ආණ්ඩුවට එරෙහිව විරෝධය අවසන් වූයේ විපක්ෂයට විරෝධයක් වෙලා

106
  • එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

රටේ තියන තත්ත්වයත් එක්ක යම්කිසි දේශපාලන කණ්ඩායමක් වාසි ගන්න හදනවා නම් ඒකට විශාල ජනතා විරෝධයක් එල්ලවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව පැවති විරෝධය අවසන් වූයේ විපක්ෂයට විරෝධයක් ලෙස යැයිද ඒ මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය විවෘත කිරීම නිමිත්තෙන් ඉකුත් 03 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති උත්සවයේදී ඒ මහතා මේ බැව් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.

රටේ ආර්ථික තත්ත්වයත් එක්ක ජනතාව විශාල පීඩනයකට ලක්වෙලා. ඔවුන්ගේ පරමාර්ථය තමා රටේ ආර්ථිකය ගොඩනගා ගන්න අතට මුදල් ටිකක් එන විදිහට තමන්ගේ දරුවන්ගේ අනාගතය යහපැවැත්ම උදෙසා මේ රට ගොඩගන්න එක. මේ වෙලාවේ පක්ෂවල සියලුදෙනාම එකතු වෙන්න ඕන මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න. මේ වගේ දේවල්වලින් වෙන්නේ තවදුරටත් රට අරාජික වෙන එක විතරයි. සියලු දෙනාම රට ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා එකතු වෙන්න ඕනේ අවස්ථාවක් මේක. මේ මොහොතේ වාසි ගන්න නෙමෙයි හදන්න ඕනේ. වාසි ගන්න අයට තමයි මේ විදිහට රටේ ජනතාව විරෝධය දක්වන්නෙ.

එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා –

එක්සත් ජාතික පක්ෂය පහුගිය කාලයේ යම් පසුබෑමකට ලක් වූ බව සැබෑවක්. ඒ වුණාට අපේ නායකතුමාට හැකියාවක් ලැබුණා, එක් මන්ත්‍රී ධුරයක් තියාගෙන මේ රටේ ජනාධිපති වරයා විදිහට පත් වෙන්න. ඊළඟ මැතිවරණයේදී මේ රටේ කිසිවෙකුට තනියෙන් ආණ්ඩු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පොදු සන්ධානයක් විදිහට තමයි මොන ආණ්ඩුවක් වුණත් හැදෙන්නේ. ඒකෙ ප්‍රමුඛ පක්ෂය බවට අපි එක්සත් ජාතික පක්ෂය පත් කරගන්න ඕන. ඒක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ.

අපි පක්ෂය සංවිධානය කිරීම දැන් ආරම්භ කරන්න ඕන. අපේ පක්ෂයට තමයි ඓතිහාසික අයිතිය සහ ඓතිහාසික මුහුණුවර තියෙන්නෙ. කිසිම කෙනෙක්ට භාරගන්න බැහැ කියපු රට එක්සත් ජාතික පක්ෂය භාර ගත්තා. දැන් අභියෝගවලට මුහුණ දෙමින් පියවරෙන් පියවර ජනාධිපතිතුමා ඉදිරියට යනවා. අපිට ඕන තරම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි එක්සත් ජාතික පක්ෂය විදියට අපිට ුම්බඑසඑහ එක වැඩිය නැති වුණාට අපේ කොලිටි එක වැඩියි. මේ පක්ෂයේ ඉන්නේ කොලිටි මිනිස්සු. කොලිටි මතවාදයක් අපිට තියෙන්නෙ. ඒ වගේම ලෝකය පිළිගත් නායකයෙක් විදිහට කැමති වුණත් නැතිවුණත්, එකම නායකයා විදියට අපේ ජනාධිපතිතුමා මේ රටේ පිළි අරගෙන ඉවරයි.

අපි දැන් නැවත මේක සංවිධානය කරනවා. සංවිධාන ශක්තිය අපිට තියෙනවා. නියෝජ්‍ය නායකතුමා, අපි හමෝම එකතුවෙලා මේක ඉදිරියට ගෙන යා යුතුයි. 94 න් පස්සේ අපිට නොලැබිච්ච රාජ්‍ය නායකත්වය අද අපේ පක්ෂයට ලැබිලා තියෙනවා. ඒක අපට ශක්තියක්. ඒ වගේම ඉදිරියේදී මැතිවරණ නිසි කලට නිසි ලෙසට පවත්වාවි.

අපි ජයග්‍රහණය කරන වෙලාවෙදි තමයි මැතිවරණය එන්නේ. අපිට හොඳ තරුණ නායකයෝ ටිකක් ඉන්නවා. අතීතයේ අපිට විරුද්ධ වෙච්ච විවිධ කඳවුරුවල හිටපු අය වෙන්න පුළුවන්. ඒ අය හැමෝම ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළත් එක්ක මේ වෙලාවේ එකතුවෙලා ඉන්නවා. ඒක නිසා ඉදිරියේදී කොහොමටත් යන්න තියෙන ගමනේ හැම කෙනෙක් එක්කම යන්න වෙනවා. ඒ ගමනට අවශ්‍ය මාධ්‍ය මෙහෙවර මේ මාධ්‍ය ඒකකයෙන් සිදුවෙයි කියන එක විශ්වාස කරනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment