ආචාර්ය මිලිනා සුමතිපාල – නොපසුබස්නා වීර්යයෙන් දිවිය දිනූ දිරිමත් වනිතාව

374

කොළඹ කොටහේනේ විසූ සරනේලිස්හාමි පියාණන් කොට මෙන්සිනාහාමි මෑණියන්ගේ කුසින් පවුලේ පස්වන දරුවා ලෙස 1935 මැයි මස 25 වැනිදා මෙලොව එළිය දුටු පින්වත් දියණියට තබන ලද නම වූයේ මිලිනා ය.

 පාසල් දිවිය නිමා කර සිටි, තුරුණු වියේ පවා ධෛර්ය සම්පන්න කාන්තාවක වූ මිලිනා යුවතිය කොළඹ නගරයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා සමඟ විවාහ වූයේ 1956 වසරේදී ය. මෙම යුවළ නව දිවිය අරඹන ලද්දේ ආමර්වීදිය ප‍්‍රදේශයේ මිලට ගත් නව පන්නයේ නිවසක ය. පුතණුවන් දෙදෙනකුගේද, දූවරුන් පස්දෙනකුගේ ද ආදරණීය මවක වූ මෙතුමිය තම ස්වාමිපුරුෂයාට ආදරණීය බිරිඳක් විය. කාන්තා පරපුරට මතු නොව විවාහ ජීවිත ගත කරන්නවුනට ද ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කරමින් සිටියදී 1979 වසරේහි දී සිය ආදරණීය ස්වාමිපුරුෂයාණන් මෙලොවින් සමුගැන්ම මෙතුමිය මුහුණ පෑ අවාසනාවන්තම ඉරණම විය. ඉන් පසු සිය පවුලේ බර මතු නොව තම සැමියාණන් ඇරඹූ සියලූ ව්‍යාපාර පිළිබඳ පරිපාලන හා කළමනාකරණ බර ද තම කර මත පැවරුණ ද උපතින්ම ගෙන ආ දිරිය ගුණය නිසා තුරුණු මිලිනා මවුතොමෝ දැඩි අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් පවුලේ උන්නතිය ද තම ව්‍යාපාර ජාලයේ දියුණුව ද දිනෙන් දින අභිවර්ධනය කරන්නට සමත් වූවාය.

 ලක්දිව ප‍්‍රධානතම ගිහි බෞද්ධ සංවිධානය වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප‍්‍රථම කාන්තා සභාපතිනිය වශයෙන් 2002 වර්ෂයේදී පත් වූ මෙතුමිය එතෙක් කාලයක් වෙසෙක් පොහෝ දින අඳුරින් ගැවසුණු කොළඹ නගරයේ මං මාවත් අතර වෙසෙසින්ම බෞද්ධාලෝක මාවත ඒකාලෝක කරමින් එහි බෞද්ධාලෝක වෙසක් කලාපයක් ආරම්භ කළාය. හෙළ දෙරණට මෙලෙසින් වෙසක් කලාප සංකල්පය හඳුන්වාදෙන ලද්දේ මෙතුමිය විසිනි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ පුනරුද ක‍්‍රියාවලිය හඳුන්වා දී එමගින් ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික සමාජීය හා ආර්ථික සේවාවන් රැුසක් සිදු කරන්නට එතුමිය සමත් වූවාය.

 ආගමික වශයෙන් එතුමිය කළා වූ සේවාවන් අතර දළදා වහන්සේ තැන්පත් කළ පෙරහැර කරඬුව වැඩමවීම සඳහා රන්සිවිගෙයක් සාදා ශ‍්‍රී දළදා මාලිගාවට පූජා කිරීම, හේමමාලා කුමරිය හා දන්ත කුමරු ධාතුන් වහන්සේ වැඩම කරවන ප‍්‍රතිමාවක් කරවාදීම, කොළඹ කොටුවේ ශ‍්‍රී සම්බෝධි චෛත්‍ය ඉදිකිරීම, සිතුල්පවු රාජමහා විහාරස්ථානයේ පෙත්මළු තුනකින් සමන්විත බෝධි ප‍්‍රාකාරයක් කරවා එය ආනන්ද ජයබෝධිය ලෙස නම් කර සසුනට පූජා කිරීම, ඉසිපතන මිගදායේ ධම්මචක්කප්පවත්තන සූත‍්‍රය ගල් පුවරුවක කොටවා එම ස්ථානයේ තැන්පත් කිරීම, මාතර වෙහෙරහේන විහාරස්ථානයේ අඩි සියයක මල් ආසනයක් කරවා පූජා කිරීම ආදිය වෙසෙස් තැනක් ගනී.

 එසේම ශ‍්‍රී ලංකා ධර්මචක‍්‍ර ළමා පදනම, ශාන්ති පදනම, කොළඹ ආරෝග්‍යා ශාලා සේවය, ශ‍්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය වැනි සේවා සංවිධාන රැුසක නිලතල හොබවමින් ආත්ම පරිත්‍යාගයෙන් ද, ශූර ව්‍යාපාරික ඥානයෙන් ද, ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ද මානව හිතවාදයෙන් හා ආත්ම ධෛර්යයෙන් ද කළ අනැගි මෙහෙවරක් සිදුකළ මිලිනා සුමතිපාල මහත්මිය ආචාර්ය උපාධියකින් ද සම්මානිත වූවාය. ජනමාධ්‍ය වෙනුවෙන් කළ මෙහෙවර සඳහා ‘ජනමාධ්‍ය මේධාවිනි’ ගෞරව සම්මානය ද ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම කාන්තාවකට හිමිවන ’ශ‍්‍රී ලංකා දේශ අභිමාන’ සම්මානය ද හිමිකර ගත්තාය.

 ලංකාවේ කලා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් එතුමිය කළ මෙහෙවර ද වෙසෙසින් සඳහන් කළ යුතුය. ගඟ අද්දර, දුවට මවක මිස, උත්පලවණ්ණා, පත්තිනි වැනි චිත‍්‍රපට සඳහා ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන 50 කට වඩා ඇයට හිමිවිය. ගඟ අද්දර චිත‍්‍රපටයෙන් ලද ආදායමෙන් තම ස්වාමිපුරුෂයා සිහිවීම පිණිස කොළඹ මහ රෝහලට එතෙක් අඩුපාඩුවක්ව තිබූ ස්නායු වෛi ඒකකය නිමවා 1981 වර්ෂයේදී පරිත්‍යාග කිරීම, ජාතික රෝහලට ඵඍෂ ස්කෑන් යන්ත‍්‍රයක් ලබාගැනීමට අනුග‍්‍රහය දැක්වීම, 1997 හා 1998 වර්ෂවල සොයිසා රෝහල අලූත්වැඩියා කිරීම. 1996 වර්ෂයේදී රිජ්වේ ළමා රෝහලේ ඇඳන් සහ වාට්ටු පිංතාරු කිරීම ආදී සේවාවන් රැුසක් මෙතුමිය විසින් සිදුකරන ලදී. පුංචි තිරයේ මහා කලා මංගල්‍යය නමින් හැඳින්වෙන සුමති ටෙලි සම්මාන උළෙල ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ ද මෙතුමියයි.

 සිය දිවියට වසර 65 ක් සපිරෙන මොහොතෙහි තම ව්‍යාපාරික කටයුතු සහ අයිතිය තම පුතණුවන් දෙදෙනා වෙත භාරදුන් මෙතුමිය තමා ලද නිදහස හා විවේකය සිය ආගමික දිවිය වඩාත් හරවත් කර ගැනීමට ආදර්ශවත්ව කැප කළාය.

 නොපසුබස්නා වීර්යයත්, අධිෂ්ඨාන පූර්වක කැපවීමත් සේවා ළැදියාවත් ව්‍යාපාර කුසලතාවත් මගින් දිවිය දිනූ දිරිමත් වනිතා රත්නයක් ලෙස රට දැය සමයට අනැඟි මෙහෙවරක් සැලසූ ආචාර්ය මිලිනා සුමතිපාල මාතාවට නිවන් සුව ලැබේව.!

 තිරිකුණාමලේ
 ආනන්ද මහනාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment