අළු යට තිබූ ක්‍රිකට් ගිනි ලියුම් දෙකකින් යළි ඇවිළුණි

6939

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ජයග්‍රහණවලින් නොව අර්බුදවලින් පිරී පවතින කාලයකි මේ. දසතම අළු යට ගිනි පුපුරු ලෙස දිස් වේ. ක්‍රීඩාවේ මහපුටුව වන ඇමැතිගේ සිට පාසල් ක්‍රීඩකයා දක්වාම මේ අර්බුද විහිදී ගොස් තිබේ. අර්බුද ඉස්මතු වන තරමටම ජයග්‍රහණ යට යමින් පවතී. කුමකින් කුමක් කරන්නදැයි කාටවත් කල්පනාවක් නොවේ.

හුදී ජනයාගේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට්වල ද පවතින්නේ ආදි කාලයේ පෑ දස්කම් පමණි. වර්තමානය අසමත්ය. අනාගතය ද හරි යැයි අනුමාන කරන්නට බැරි තරමට ජයග්‍රහණ නොපෙනෙන මානයේ පවතී. ලෝකයේ පාසල් ක්‍රිකට් හොඳටම තිබෙන රටක් ලෙස ‘බිග් මැච්’ ගසමින් උදම් ඇනුවද ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සමග පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයටවත් සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා යෞවනයන්ට නොහැකි විය.

එහිදී දස්කම් දැක් වූයේ ක්‍රීඩකයන් දෙතුන් දෙනකු පමණි. නායක ශෙවෝන් ඩැනියෙල් අවසන් තරගයේ දී ශතකයක් ලැබූ අතර දිනුර කළුපහනගේ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනුණි. තවත් නම් කිහිපයක් වේ. එහෙත් සමස්තයක් ලෙස අසමත් ය. ඇෆ්ගනිස්ථානයත් බංග්ලාදේශයත් පරාජය කර එම තුන්කොන් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළේ නම් අද කෙසේ වෙතත් ‘හොඳ හෙටක්’ ගැන සිතා හිත හදා ගන්නට තිබුණි. එහෙත් අදත් නැති එමෙන්ම හෙටක් ගැන හිතා ගන්නටවත් බැරි තත්ත්වයක් දැන් උදා වී ඇත.

නවසීලන්තයට එරෙහිව ජාතික කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකම කුජීත වන්නම පරාජය විණි. ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳව ටෙස්ට් තරගවලදී සිහින දුටුවෝය. ඒ සිහින ඇස්පනාපිට බිඳී ගියේය. අනතුරුව එළඹියේ එක් දින ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේ සුදුසුකම් ලබා ගැනීම සඳහා තිබූ අවසන් අවස්ථාවයි. එම තරගාවලිය ද 2-0ක් ලෙස පැරදිණි. දැන් ලෝක කුසලාන තරගාවලියට යෑමට නම් ශ්‍රී ලංකාවට බොහෝ දුරට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් යටතේ තරග කරන්නට වේ. එම තරග සඳහා ශ්‍රී ලංකාවේ තරගකරුවන් වන්නේ සත්කාරක සිම්බාබ්වේ දේශය ඇතුළුව අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දේශය, නෙදර්ලන්තය ස්කොට්ලන්තය සහ නැම්බියාව යන රටවල් ය. එහිදි ත් පැරදුණහොත් ශ්‍රී ලංකාවට අත්වන ඉරණම නම් මොන කරණමක් ගසාවත් ආපසු වෙනස් කරන්නට නොහැකි වේ. ඒ නිසා දන්නා කියන හැම ශිල්පයක්ම සිම්බාබ්වේ හිදී ප්‍රදර්ශනය කරන්නට සිදුවනු ඇත.

ජයග්‍රහණ නොමැති වුවද අර්බුද හෝ අවසන් වූයේ නම් එයද ජයග්‍රහණයකි. එහෙත් ජයග්‍රහණ නැති නිසා නැති අර්බුදත් පෙනේ. තිබෙන අර්බුද මහා ලොකුවට පෙනේ. පසුගිය සතිය මේ අළුයට ගිනි පුපුරු ලියුම් දෙකක් ලෙස දෙපැත්තකින් උඩට පැමිණි සතියකි. එකක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ලියූ ලිපියකි. අනෙක ක්‍රීඩා ඇමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ලියූ ලිපියකි. ඇමැති ලිව්වේ අයිසීසී ලොක්කාටය. සුදත් ලිව්වේ ජාතික ක්‍රීඩා සභාවේ ලොක්කාටය. අයිසීසී ලොක්කා ග්‍රෙග් බාක්ලේය. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගය.

ඇමැතිගේ ලියුමෙන් ‘එන්න’ කියද්දී සුදත්ගෙ ලියුමෙන් කිව්වේ ‘යන්න’ කියාය. රටේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන බලපෑම් එල්ල වනවා යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් මෙ රටටම පැමිණ සාකච්ඡා කර ‘යන්න එන්න’ යැයි ඇමැති අයිසීසී සභාපතිට සිය ලිපියෙන් ආරාධනා කර තිබුණි.

සුදත් අර්ජුනට යොමු කළ ලිපියෙන් කියවුණේ තවදුරටත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස අර්ජුන රණතුංග කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික තමන් ඇතුළු අනෙක් පිරිස අකැමැති බවත් ඒ නිසා වහාම එම තනතුරෙන් අර්ජුන රණතුංග මහතාට ඉවත් වන ලෙසයි. ඇමැති විසින් අයිසීසීයට යවන ලද ලිපිය නිල ලිපියකි. එහෙත් ඇමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිට යැව්වේ පුද්ගලික ලිපියකි. ඔහු එම ලිපිය ලිව්වේ ඇමැතිට ද ලිපියක් යැවීමෙන් පසුව ය. ඊට පෙර ඔහු විසින් යවන ලද එම ලිපියෙන් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේ “තමන් හෝ අර්ජුන හෝ දෙදෙනාගෙන් කෙනෙකු” තෝරා ගන්නා ලෙසයි. එහිදී ඇමැති තමන්ට ඉන්න ලෙස දැනුම් දුන් බවත් ඒ නිසා දැන් අර්ජුන යා යුතු බවත් සුදත්ගේ දෙවන ලිපියේ දැක්විණි. උඩත් ගිනි යටත් ගිනි හැම තැනම ගිනිය.

ඇමැති විසින් අයිසීසීයට යවන ලද ලිපියේ තවදුරටත් දැක්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන විය යුතු බව අයිසීසීය මෙන්ම තමන් ද පිළිගන්නා බවයි. කෙසේ වෙතත් ඇමැතිගේ එම ලිපියට අයිසීසීයෙන් තවම පිළිතුරක් නැත. සුදත් ගේ ලිපියට ද තවම පිළිතුරක් නැත. එහෙත් සුදත් ඇමැතිවරයාට කළ දැනුම් දීමේ කොන්දේසි දෙකක් වේ. එනම් තවදුරටත් අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස කටයුතු කරන්නේ නම් තමන් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික ධුරයෙන් පමණක් නොව ඇමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ද නික්ම යන බවයි.

දැන් මෙතන ඇමැති හිරවී ඇත. රැවුලයි කැඳයි දෙකම ඕනෑ වුවත් දෙකෙන් එකක් පමණක් තබා ගත හැකි බව සුදත්ගේ කොන්දේසිවල දැක්වේ. අර්ජුන නොයන්නේ නම් සුදත් යන්නේ ය. එකකින් නොව සුදත් යන්නේ දෙකකින්ය. එනම් ඇමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික තනතුරෙන්ය. සුදත්ව ඒ දෙකේ තියා ගන්නට ඕනෑ නම් අර්ජුනව අත්හරින්නට වේ. ඒ කියන්නේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරෙන් අර්ජුනට යන්න කියන්නට ඇමැතිට සිදුවේ.

සුදත් චන්ද්‍රසේකර ඊට පරිබාහිරව කරන තවත් චෝදනාවක් වේ. එනම් අර්ජුනට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය අල්ලා ගැනීම බවයි. එහෙත් අර්ජුන කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඕන ඕන පදයට නටන්න දෙන්නට බැරි බවයි. අර්ජුන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට පත් වූ දා සිට මෙවැනි රාවයන් දසතින් ඇසෙන්නට විණි. අර්ජුන මේවා කරන්නේ යහපත් චේතනාවෙන් නම් එහි වරදක් නොවේ. එහෙත් ඔහු සිදුකරන ඇතැම් ප්‍රකාශවල ව්‍යංගාර්ථය සුදත් චන්ද්‍රසේකර කියන ආකාරයේ දෙයක් නම් එය යහපත් නොවේ. ඒ පිළිබඳව අර්ජුනගේ හෘද සාක්ෂිය සාක්ෂි දරනු ඇත.

කොයි කිල්ලෝටෙත් හුණු ටික ටික හෝ ගෑවී තිබෙන්නා සේ වැරදි නැති අය නම් දැන් සොයන්නට නොහැක. ක්‍රීඩා සංගම් පරිපාලකයෝ සියලු දෙනාම ද ශුද්ධවන්තයෝ නොවෙති. එසේම අර්ජුනගේ චේතනාව ද පාරිශුද්ධ යයි කිව නොහැක. ක්‍රීඩා සංගම්වලින් අර්ජුනට එරෙහිව නිසි පියවරක් ගන්නට නොහැකි වන්නේ ද අර්ජුනට ක්‍රීඩා සංගම්වලට එරෙහිව මීට වඩා ඍජු පියවරක් ගැනීමට නොහැකි වී ඇත්තේ ද මේ හේතුව නිසාය.

මේ දෙපැත්තේ අර්බුද මෙන්ම පෙර වැරදි ද හමුවේ ශ්‍රී ලංකා පාපන්දුවට නම් දැන් ජාත්‍යන්තර තහනමක් වැටී ඇත. ශ්‍රී ලංකාව පාපන්දු ක්‍රීඩාවෙන් මුළු ලෝකයෙන් ම ප්‍රතික්ෂේප වී ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සේවක සේවිකාවන්ට මාස එකහමාරකින් පමණ පඩි නැත. කියන්නට කෙනෙකුන් ද නැත. අලුතින් පත්වූ සභාපති පරණ වරදක් හමුවේ දැන් හිර කූඩුවේ ය. පාපන්දුව වැටී තිබෙන්නේ එවැනි ජාතික හා ජාත්‍යන්තර අර්බුදවලින් ගහන තත්ත්වයකටය.

මෙවැනි අර්බුද හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට ද නුදුරේදීම එවැනි තහංචියක් පැන වුවහොත් එය පුදුම වීමට කාරණයක් ද නොවනු ඇත. රටේ ප්‍රශ්න පිටට ගෙන යා යුතු නොවේ. ඒ බව මේ දෙපාර්ශ්වයම දැන ගත යුතුව ඇත. එහෙත් රටේ ප්‍රශ්න පිටට නොව අපායට හෝ ගෙනගොස් තමන්ට සුගතිය උදා කර ගැනීමට ඇතැමුන්ට අවශ්‍යය. ඒ අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රටේ ක්‍රීඩාව මෙන්ම ලොව පිළිගත් ක්‍රීඩා සන්නාමයන් කෙළෙසීමට යන්නේ නම් එය ද්‍රෝහී ක්‍රියාවක් ම වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment