අළු ගසා දමා යළිත් නැගිටින්න හදන්නේ රටම අළු කරන්න- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොටගලදී කියයි

165

‘අළු ගසා දමලා යළිත් අපිත් නැගිටිනවා’ කියලා කියන කට්ටිය නැගිටින්න හදන්නේ රටම අළු කරලා බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ දමිළ ප්‍රගිතිශීලි සන්ධානයේ ඉල්ලීමක් මත හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ කෙම්බි්‍රජ් ජාතික දමිල පාසලට නව බස් රථයක් ලබාදීමේ උත්සවයට ඉකුත් 29දා එක්වෙමිණි.

කොටගල නගරයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතාව කොටගල නගරයේ වෙළඳ සංගමය විසින් පිළිගෙන ශ්‍රී මුත්තු විනායගර් හින්දු කොවිල වෙත රැගෙන ගොස් එහිදී විපක්ෂ නායක වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

වතු ජනතාවගේ ඇස්වලින් වැටෙන හැම කඳුළු බිඳුවකටම වගකියන්න ඕනි රට විනාශ කරපු, රට වනසපු රාජපක්ෂ පරම්පරාව. රට විනාශ කරලා, රටේ ජනතාවගේ ජන ජිවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැන් ඒ අය කියනවා අළු ගසාදාලා ඒ අය නැගිටිනවලු‍ දැන් ඒ අය නැගිටින්න හදන්නේ රට අළු කරලා.

මේ අය නැගිටිනවාද නැද්ද කියලා තීරණය කරන්නේ රටේ ජනතාව. රටේ ජනතාව තීරණය කරන්න ඕනි රට විනාශ කරපු, රටේ ඩොලර් ටික විනාශ කරපු, රටේ ජාතික සම්පත් කොල්ල කාපු, අද වන විට රටේ ජාතික සම්පත් විකුණලා ධන කුවේරයින් වුණ ඒ පරම්පරාව අළු පිසදවලා යළි නැගිට්ටවනවාද කියන එක තියෙන්නේ ඔබේ අතේ. බංකොලොත් වුණ රටේ දැන් තියෙන්නේ බංකොලොත් ආණ්ඩුවක්, වැඩවලින්, ක්‍රියාවෙන් සහ අදහස් සහ සිතුවිලිවලින් බංකොලොත්. ඒ අය හිතන් ඉන්නේ සාමන්‍ය ජනතාව මත බදු බර පටවලා ගොඩ එන්න පුළුවන් කියලා.

මුදල් ප්‍රශ්නයට එක විසඳුමක් තියෙනවා. ඒක තමයි රටෙන් කොල්ල කාපු ධනය ආපසු අපි ගන්න ඕනි. හොරාකාපු සල්ලි අපි ආපසු අපේ රටට ගන්න ඕනි. කොල්ල කාපු ඩොලර් ටික ආපහු අපි ලබා ගන්න ඕනි. අපේ ආණ්ඩුවකු තුළින් රටින් අහිමි වුණ අපේ සම්පත් ආපසු රටට ලබා ගැනීමේ දේශීය සහ අන්තර් ජාතික වැඩපළිවෙළක් ක්‍රියාත්මක් කරනවා.

මෙම අවස්ථාවට දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්, වී. රාධාක්‍රිෂ්ණන් සහ එස්. උදයකුමාර් යන මහතුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක, මස්කෙළිය ගාමිණී බණ්ඩාර – ඉලංගන්තිලක, හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment