ආණ්ඩුවට ඉදිරිපත් කළ මොකක්ද මේ සංඝ සම්මුතිය

387

ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ පරිද්දෙන්, සිංහල බෞද්ධ නායකයෙක් ආ ඇමැති මණ්ඩලයක් බෞද්ධාගමික ප්‍රභූ නායකත්වයට ප්‍රතිචාරයක් නොදක්වා තිබේ. මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම හා උපදෙස් මත රජයට මාසයක් ඇතුළත යෝජනාවලි පහක් ඉදිරිපත් කොට තිබේ.

නිදහසින් පසුව මේ රටේ බලයට පැමිණි ආණ්ඩු සහ 78 විධායක ජනාධිපති ධුරය ආරම්භ වීමෙන් පසු පත්වූ සියලු ජනාධිපතිවරුන්ට ලැබුණු ඡන්ද ප්‍රතිශත සැලකිල්ලට ගන්නා කල වැඩිම සිංහල බෞද්ධ ඡන්ද හිමි වූයේ වත්මන් ආණ්ඩුවට ය.

වත්මන් ජනාධිපතිවරයාට සියයට 80ක සිංහල බෞද්ධ ඡන්ද හිමිව තිබිණි. තුනෙන් දෙකක ඡන්ද බලයක් හිමිවීමට තරම් මහ මැතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද හිමි වීම සියයට 70 ද ඉක්මවා තිබිණි. ජනාධිපතිවරයා ඊට ගෞරව දැක්වීම පිණිස ද බෞද්ධ ආගමික නායකත්වය සංකේතවත් කිරීම පිණිස ද රුවන්වැලි සෑ දුටුගැමුණු පිළිරුව අසල දිවුරුම් දී ජනතාව ඇමතුවේ රාජකීය නායකත්වය පිළිබිඹු කරන්නට ය.

එපමණක්ද ආණ්ඩු පක්ෂයේ ඇමැති මණ්ඩලය රට සමෘද්ධිමත් භාවය ආරක්ෂා කිරීම පිණිස සිය ශක්තිය කැප කරන්නේ යැයි දිවුරා පොරොන්දු වූයේ ඓතිහාසික දළදා සමිඳුන් පරිශ්‍රයේ මඟුල් මඬුවේ දී ය. සියල්ල ඔස්සේ මතු කළේ සිංහල බෞද්ධ පදනම ය. සිංහල බෞද්ධ පදනමට ශක්තිය සපයන්නේ බෞද්ධ භික්ෂු නායකත්වය උන්වහන්සේලාගේ අනුශාසකත්වය පෙරදැරි කොටගෙන රාජ්‍ය නායකත්වය මේ තාක් කල් පැවැතියද වර්තමානයේ උන්වහන්සේලාගේ හඬට රාජ්‍ය නායකත්වය නෑසූ කනින් යුතුව කටයුතු කිරීම දෛවයේ සරදමක් ද?

දෙදහස් විසි දෙකේ මාර්තු දහහත් වැනිදා “උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සමස්ත මහජනයා වෙනුවෙන් තිරසාර ජාතික ප්‍රතිපත්තීන් මගින් සහන සැලසීමේ අවශ්‍යතාවය පිළිබඳවයි” මැයෙන් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන ස්වාමින්වහන්සේත් මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන ස්වාමින් වහන්සේලාගේ අත්සනින් යුතු යෝජනාවලියක් ඉදිරිපත් කෙරිණි.

පවතින අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ජාතික හා ජත්‍යන්තර විද්වතුන් පෙරටු කරගත් සර්වපාක්ෂික සමුළුවක් මගින් දේශයේ සෞභාග්‍යයත් තිරසාර සංවර්ධනයත් උදෙසා ජාතික සැලැස්මක් ඇතිකර ගැනීම ඇතුළු කරුණු දාහතරකින් එම යෝජනාවලිය යුක්ත විය. උද්ගතව දැවැන්ත ආර්ථික අර්බුද විසඳා ගැනීම සඳහා මහාසංඝරත්නය ලෙස ජනපති වෙත පහත යෝජනා ඉදිරිපත් කළහ.

● ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් පෙරටු කරගත් සර්වපාක්ෂික සමුළුවක් මගින් දේශයේ සෞභාග්‍යයත් තිරසාර සංවර්ධනයත් උදෙසා ජාතික සැළස්මක් ඇතිකර ගැනීම.

● රට තුළ සිදුවන කිසිදු සංවර්ධන කටයුත්තක් අනවශ්‍යය යැයි අපි නොකියමු. එහෙත් සංවර්ධනයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදය සමනය කර ගනිමින් රට ගොඩනැඟීමේ ජාතික සැළැස්මට අනුව ප්‍රමුඛතා ලැයිස්තුවක් මත සංවර්ධන ව්‍යාපෘති විනිවිධභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම.

● මේ වන විට ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය නොවන සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව නවතා මහජනතාවට සහන සලසා ජීවන වියදම අඩු කිරීමට කටයුතු කිරීම.

● අප දේශයේ ස්වභාවික පරිසරය මෙන්ම සංස්කෘතික උරුමයන් සුරක්ෂා වන පරිදි දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම සහ තිරසර ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීම.

● මහජනයාගේ පරිභෝජනයට ප්‍රමාණවත් පරිදි රට තුළ අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනයට දේශීය කෘෂිකර්මාන්තයට පහසුකම් සැළසීම මගින් ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා වැයවන මුදල අඩුකර ගැනීම.

● කෘෂිකර්මාන්තය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකසා රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය සහනයන් ගොවිජනතාව වෙත ලබාදීම.

● නාස්තිය දූෂණය හා රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.

ඊට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු තැන, නැවත සියම් මහා නිකායේ අස්ගිරි මල්වතු, රාමඥ සහ අමරපුර ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේලාගේ එකමුතුවන් සහ අත්සනින් යුත් යෝජනාවලි ඇතුළත් නිවේදනයක් “රට තුළ උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීමට ක්‍රියාත්මක වීම සම්බන්ධවයි..” මැයෙන් අප්‍රේල් හතරවැනි දින ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කළහ.

සිය බලතල ප්‍රකාරව ජනපති විසින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හැර වත්මන් ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳව සවිඥානික හා සබුද්ධිමත් මණ්ඩලයක් විසින් සිදුකරන කාලීන පාලනයකට රට බාර දිය යුතු බවට යෝජනා කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම ලිපියක් යොමුකර තිබිණි.

කරුණු හයකින් සමන්විත මෙම යෝජනා මාලාව මගින් රටේ ආර්ථික හා සමාජීය වටපිටාව යහපත් වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාව විසින් සිය පරමාධිපත්‍ය තහවුරු කරනු ලබන ආණ්ඩුවක් කරගන්නා ගන්නා ලෙසද මහනාහිමිවරු යෝජනා කර තිබිණි. එම කරුණු හය මෙසේය.

  1. ජනපතිතුමන් විසින් සිය බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍ය තුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතුය.
  2. රටේ ආර්ථික හා සමාජීය වටපිටාව යහපත් වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාව විසින් සිය පරමාධිපත්‍ය තහවුරු කරනු ලබන ආණ්ඩුවක් කරගන්නා තෙක් ජනතා අභිලාෂයන් ඉටු කළ හැකි ජනතා විශ්වාසය කඩ නොකළ ජනතාව කෙරෙන් ප්‍රතික්ෂේප නොවූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ඡන්ද, ද්වේෂ, භය හා මෝහ යන සතර අගතියෙන් තොර වත්මන් ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳව සවිඥාණික හා සබුද්ධිමත් මණ්ඩලයක් විසින් සිදුකරන කාලීන පාලනයකට රට භාර දිය යුතුය.
  3. එකී අන්තර්කාලීන මණ්ඩලයට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශයන් ලබාගැනීමට විශේෂඥ උපදේශක මණ්ඩලයක් පත්කර ගත යුතුය.
  4. එකී විශේෂඥ මණ්ඩලය විසින් යෝජනා කරනු ලබන අන්තර්කාලීන පාලන වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට පක්ෂ නායකයන්ගේ එකඟත්වයෙන් පක්ෂ දේශපාලනයෙන් තොරව ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියාත්මක කළ යුතුය.
  5. ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂඥ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා විනිවිදභාවයකින් යුක්තව විධිමත්ව සිදුවන බව නිරන්තරයෙන් පසුවිපරම් කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් විය යුතු අතර එකී ක්‍රියාවන් අධිකරණයේ ප්‍රශ්න කිරීමට යටත් විය යුතු අතර විධිමත් විගණනයට භාජනය කර මහජනතාවගේ දැන ගැනීම පිණිස කලින් කලට ප්‍රසිද්ධ කළ යුතුය.
  6. මෙම කාලය තුළ එම පාලන තන්ත්‍රයේ නියමුවා ලෙස එකී මණ්ඩලයේ සාමූහික තීන්දු රණවලට අනුගතව ක්‍රියාත්මක වීමට ජනාධිපතිතුමන් බැඳී සිටිය යුතුය.

ගරුතර මහා සංඝරත්නයේ ප්‍රසාදය හා ආශිර්වාදය මධ්‍යයේ මෙරට රාජ්‍ය නායකත්වයට පත්වූ ඔබතුමන් මහා සංඝරත්නයේ මෙම සාධනීය යෝජනා මාලාව කෙරෙහි කඩිනම් අවධානය යොමුකරනු ඇතැයි අප අපේක්ෂා කරමු. මෙම සමාජ ආර්ථික අර්බුදයන් කඩිනමින් විසඳා සෞභාග්‍යමත් ආර්ථිකයක් තුළ ජන ජීවිතය සුඛිත මුදිත කරමින් සුරක්ෂිත දේශයක් බිහි කරන්නට ඔබතුමන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය ලැබේවා..” යැයිද මල්වතු පාර්ශ්යේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබිණි.

ඊටද කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. එහෙයින් ත්‍රෛනිකායික හිමිවරු මහනුවර මල්වතු උපෝෂතාගාරයේදී වරුවක සාකච්ඡාවක් පැවැත්වූයේ අප්‍රේල් එකොළොස්වැනිදාය. මේතාක් ආගමික නායකයන්ගේ බසට අවනත නොවන ජනනායකයන් පිළිබඳව ඍජුව තීරණයක් ගත යුතු යැයි පුළුල් සාකච්ඡාවක් එහිදී පැවැත්වූ උන්වහන්සේලා නැවතත් රජයට බලකරමින් දැනුම් දීමක් කරන්නට තීරණය කළහ. මේ අවස්ථාවේ සාකච්ඡාවේ තීරණ ඍජු බවට තොරතුරු එළිබැස ඇති බැවින්දෝ සාකච්ඡාව අතරතුර ජනාධිපති ලේකම්වරයා විසින් “රටේ ඇතිව තිබෙන වත්මන් අර්බුදය විසඳා ගැනීම සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පෙර ලබාදුන් සාධනීය යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර එකී යෝජනා අනුව කටයුතු කිරීමට අවශ්‍ය ජනපතිවරයා කටයුතු කරමින් සිටින බවට ලිඛිතව දැනුම් දී තිබිණි.

ඊට නැවත පිළිතුරු සැපයූයේ, ත්‍රෛනිකායික ලේකම් හිමිවරුන්ය.. මල්වතු මහ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල, අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ ලේඛකාධිකාරී මහචාර්ය පල්ලේකන්දේ රතනසාර, රාමඤ්ඤ මහ නිකායේ මහ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අත්තංගනේ ශාසනරතන යන නාහිමිවරු ත්‍රෛනිකායික ලේකම් ධුර හෙබවූහ. උන්වහන්සේලා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් කොට තිබිණි.

“දේශයේ සුරක්ෂාවත් මහජනයාගේ යහපැවැත්මත් අභියෝගයට ලක්වූ සෑම අවස්ථාවකදීම රාජ්‍ය පාලනය උදෙසා මාර්ගෝපදේශ සැපයීම මහාසංඝරත්නය වෙත ඓතිහාසිකව පැවරී ඇති වගකීමකි. ඒ අනුව ත්‍රෛනිකායික මහානයක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මහනුවර මල්වතු මහ විහාරයට රැස්ව රටේ පවත්නා අර්බුද පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට යෙදුනහ.

පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් ලෙස රට තුළ පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදයන් පිළිබඳ මනා අවදිමත් භාවයකින් යුතුව ඒ සඳහා පැහැදිලි විසඳුම් ඉදිරිපත් කරනු ඇතැයි මහා සංඝරත්නය වශයෙන් අපි අපේක්ෂා කළද ජනතාවට සහන සැලසීම පසෙකලා ජනතා අභිලාෂයන් නොසලකා හැර වගකීම් විරහිතව මහජන නියෝජිතයන් කටයුතු කළ ආකරය පිළිබඳ ත්‍රෛනිකායික මහාසංඝරත්නය වෙනුවෙන් අපගේ දැඩි කනගාටුව පළකර සිටිමු…”

ඒ එකදු යෝජනාවකට හෝ රජයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එහෙයින්ම, නැවතත් ඉකුත් අප්‍රේල් විසි වැනිදා බදාදා ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රබල ලෙස දැනුම් දීමක් කළහ.

“රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකර තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේලා මෙවර කියා සිටියහ.

රට තුළ පවත්නා වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා මහජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් ජනාධිපතිවරයා වෙත අප්‍රේල් මස 4 වෙනි දින යොමු කළ ද එකී යෝජනා මාලාව පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව අපගේ සංවේගය පළ කරමු යැයි මහනාහිමිවරු මෙවර කියා සිටියහ.

ජනතාව මුහුණ දෙන උග්‍ර ජීවන අර්බුද පිළිබඳව මෙන්ම දිවා රෑ දෙකෙහි අව් වැසි නොතකා පෝළිම්වල රැඳී සිටීමෙන් මියැදෙන ජනතාව කෙරෙහි තවදුරටත් අසංවේදීව කල් මරමින් හා වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් සමස්ත රටවාසීන් අත්විඳින පීඩාව සම්බන්ධව රටේ රාජ්‍ය නායකයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුම වගකිව යුතු යැයිද උන්වහන්සේලා අවධාරණය කළහ.

තවදුරටත් සමස්ත දේශපාලන යාන්ත්‍රණයේම අවධානය යොමු කරවනු පිණිස පහත කරුණු දක්වා සිටි මට උන්වහන්සේලා පියවර ගෙන තිබිණි. කරුණු හතරකට කැටි කළ එම තීරණ මෙසේය.

  1. එම අර්බුද කෙරෙහි සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම තුළින් එකී අර්බුද කිසිසේත්ම නොවිසඳෙන බව අපි තරයේ විශ්වාස කරමු.
  2. මේ වන විට විවිධ උද්ඝෝෂණ හා පෙළපාලිවලට සම්බන්ධ වෙමින් ජනතාව සිදුකරන සාමකාමී හා නීතිගරුක විරෝධතාවලට සවන් දී ජනතාව වෙත කඩිනම් සහන සැලසීමට කටයුතු කළ යුතු අතර ජනතා විරෝධතා මර්දන ක්‍රියාවලියෙන් වැළකී සිටින ලෙස තරයේ ප්‍රකාශ කරමු. එසේම අප්‍රේල් මස 19 වැනි දින මහජන විරෝධතා අතරතුර පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව අපගේ සංවේගය පළ කරන අතර නැවත එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් රට තුළ නිර්මාණය නොවීමට වගකීම් සහගතව රජය ඇතුළු සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බව අපි අවධාරණය කර සිටිමු.
  3. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අසමතුලිතතාවක් නිර්මාණය කොට රට තුළ දේශපාලනික විකෘතිතාවක් ඇති කිරීමට හේතුවූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට දහනම වන ව්‍යවස්ථාවේ ඇතුළත්ව තිබූ සාධනීය කරුණු ඇතුළත් කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සියලු මහජන නියෝජිතයන් කටයුතු කළ යුතුය.
  4. රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට මෑතකාලීනව රට පාලනය කළ සියලුම රජයන් වගකිව යුතුය. එහෙයින් මේ තීරණාත්මක මොහොතේ අමාත්‍ය, මන්ත්‍රී මෙන්ම නිලධාරි වරප්‍රසාද මහජන සුබසාධනය වෙනුවෙන් කැප කොට රටේ මහජන දේපල අන්සතු නොකොට ප්‍රමුඛතාගත සංවර්ධන සැලැස්මකට අනුව රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිමු.

මහානායක ස්වාමින්වහන්සේලා මෙසේද කියා සිටියහ. “දේශයේ සුරක්ෂාව සහ සමෘද්ධිමත් භාවය උදෙසා මහජනයා විසින් සිදු කළ යුතු කැපකිරීම් අත්‍යන්තයෙන්ම සිදුකර ඇත. දැන් උදාවී ඇත්තේ මහජන නියෝජිතයන් ලෙස මහජන සුබසිද්ධිය උදෙසා සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු මොහොතකි. එහෙයින් මේ අර්බුදකාරී අවස්ථාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පීඩාවට පත් සමස්ත මහජනයා පිළිබඳව සංවේදීව රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුම එක්සත්ව එක්සිත්ව සිය පූර්ණ දායකත්වය ලබාදීමට කැප විය යුතුය.

ඉතා නුදුරේදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කිරීමට අපි අදහස් කර ඇත්තෙමු. ඉහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදී ව රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවට ද මෙයින් අවධාරණය කර සිටිමු.”

සංඝ සම්මුතියක් යනු සියලු සංඝයා වහන්සේලා එක් වී ගනු ලබන තීන්දු තීරණය. සංඝ සම්මුතියක් බලාත්මක වන අවස්ථාවකදී පාලකයා හෝ පාලන තන්ත්‍රය කරනු ලබන කටයුතු භික්ෂූන් වහන්සේලා විසින් පිළිනොගනී. පාලකයා හෝ පාලන තන්ත්‍රය සමග ත්‍රෛනිකායික සංඝරත්නය කිසිදු සම්බන්ධතාවයක් ද පවත්වන්නේ නැත. එපමණක්ද නොව පාලකයාට හෝ පාලන තන්ත්‍රය වෙත අවවාද දීම උපදෙස් දීම හෝ හමුවීමට අවස්ථාවක් පවා සංඝරත්නය විසින් ප්‍රතික්ෂේප කරනු ලබති.

රජයේ සමග සංඝරත්නයේ අවසන් මීළඟ තීරණය එයය.

බොහෝ පිරිස් සංඝ ආඥාව සහ සම්මුතිය පටලවාගෙන සිටිති. ආඥාවක් යනු නියෝගයකි. යම් හෙයකින් සංඝරත්නය විසින් සංඝ ආඥාවක් පනවනු ලබන්නේ භික්ෂුන්වහන්සේලා ශාසනික විරෝධී හෝ විනය විරෝධී කටයුත්තක් සිදුකරන විට පනවන ලද විනය කර්මයකි. ආඥාවේ සහ සම්මුතියේ වෙනස අහසට පොළව මෙනි.

ශ්‍රී ලංකාව මේ පාලනය කරන්නේ හත්වැනි විධායක ජනාධිපතිවරයා විසිනි. දැන් ලංකාවට හතේ හත වැදී තිබේ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේ නොවැම්බර් 18 වැනි දින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එතැන්හිදී ඔහු ජනතාව ඉදිරියේ සපථ කොට සිටියේ,

“මම මේ රටේ විධායක ජනාධිපතිවරයායි…

මම මගේ රටට ආදරය කරනවා..

මම මගේ රට ගැන ආඩම්බර වෙනවා..

මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා..

අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යය දේශයක් ගොඩනැඟීමට එක්වන ලෙස සියලුම දේශප්‍රේමී ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා…” කියාය.

දේශප්‍රේමී ජනතාවක් දැන් ඒකරාශී වී සිටී. එතැන සිටින්නේ හැටනව ලක්ෂයක ජනතාව පමණක් නොවේ. සියලු ආගමික නායකයන්, සියලු රටවැසියන් දැන් එක රොදට පෙළ ගැසී සිටී. එහෙත් ඊට නායකත්වය ලබා දෙන නායකයාට සිය සෞභාග්‍ය දැක්මේ පුළුල් දැක්ම දැකගන්නට නොහැකි වී තිබේ. තමන් වටා රොද බැඳ සිටින කකුලෙන් අදින දීන කොල්ලකරුවන් එය ඔහුට අවබෝධ කර ගන්නට ඉඩක් තබා නැත. එහෙයින්ම සෞභාග්‍ය දැක්මෙහි අන්තර්ගතය ජනතාවට ඒත්තු ගන්නට නොහැකි වී තිබේ.

මේ සියල්ල හමුවේ පොදුවේ සියලුම ආගමික නායකයන් අත්වැල් බැඳ පෙරමුණ ගත යුතු බව විශ්වාස කරන ජනතාව, හිතුවක්කාර තීරණ මත වළපල්ලට යන රටක අමිහිරියාව නතර කරන්නට පාරට බැස තිබේ. දැන්වත් මේ සියල්ලෙහි බරපතළ බව ජනනායකයාට දැනේවා..!

● සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment