ආණ්ඩුවට එරෙහි ප්‍රධාන සාක්ෂිකරු ජනක රත්නායකයි – වාසු කියයි

308

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ගෙන එන පාර්ලිමේන්තු විවාදය අවසානයේ දී සැබෑ ලෙසම විත්තිකරු වන්නේ මෙම ආණ්ඩුව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (22දා) පැවසීය. ජනක රත්නායක යනු ආණ්ඩුවට එරෙහි ප්‍රධානම සාක්ෂිකරු යැයි ද හෙතෙම එහිදී කීවේය. ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ගෙනෙන යෝජනාව ජනතා ස්වාධිපත්‍යය පැහැර ගැනීමක් යැයි ද වාසුදේව මහතා කීවේය.

මහජනයා ගසාකෑමට විදුලිබල මණ්ඩලය ගත් පියවර වැළැක්වීමට ජනක රත්නායක ගත් උත්සාහය ආණ්ඩුවට ලොකු රිදීමක් වී ඇතැයි පැවසූ නානායක්කාර මහතා ආණ්ඩුවට ගැතිකම් නොකිරීමේ වරදට ජනක රත්නායකට දඬුවම් දීමට සූදානම් වන බව ද සඳහන් කළේය. ආණ්ඩුවට වුවමනා මහජන උපයෝගිතා කොමිසම තමන්ගේ අතවැසියකු කර කරගැනීමට යැයි ද ඔහු කීවේය. නමුත් රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් ජනතාවට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස මැනවින් ඉටු කළේ යැයි ද හෙතෙම පැවසීය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව මේ මස 24 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මගින් කොළඹ මහජන පුස්තකාලයේ දී ඊයේ සංවිධානය කර තිබූ වැඩමුළුවක් අමතමින් වාසුදේව නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඇතුළු තවත් බහුජන සංවිධාන නියෝජිතයෝ රැසක් මෙහිදී අදහස් දැක්වූහ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment