ආගම වාතයක් විය යුතුද?

235

මේ දිනවල පවතින සෞඛ්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන් බලා ගැනීමටත් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා දොස්තරවරුන්ට සහය වීමටත් අවශ්‍ය කාර්ය මණ්ඩල රෝහල්වල නැත. එහි ප‍්‍රතිපලයක් වශයෙන් අංගොඩ මානසික රෝහලෙන් රෝගීන් හයදෙනෙක් පැන ගොස් තිබේ. මෙම පිරිසගේ ජීවිතවලට අනතුරක් සිදුවුවහොත් වැඩ වර්ජනය කළ අංගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය ද එම වර්ජනය කැඳවූ වෘත්තීය සමිති නායකයන්ද වගකිව යුතු බව අපගේ වැටහීමය. අප යෝජනා කරන්නේ ඔවුන් විශ‍්‍රාම වැටුප ද අහිමි කර ගෙදරම පැන්නිය යුතු බවයි. මානසික රෝහලින් පැන ගිය පිරිස යම් හෙයකින් පාර්ලිමේන්තුවට ගියොත් එහි අවුලක් නැත. ඒ දැනට පාර්ලිමේන්තුවේ පවතින තත්ත්වයේ වෙනසක් වීමට ඉඩ නැති බැවිනි. මීට වඩා වැදගත් ප‍්‍රශ්නයක් අප ඉදිරියෙහි ඇත. ඒ ගැන සාකච්ඡා කරමු.

මීට දින කිහිපයකට පෙර බඩල්ගම ආඬිමුල්ල ගමේ ගෙදරකින් කුණු ගඳක් හමන්නට පටන් ගත්තේය. ගෙයි දොර ජනෙල් වසා තිබූ අතර ගෙට කිට්ටුකර බැලූ ගැමියන්ට අසන්නට ලැබුණේ ඉන් නික්මෙන යාඥා හඬකි. මේ ගැන සැකකළ ගම්වැසියෝ පොලිසි ගියහ. පොලිසිය පැමිණ ගෙයි දොරවල් විවෘත කර බැලීමේදී දැකගන්නට ලැබුණේ කුමක්ද? ඇඳක් මත තබා තිබූ මියගිය කුඩා දරුවකුගේ මළ සිරුරකි. මළ සිරුර කුණු වෙන්නට පටන්ගෙන තිබිණ. ඇඳ අසල බිම දණ ගසාගත් මව, පියා සහ මිත්තනිය දරුවාට පණදෙන ලෙස ඉල්ලා දිගින් දිගටම දෙවියන්ට යාඥා කළහ. මේ දරුවා සෙම් අමාරුවක් නිසා රෝගීව සිටි කෙනෙකි. දෙමාපියන් දරුවා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ගෙනගියේ නැත. ඔවුන් අදහන ආගමට අනුව ලෙඩුන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම තහනම් විය. එහෙත් දෙවියෝ ලෙඩට වෙදකම් නොකරති. උන්වහන්සේ ඒ ඩියුටිය භාරදී ඇත්තේ ඇලොපති, හෝමියෝපති, ආයුර්වේද, යුනානි, සිද්ධ වැනි වෛද්‍ය ක‍්‍රම ව්‍යවහාර කරන වෛද්‍යවරුන්ට ය. ප‍්‍රතිකාර නැතිකමින් ළමයාගේ සෙම නරක් වී පෙණහලූ ආසාදනය වූ අතර නිව්මෝනියාවෙන් හෝ වෙන යම් රෝගයකින් පොඩි එකා මළේය. මේ දරුවාගේ මරණය ගැන ඇසූ දෙවියන් වහන්සේ මහත් සේ කඳුළු සලන්නට ඇත. එසේම තමන්ගේ නමින් අපරාධ කරන ආගමික කල්ලිවලටත් ඒවායින් බඩ වඩාගන්නා කපටි පූජකයන්ටත් හෙණම ගහපිය යනුවෙන් ප‍්‍රාර්ථනා කරන්නට ඇත. අපගේ අවබෝධයට අනුව කුඩා දරුවකු මැරෙන්නට අත්හැර දැමීමේ වරදට මව, පියා සහ මිත්තණිය යන තිදෙනාම හිරේ දැමිය යුතුය. මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකි. මිත්තණියට සිර කාලය තුළදීම දෙවියන් වහන්සේ බැලීමට යා හැකි වේ. මව සහ පියා යහපත් කල්ක‍්‍රියාවෙන් කටයුතු කළොත් අවුරුදු හත අටකින් හිර දඬුවම නිමාකර නිදහස් වී පැමිණිය හැකිය. හැබැයි හිරේ ගතකරන කාලය තුළ හිරකරුවන්ගේ ලෙඩ යාඥාවෙන් සුවපත් කරන්නට විත්තිකාර දෙමාපියන් තැත් කළොත් ඔවුන්ට සිදුවන්නේ හිරකරුවන්ගෙන් ගුටි කා මැරෙන්නටය. එවිට මිත්තණිය දෙවියන් බැලීමට ගොස් ඉතා කෙටි කලකට පසු මවට හා පියාට ද ඇය සමග එක්විය හැකිය.

දෙවියන්ට යාඥා කොට ලෙඩ සනීප කර ගැනීම හෙවත් Faith Healing නමැති සංකල්පයක් බොහෝ රටවල තිබේ. මෙහිදී ලෙඩාට බෙහෙත් නොදෙන අතර ලෙඩා වෙනුවෙන් යාඥා කිරීම පමණක් සිදු කෙරේ. මෙය ක‍්‍රිස්තියානි ආගමෙන් කැඞී වෙන්වුණු පරිහානිගත ආගමික කල්ලිවල ව්‍යවහාරයකි. ලෙඩකු ඇඳ මත තබා දිගින් දිගටම යාඥා කරන විට දෙව්ලොවින් බැස එන දෙවියන් වහන්සේ ලෙඩා සුවපත් කරනු ඇතැයි පෙරකී පරිහානිගත කල්ලිකාරයෝ විශ්වාස කරති. තවත් වැදගත් යමක් සඳහන් කළ යුතුය. Faith Healing කරන ක‍්‍රිස්තියානි නොවන සිංහල ආගම් ද තිබේ. මේ ආගම්වල සිටින පූජකවරු ආබාධිතයන් ඇවිද්දවීම, දෘෂ්‍යාබාධිතයන්ට පෙනීමට සැලැස්වීම, ශ‍්‍රව්‍යාබාධිතයන්ට ඇසීමට සැලැස්වීම, පිළිකාව සුව කිරීම ඇතුළු විවිධ ප‍්‍රාතිහාර්ය කිරීමට හැකි බවට ප‍්‍රසිද්ධ කරති. මොවුන් ප‍්‍රධාන වශයෙන් කරන්නේ යකුන් එළවීම නමැති වැඩකි. මනුෂ්‍ය ශරීරයට ඇතුළු වී සිටින විවිධ යකුන් ලෙඩ රෝග ඇති කරන බැවින් එම යක්කු එළවීම සඳහා විවිධ ආගමික සංදර්ශන ඉදිරිපත් කිරීම ද ඔවුහු කරති. යකා, මනුෂ්‍යයාට වඩා බලවත්ය. මිනිසුන් එළවීමට යකුන්ට පුළුවන් වුණත් යකුන් එළවීමට මිනිසුන්ට හැකි බවක් අපි නම් විශ්වාස නොකරමු. තක්කඩි හොර කට්ටඬියන් කරන්නේ ද මේ ටිකමය. විවිධ ආතුරයන්ගේ සිරුරු තුළ සැඟව සිටින යකුන් එළවා රෝග සුවපත් කිරීම පිණිස මේ තක්කඩි කට්ටඬි තොවිල් නටති. හොඳ තොවිලයක් නැටීමට අඩුම ගණනේ රුපියල් ලක්ෂ 5 ක්වත් වැය වේ. කට්ටඬියා මාතරින් එන ඔරිජිනල් බඩුවක් නම් ඒ සඳහා ලක්ෂ 7 ක්වත් යයි. මෙහිදී අප තේරුම්ගත යුතු වැදගත්ම කරුණ නම් මෙතැන සිටින යකා අන් මොකෙක්වත් නොව තක්කඩියා (සමාවෙන්න කට්ටඬියා) බවය. Faith Healing අදහන ලෙඩට බෙහෙත් නොබොන සෙරෙප්පු නොදාන සිංදු අහන්නේ නැති ආගමික කල්ලි රැසක් මේ රටේ දුගී ගම්මානවලට රිංගා පාස්ටර්වරුන් නමැති දිව්‍යමය ඒජන්තවරුන් හරහා දුප්පත් මිනිසුන් ස්වකීය ආගමට බා ගැනීම විශාල වශයෙන් කරනු ලැබේ. පසුගියදා දිල්ලියේ මහාධිකරණය වැදගත් නඩු තීන්දුවක් දුන්නේය. ආගම ප‍්‍රචාරය කිරීමට හෝ යාඥා කිරීමට ශබ්ද විකාශන යන්ත‍්‍ර පාවිච්චිය තහනම් කිරීම එම නඩු තීන්දුවෙන් නියෝග කරනු ලැබීය. මහාධිකරණ විනිශ්චයකාරතුමාගේ අදහස වූයේ ආගම යනු ආධ්‍යාත්මික දෙයක් බවය. එය ශබ්ද විකාශන මාර්ගයෙන් මහත් හඬ නගා ප‍්‍රචාරය කර එම ආගම නොඅදහන අයගේ ඔළුවට රිංගවීමට තැත් කිරීම වැරදි බව විනිසුරුතුමාගේ මතය විය. ඒ නිසා මේ කියන Faith Healing ක‍්‍රමය රෝගීන් මත නොපැටවීමට කපටි පූජකයන් වගබලාගත යුතුය. එවැනි කපටියන් අල්ලා අනියම් මිනී මැරීමේ වරදට හිරේ යැවිය යුතුමය. කෙනකු මරණ මංචකයේ සිටින විට ඔහු අසලට එන පූජකයෙක් යාඥා කිරීම කතෝලික ආගමේ තිබේ. බෞද්ධයෙක් පණ අදින විට ඔහුට ඇසෙන පරිදි පිරිත් කියනු ලැබේ. මෙහි අරමුණ වන්නේ මිය යන්නාට පණ දීම නොව පරලොව යන ගමන පිරිත් සහ යාඥා අසමින් සාමයෙන් යෑමට සැලැස්වීමය. ආගම වාතයක් නොවිය යුතුය. එය අත්‍යන්තයෙන්ම ආධ්‍යාත්මික වස්තුවකි.

advertistmentadvertistment
advertistmentadvertistment