ආචාර ධර්ම කඩන මන්ත්‍රීලා ගෙදර යවන්න මැ.කො.ගෙන් යෝජනාවක්

163

මැතිවරණ කාලසීමාවේ දී කොමිෂන් සභාව මගින් ගැසට් කරනු ලබන ආචාරධර්ම නීතිගත කිරීම ඔස්සේ ඒවා කඩකරන පුද්ගලයන්ගේ මන්ත්‍රී ධුර අධිකරණ තීන්දුවක් මගින් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මැතිවරණ නඩු විභාග කිරීම සඳහා වෙනම විනිශ්චය අධිකාරියක් යෝජනා කර තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් කෙටි කාලයකදී නඩු විභාග කර තීන්දු ලබාදිය හැකි බවත් ඒ මහතා කීවේය.

මැතිවරණ කාලසීමාවේ දී කොමිෂන් සභාව මගින් ආචාරධර්ම ගැසට් කරනවා. මේවා අපේක්ෂකයෝ ගණන් ගන්නේ නැහැ. මැතිවරණ නීති කැඩුවත් අපිට කරන්න දෙයකුත් නැහැ. මැතිවරණ ආචාරධර්ම නීතිගත කරන්නත් ඒවා කැඩුවොත් ඒක මැතිවරණ වරදක් ලෙස සලකන්න කියලත් අපි යෝජනා කළා. ඒක ඡන්ද කාලයට පමණක් නොව ධුර කාලය දක්වා ම බලපාන ලෙස දීර්ඝ කරන්න ඕනෑ. ධුර කාලයේ දී ආචාරධර්මවල අඩංගු යම් කාරණයක් උල්ලංඝනය කළොත් ඒක අධිකරණයක් මගින් තහවුරු කර ගැනීමෙන් පසු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ ක්‍රමවේදයකට අපි යොමුවිය යුතුයි යැයි ද ඒ මහතා සඳහන් කළේය.

මැතිවරණ නීති සංශෝධනය පිණිස පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (2021) වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා මාලාවේ පිටපතක් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත ඉකුත් 28 වැනිදා පිළිගන්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකශ කළේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment