ආණ්ඩුවට එරෙහි ජාජබ  තෙදින පා ගමන ඊයේ  කළුතරට ළඟා වෙයි

118

‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’ යන තේමාවෙන් යුතුව ජාතික ජන බලවේගය ඊයේ (17දා) උදේ 9.30 ට පමණ බේරුවල නගරයෙන් ආරම්භ කළ තෙදින පා ගමන ඊයේ (17දා) දහවල් 2.00 ට පමණ කළුතර නගරයට ළඟාවූ අතර දහස් සංඛ්‍යාත ජනතාවක් ඊට එක්වී සිටියහ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛi නලින්ද ජයතිස්ස, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නන්දන පද්මකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ පා ගමනට එක්ව සිටියහ.

පාගමනේ යෙදෙන පිරිස වෙනුවෙන් කළුතර නගර ශාලාව අසළ භූමියේ දිවා ආහාරය සූදානම් කර තිබූ අතර එක් එක් දිස්ත්‍රික්ක වශයෙන් පැමිණි පිරිසට පහසුකම් සැලසීමට වෙන වෙනම කූඩාරම් සූදානම් කර තිබුණි.

පැමිණි පිරිස ඉතා සුහදව හා සාමකාමීව කළුතර නගර සභා භූමියේ ගිමන් හරිමින් දිවා භෝජනය ලබා ගන්නා ආකාරය දැක ගත හැකිවිය. දිවා ආහාරයෙන් පසුව ඊයේ (17දා) සවස නැවත පා ගමන ආරම්භ කර වාද්දුව තෙක් ගමන් කිරීමට නියමිතව තිබුණි.

පා ගමනේ දෙවැනි දිනය හෙට (18 වැනිදා) වාද්දුවෙන් ගමන් ආරම්භ කිරීමටත් තුන් වන දිනය වන 19 වැනිදා කොළඹට ළඟාවීමටත් නියමිතව තිබුණි.

සටහන හා ඡායාරූප – කළුතර විශේෂ – එස්. ආරච්චිගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment