අහුලාගත් ඒ.ටී.එම්. කාඩ් එකෙන් දින දෙකකදී  ලක්‍ෂ 07 ක බඩු ඇදලා

552

නුගේගොඩ, විජේරාම හන්දිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට භූමියේ වැටී තිබූ ඒ.ටී. එම්. කාඞ් පතක් අහුලාගත් අයෙකු එම කාඞ්පත නැවත අයිතිකරුට හෝ බැංකුවට භාර නොදී අහුලා ගත් දින සිට දින දෙකක් තුළදී රුපියල් ලක්ෂ 07 කට වඩා අධික වටිනා භාණ්ඩ මිලදී ගෙන තිබියදී කාඞ් පතෙහි අයිතිකරු විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු මිලදීගෙන තිබූ භාණ්ඩද සමඟ ඉකුත් 02 දා අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසියේ අපරාධ අංශය පවසයි.

ඉකුත් 27 දා උදෑසන විජේරාම ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් ලබා ගැනීමට පැමිණි ව්‍යාපාරිකයකු සතු ඒ.ටී.එම්. කාඞ්පත ඔහු නොදැනුවත්ව වැටෙන ආකාරය දුටු මෙම පුද්ගලයා එය අහුලාගෙන

බිරිඳ හා දරුවන් සමග සාප්පු සවාරි මෙන්ම නිවසට අවශ්‍ය විදුලි උපකරණ රැසක් මිලදීගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

හංවැල්ල, තුන්නාන ප‍්‍රදේශයේ පදිංචි සැකකරු වෘත්තියෙන් ත‍්‍රිරෝද රථ රියැදුරෙකි. එකවර මෙවැනි විශාල මුදල් ප‍්‍රමාණයක් ලැබුණ ආකාරය පිළිබඳ බිරිඳ විමසද්දී පවසා ඇත්තේ පියාගේ ඉඩමක් විකිණීමෙන් මුදල් ලැබුණ බව යැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

දින දෙකක් තුළ අවස්ථා 14 ක දී ඇඳුම්, අධි ශීතකරණ යන්ත‍්‍රයක්, සාමාන්‍ය ශීතකරණයක්, රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත‍්‍රයක්, විදුලි පංකාවක්, ගෑස් උදුන් 02 ක්, රෙදි සේදීමේ යන්ත‍්‍රයක් ඇතුළු විදුලි උපාංග රැසක් නිවසේ තබා තිබියදී සොයා ගත් බවත් පොලිසිය පැවසීය.

දින දෙකකට පසු මුදල් ලබා ගැනීම සඳහා ඒටීඑම් කාඞ් පත සෙවීමේදී එය නොමැති බැවින් ඒ පිළිබඳව සොයා බලා බැංකුව දැනුවත් කිරිමේදී මූල්‍ය ආයතනයෙන් දන්වා ඇත්තේ ඒටීඑම් කාඞ් පත භාවිතා කරමින් නොයෙකුත් ගනුදෙනු සිදු කරමින් තිබෙන බවයි. ඒ අනුව අයිතිකරු විසින් විසින් මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන් විසින් මෙම පුද්ගලයා පසුගියදා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

සැකකරු ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස හත් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් බෝගහ දෙනිය මහත්මිය නියෝග කර ඇත.

මිරිහාන මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. අමිල ගෝවින්න මහතාගේ මෙහෙය වීමෙන් උ.පො.ප. කුලරත්න, පො.කො. වරුන් වන (89776) දර්ශන, (92516) සුරංග, (1610) සන්ෂ්, (95266) අජිත්, (92904), උදයංග, (80734) තෙන්නකෝන්, කා.පො.කො. (11879) කෞශල්‍ය යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

එස්. ඞී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment