ආචාර වෙඩිමුර රථ පෙළපාලි නෑ: 9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවරය විවෘත කිරීම අද

113

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) පෙරවරුවේ චාම් ලෙස උත්සවාකාරයෙන් සිදුවේ.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (03දා) පෙ.ව.10.30 ට ඉදිරිපත් කරනු ලබයි.

වෙනදා මෙවන් අවස්ථාවල සිදුකරන ආචාර වෙඩි මුර හා රථ පෙළපාලි මෙවර නොපැවැත්වෙයි. එමෙන්ම සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර එම කටයුතු සිදුවෙයි.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවරය විවෘත කිරීමට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (02දා) පැවැත් විණි. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීහු, කොළඹ දේවි බාලිකා විiාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ඒ මහතාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදුකෙරේ. මෙහිදී ජනාධිපතිවරයාගේ ධජය එසවීමක් සිදුනොවන අතර ජාතික කොඩිය පමණක් ඔසවයි.

අද පෙ.ව. 09.30 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදුවීමට නියමිතය.

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදුවන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තය සිදුවන්නේ ඉන් අනතුරුවය.

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට නියමිතය.

එහිදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් තුමා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ලබයි.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විiාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනාකර ජනාධිපතිතුමාට ආශිර්වාද එක් කිරීමට නියමිතය.

සභා ගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙවර ජනාධිපතිවරයාගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංජනය සවිකර තිබීම විශේෂත්වයකි. මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමඟ අසුන් ගැනීම සිදුවේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, සභාව කල් තැබීම සිදුවේ. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයා සහ ආර්යාව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අවස්ථාවේදීද හමුදා උත්තමාචාරයක් පිරිනැමීම සිදුවේ.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරු, උපරිමාධිකරණ විනිසුරුවන්, නීතිපති, ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රනිල් ධර්මසේන – අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment