව තනු නිර්මාණය වූ ගීතය. එහෙත් ඔහු පූර්ව නිර්මිත තනු අනුව පදමාලා නිර්මාණය කළ ගීත සංඛ්‍යාව ඊට වඩා විශාලය. තමා කැමති ආකෘතියකට විරිතකට, රිද්මයකට, ලයකට ලියනවාට වඩා තනුවකට අනුව ලිවීම වෙනස්ය. තනුවේ ලඝු ගුරු මාත්‍රාවනට පවා අනුගත වෙමින් චිත්‍රපටයේ අවස්ථාවට ද අනුකූල රසවත් හා හරවත් ගීයක් ලිවීමට මෙහිදී රචකයාට සිදු වේ. ධර්මසිරි ගමගේ මේ අභියෝගයට මුහුණදුන්නේ කෙසේ දැයි විමසනු වටි. මේ එම්. එම්. ඒ. හක් නමැති නවක සංගීතඥයා සැපයූ තනුවක් අනුව ‘සුජීවා’ චිත්‍රපටයට ලියූ ගී දෙකකි.

  1. චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
  2. හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා…. (ගා/ජෝතිපාල)
  3. ඈත වන පෙත සරසාලා – පාට වන මල් පිබිදීලා
  4. නීල කඳු මත නෑවීලා – යාවී මේ කුළු පාවීලා…. (ගා/සුජාතා)

තමා වෙත සැපයුණු ස්වතන්ත්‍ර තනුවලදී සිය රචනා ශෛලිය පළුදු කොට නොගෙන තනුවට අනුව වචන ගැලපීමේ අභියෝගයට අප කවියා මුහුණ දී ඇති සැටි මේ ගී වලින් පළ වේ. එහෙත් වඩාත් කනගාටුදායක කරුණ නම් මෙබඳු ස්වතන්ත්‍ර තනු අනුව පමණක් නොව දෙමළ හා හින්දි තනු අනුව ද අප කවියාට ගී ලියන්ට සිදු වීමය. ඔහු එම අභියෝගයට කෙසේ නම් මුහුණ දුන්නේ ද?

  1. ‘අඩී එන්නඩී රාක්කම්මා’ නමැති දෙමළ ගීතයට අනුව ලියූ ගීයකින් කොටසක්:

මම ගන්නෙමී කරකාර බන්දාලා – පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහරාජා වාගේ – මේ ගමේ කාටත් උදව් කරමින්
(ගා/ජෝතිපාල)

  1. ‘දේකෝ දේකෝ’ නමැති හින්දි ගීයට අනුව ලියූ ගීයකින් කොටසක්

පන්දම් අල්ලා ගත් නම්බූ නාමේ – මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
(ගා/ ජෝතිපාල)

මේ ගීත මෙන්ම ලන්ත්‍රා ගයන ‘මගෙ නාමලී’ (ගොපලු හඬ) වැනි අනුකරණ ගීත ද චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ වාණිජ්‍යමය අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට මහෝපකාරී වූ බව නම් අවිවාදිතය. මන්ද යත් මේ ගී අද පවා පොදු රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙන බැවිනි. එහෙත් මේ ඇතැම් අනුකරණ ගීත විසින් ධර්මසිරි ගමගේ නමැති රචකයාගේ කවීත්වය පළුදු කරන ද අවස්ථා ද ඇති බව අපගේ අදහස වේ.

එක්සත් ජාතික පක්ෂ රජයේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ යෝජනාවක් අනුව 1989 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයට හොඳම ගී පදමාලා සංග්‍රහ නමැති තරග ඉසව්ව එක් කරන ලදී. හොඳම ගී පදමාලා සංග්‍රහය සඳහා වූ ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූයේ ධර්මසිරි ගමගේ ගේ ‘සුලං කුරුල්ලෝ’ ගීත සංග්‍රහයටය. ඔහු යස ඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතය සඳහාත් ‘පූජා’ චිත්‍රපටයේ ‘පූජා වේවා’ ගීතය සඳහාත් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.ධර්මසිරි ගමගේ සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ ක්‍රියා කොට ඇත්තේ පෙර පරපුරත් නව පරපුරත් අතර ඉදිකෙරුණු සේතුවක් හෙවත් පාලමක් ලෙසින් යැයි කිව හැකිය. ඔහු ඉඳුරා පෙර පරපුරෙහි රචනා කලාවට අනුගත වූ තැනැත්තෙක් නොවේ. ඉඳුරා නව පරපුරෙහි රචනා මාර්ගයට අනුගත වූ තැනැත්තෙක් ද නොවේ. ඔහු කොළඔ කවියෙහිත් නිදහස් කවියෙහිත් සංකලනයෙන් බිහි වූ කවියක් වැන්නැයි මට සිතේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment