ආගමික සහජීවනයට හානි කළැයි ජෙරොම්ට එරෙහිව නඩු දැමූ පෙත්සම්කාර පාර්ශ්වයෙන් 3ක් ඉවත් වෙති

110

රටේ පවතින ජාතික හා ආගමික සහජීවනයට හානියක් වන ආකාරයෙන් හා බෞද්ධ ධර්මය ඇතුළු සෙසු ආගම්වලට නින්දා වන ආකාරයෙන් දේශන පවත්වා ඇති ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා හා හජ්ජියාර් සියාද් හෂාන් මවුලවි තුමා ඔවුන්ගේ පැමිණිලි ඉල්ලා අස්කර ගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (10දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

වගඋත්තරකාර ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව මේ වනවිට විමර්ශන සිදුකරනුයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් උනන්දුවක් නොදක්වන බවත් මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ ජනාධිපති නීතිඥවරයා පැවසීය. එම කරුණු දැක්වීම ඉදිරි නඩු දිනයේදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඬුල්ල හමුවේදී සිදුකරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් විනිසුරු මඬුල්ල ලබන ජූලි මස 22 දා එම පෙත්සම කැඳවීමට දින නියම කළේය.

ආගමික සහජීවනයට හානියක් වන ආකාරයෙන් දේශනා පවත්වා ඇති ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ, නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අඟුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා හා හජ්ජියාර් සියාද් හෂාන් මවුලවිතුමා විසින් එම පෙත්සම ගොනුකර තිබිණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා සමග ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා පෙනී සිටි අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා වගඋත්තරකාර ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment