අහිමි වූ බදු ආදායම යළි ගන්න වැට් බදු වැඩිවෙයි

648

12% දක්වා ඉහළට ආදායම් බදු සහනය බස්සයි

සංස්ථාපිත ආදායම් බදු ඉහළට

විදුලි සංදේශ බදු සියයට 15 ට නගී

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළියට සහනයක්

වැට් ලියාපදිංචි සීමාව මිලියන 120 ට අඩුවෙයි

පුද්ගල ආදායම් බදු අනුපාත වෙනස් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය (වැට් බදු) සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කිරීමට සහ 2022 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් මිලියන 3 ක් දක්වා පැවති පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන 1.8 දක්වා අඩු කිරීම ඇතුළු බදු ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

සෙසු බදු වෙනස්කම් යටතේ 2022 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 30 දක්වා ඉහළ නැංවීමට සහ සහනදායී සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 14 සිට සියයට 15 දක්වා ඉහළ නැංවීමට ද, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බදු අනුපාතය සියයට 11.25 සිට සියයට 15 දක්වා වැඩි කිරීමටද, 2022 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව වසරකට රු. මිලියන 300 සිට වසරකට රු. මිලියන 120 දක්වා අඩු කිරීමට ද රජය තීරණය කර ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බදු යෝජනා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. මේ නව බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් මෙන්ම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මේ බදු වෙනස්කම්වලට අදාළ නීති සියල්ලම සම්පාදනය කිරීමට සහ අදාළ නීති සංශෝධනය කරන කෙටුම්පත් කඩිනමින් සකස් කිරීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ද ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

2019 වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව ලිහිල් බදු ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර මෙම බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩු වීමට හේතු වූ ප්‍රතිපත්ති ලෙස සැලකෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙහි (ද.දේ.නි) ප්‍රතිශතයක් ලෙස කලාපයේ අඩුම ආදායම් අනුපාතය මෙරටින් වාර්තා විය.

එසේම 2022 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, පුද්ගල ආදායම් බදු අනුපාත සංශෝධනය කර ඇති අතර ඒ අනුව පළමු මිලියන 1.2 දක්වා සියයට 4 ක් ද, දෙවන මිලියන 1.2 දක්වා සියයට 8 ක් ද, තෙවන මිලියන 1.2 දක්වා සියයට 12 ක්ද, සිව්වන මිලියන 1.2 දක්වා සියයට 16 ක්ද, පස්වන මිලියන 1.2 දක්වා සියයට 20 ක් ද, හයවන මිලියන 1.2 දක්වා සියයට 24 ක්ද, හත්වන මිලියන 1.2 දක්වා සියයට 28 ක් සහ ඉතිරිය මත සියයට 32 ක් ද වශයෙන් නව බදු අනුපාත අදාළ වේ.

රඳවා ගැනීමේ බදු වෙනස්කම් යටතේ 2022 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද/ සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බද්ද (උපයන විට ගෙවීමේ බද්ද) වර්ෂයකට රු. මිලියන 1.8 ක් වන බදු සහන සීමාව ඉක්මවන සියලුම බදු ගෙවන්නන්ට අනිවාර්ය කිරීමට ද තීරණය කර ඇත.

2022 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, අත්තිකාරම් ආදායම් බද්ද/රඳවා ගැනීමේ බද්ද සියලුම බදු ගෙවන්නන් සඳහා අනිවාර්යය කිරීම සහ තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා පොලී ද, සියලුම බදු ගෙවන්නන් සඳහා ලාභාංශ ද අවසානාත්මක ගෙවීම් ලෙස සැලකිීමට තීරණය කර ඇති අතර, පොලී මත සියයට 5 ක්ද, ලාභාංශ මත සියයට 14 ක්ද, කුලී මත මසකට රු. 100,000 ඉක්මවන කුලී සඳහා සියයට 10 ක් සහ වෙනත් සියලුම අවස්ථා සඳහා සියයට 14 ක් ද වශයෙන් එම අනුපාත යටතේ අඩු කිරීම කරනු ඇත.

එසේම 2022 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදු කරන මසකට රු. 100,000 ක් ඉක්මවන සේවා ගෙවීම් මත සියයට 5 ක රඳවා ගැනීමේ බද්දක් පැනවීමට සහ 2022 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාක්මක වන පරිදි, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත රු. මිලියන 1.5 ක සහනයක් හඳුන්වා දීමට ද තීරණය කර ඇත.

2022 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සහ සහනදායී සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 14 සිට සියයට 15 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත.

නිෂ්පාදන (සියයට 18) සහ මත්පැන් හා දුම්කොළ සහ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු (සියයට 40) යන බදු අනුපාත එලෙසම පවත්වා ගෙන යනු ලැබේ.

2023 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාසික සමාගමක් විසින් නිර්වාසික තැනැත්තකු වෙත ගෙවනු ලබන ලාභාංශ ආදායම් බද්දට යටත් කිරීමට තීරණය කර ඇත.

මීට පෙර සිදු කළ සංශෝධනය මඟින් ලබා දුන් පහත සඳහන් බදු විරාම අහෝසි කිරීම. 2023 මාර්තු 31 වැනි දිනට පෙර ආරම්භ කරන ලද ව්‍යාපෘති හෝ ව්‍යාපාරවලට මෙය අදාළ නොවේ.

■ ඉදිකිරීම් කර්මාන්තයේදී මීට පෙර භාවිත කරන ලද ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත වෙනම තෝරාගත් වැඩබිමක ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඉදිකිරීම් ද්‍රව්‍ය විකුණනු ලබන ව්‍යාපාරයක් සඳහා දස වර්ෂයකට බදු නිදහස් කිරීම

■ තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (ඔඪෑඔ) සංකල්පය යටතේ ප්‍රමිතිගත කර ඇති සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියාමනය කරන ඕනෑම ආයතනයක් මඟින් වෘත්තීය අධ්‍යාපනය සාර්ථකව නිම කිරීමෙන් පසු, 2021 අප්‍රේල් 1 දා හෝ එදිනෙන් පසු යම් පුද්ගලයකු විසින් ආරම්භ කරන ලද ඕනෑම ව්‍යාපාරයක් පස්-අවුරුදු කාලපරිච්ඡේදයක් සඳහා බදුවලින් නිදහස් කිරීම.

■ වාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද බෝට්ටු හෝ නැව් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයකින් එවැනි බෝට්ටු හෝ නැව් සැපයීම මගින් ලැබූ හෝ උපයන ලද ඕනෑම ලැබීම් හෝ ලාභ සඳහා සත්-අවුරුදු කාලපරිච්ඡේදයක් සඳහා බදුවලින් නිදහස් කිරීම.

■ 2021 ජනවාරි මස 1 වන දින හෝ එදිනෙන් පසුව ඕනෑම වාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ දේශීය ශ්‍රමිකයන් සහ අමුද්‍රව්‍ය භාවිතා කරමින් සන්නිවේදන කුලුනු සහ ඒ හා සම්බන්ධ උපකරණ ඉදිකරන සහ සවිකරන හෝ එවැනි ඉදිකිරීම් සහ සවිකිරීම් සඳහා අවැසි තාක්ෂණ සේවා සපයන ඕනෑම ව්‍යාපාරයක් සඳහා පස්-අවුරුදු කාලපරිච්ඡේදයක් සඳහා බදුවලින් නිදහස් කිරීම.

■ කොළඹ සහ හම්බන්තොට වරායන්හි අක්වෙරළ ව්‍යාපාරයන්ට සම්බන්ධ බන්ධිත ගුදම් හෝ ගුදම් කුලියට දීමේ ඕනෑම ව්‍යාපාරයක්, එවැනි ගුදම් සඳහා 2021 අප්‍රේල් මස 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ආයෝජනය කර ඇත්නම් බදු නිදහස් කිරීම.

2023 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, අලෙවිකරණ හා සන්නිවේදනය සම්බන්ධයෙන් වන වියදම් සඳහා ලබා දෙන ලද අතිරේක අඩු කිරීම ඉවත් කිරීමට, 2023 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ බහු ජාතික සමාගම් සඳහා ලබා දෙන ලද නිර්වචනයේ පැහැදිලි භාවය වැඩි දියුණු කිරීම සඳහා සංශෝධනය කිරීමට සහ

ඉහත සඳහන් යෝජනාවල ප්‍රතිඵලයක් ලෙස සිදු කළ යුතු වෙනත් සංශෝධන සිදු කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment