ආණ්ඩුකාර කුසලාන යුනයිටඩ් සදර්න් කණ්ඩායමට

66

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති ‘ආණ්ඩුකාර කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය ඊයේ (28 දා) සමත් විය. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී ලියෝ ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 05 ක ජයක් වාර්තා කරමින් ආණ්ඩුකාර කුසලාන ද සමග ශූරතාව වෙනුවෙන් පිරිනැමුණු රුපියල් ලක්ෂ 3 ක ජය මල්ල ද තමන් සතු කර ගැනීමට යුනයිටඩ් සදර්න් ක්‍රීඩකයෝ සමත් වූහ.

 පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ලියෝ පිල පන්දුවාර 46.1 කදී ලකුණු 169 කට සීමා කිරීමට යුනයිටඩ් සදර්න් පන්දු යවන්නෝ සමත් වූහ. ඉලක්කය හඹා යෑමේදී පන්දු 53ක් සහ කඩුලු 05 ක් ඉතිරිව තබා ගෙන ඉලක්කය සපුරා ගැනීමට යුනයිටඩ් සදර්න් පිතිකරුවෝ වග බලාගත්හ.

 ලියෝ පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන ලද්දේ නායක ගිහාන් සොයිසා (31) වන අතර ඔහු හැරුණු කොට සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 30 සීමාව ඉක්මවාලීමට අතුල සේනාරත්න සහ රුචිර සිල්වා ප්‍රමුඛ යුනයිටඩ් සදර්න් පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. පන්දු යැවීමේදී කැපී පෙනුණු රුචිර සිල්වා සහ අතුල සේනාරත්න කඩුලු 3 බැගින් බිඳ හෙළුෑහ. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස යුනිචෙලා ක්‍රීඩා සමාජයේ යෂාන් අවිශ්ක ද, දක්ෂතම පන්දු යවන්නා ලෙස මැලේ ක්‍රීඩා සමාජයේ මදුශික සඳරුවන්ද සම්මාන දිනාගත්හ. තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා සම්මානය යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ තුන් ඉරියව් ක්‍රීඩක තරිඳු නිර්මාල් දිනා ගත්තේය. මෙවර තරග වාරයේ තරග 11 කදී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 55.57 ක් රඳවා ගනිමින් ලකුණු 361 ක්ද පන්දු යවමින් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.89 ක් රඳවා ගනිමින් කඩුලු 13 ක් ද බිඳ හෙළමින් එම සම්මානය සඳහා ඔහු තේරී පත්වූවේය.

advertistmentadvertistment
advertistmentadvertistment