අහුන්ගල්ලේ ඝාතනයට හමුදා කඳවුරේ ටී 56 ගිනිඅවි 36ක් පොලිසිය භාරයට – නිල සුනඛයා කඳවුරට රිංගයි

633

අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 14දා සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා යොදවා ගන්නා ලද නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තු කඳවුරට ඇතුලු‍වීම නිසා එම කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබළුන්ට නිකුත්කර තිබූ ටී.56 ගිනි අවි 36ක් පොලිස් භාරයට ගත් බව ගාලු‍ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචිව සිටි එනාදු තරිඳු ධනුෂ්ක සිල්වා නමැති පුද්ගලයා එදින සවස හයයි කාලට පමණ තම සොහොයුරිගේ කුඩා ළමයින් දෙදෙනෙකුද නංවාගෙන යතුරුපැදියෙන් යමින් සිටියදී ඔහුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබිණ. පසුව ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමග යතුරුපැදියේ සිට බිමට වැටී ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහමාරක කුඩා දරුවන් දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට සැක කරන යතුරුපැදිය කරන්දෙණිය පොලිස් වසමේ ඇරැව්වල යුද හමුදා බුද්ධි ඒකකය අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබියදී 15 වන දින සවස පොලිසිය විසින් සොයාගන්නා ලදී.

පසුව වැඩිදුරටත් නිල සුනඛයින් යොදවා පරීක්ෂණ කිරීමේදි නිල සුනඛයා හමුදා කඳවුර තුළට ඇතුඑ‍වීම නිසා එදින රාජකාරියේ සිටි සෙබඑ‍න්ට නිකුත් කර තිබූ ටී.56 ගිනි අවි 36ක් මෙසේ පොලිස් භාරයට ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් එම ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment