ආණ්ඩුවට දින හතක් කල් දෙනවා… වැඩ වරති රට නවතී

723

‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ තේමාව යටතේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වතු වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවකගේ ලක්‍ෂ සංඛ්‍යාත සේවකයන් ඊයේ (28 දා) ආරම්භ කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් මුළු රටම අකර්මණ්‍ය වී තිබුණි.

වැඩවර්ජනයේ නිරත පිරිස් නිවාඩු වාර්තා කර නිවෙස්වල සිටම හෝ සිය ආයතන ඉදිරිපිට විරෝධතා දැක්වීම වෙනුවට ඊයේ (28 දා) දිනයේදී දැවැන්ත විරෝධතා සංවිධානය කර ආණ්ඩුවට ගෙදර යන ලෙසට සටන් පාඨ කියමින් බලකරන අයුරු දක්නට ලැබිණි.

ආණ්ඩුවට දින හතක් කල් දෙනවා... වැඩ වරති රට නවතී

වර්ජනය සඳහා තැපැල් විදුලිය, වරාය, අධ්‍යාපන, ප්‍රවාහන, වතු, බැංකු, සංවර්ධන නිලධාරී, කම්කරු දෙපාර්තමේන්තු, ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු ක්‍ෂේත්‍ර රැසකම පිරිස් එක්වී සිටියහ.

ඊයේ (28 දා) ආරම්භ කළ වැඩවර්ජනයෙන් පසු දින 7 ක් තුළ ආණ්ඩුව බලයෙන් ඉවත් නොවුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කළ බව එහි සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට පැවසීය.

ආණ්ඩුවට දින හතක් කල් දෙනවා... වැඩ වරති රට නවතී

වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති සන්ධානයේ නායකයන් සමග එහි සාමාජිකයන් විශාල පිරිසක් ඊයේ (28 දා) දහවල් සටන් පාඨ කියමින් ටෙක්නිකල් හන්දියේ සිට ගාලුමුවදොර 20 වැනි දිනටත් පැවැත්වෙන ‘නිර්පාක්‍ෂික’ විරෝධතාවයට සහය පළ කිරීම සඳහා එම ස්ථානයට ගමන් කළහ. වැඩවර්ජනය හේතුවෙන් රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට පැමිණි පිරිස් දැඩි අපහසුතාවට පත්වී සිටියහ.

වැඩවර්ජනය පැවැත්වුවත් දුම්රිය ගමන් වාර 4 ක් පමණක් ඊයේ (28 දා) දහවල තෙක් ගමන්කර තිබූ අතර ලංගම බස් රථ 4700 කට අධික සංඛ්‍යාවක් ධාවනය සඳහා එක්කර තිබූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක වන බවට දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණත් දුමරිය වර්ජනයක් සිදු නොවන බවට විෂය භාර ඇමැතිවරයා ප්‍රකාශ කිරීම නිසා දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මහජනතාව මහත් අපහසුතාවට පත්ව සිටියහ. විශේෂයෙන් දුම්රිය ගමන්වාර වේලාසනින් වෙන්කරවාගෙන සිටි මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටියහ. බස් රථ ධාවනය වුව ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් දක්නට නොලැබුණි.

ආණ්ඩුවට දින හතක් කල් දෙනවා... වැඩ වරති රට නවතී

කටුනායක, ජාඇල, බියගම, කොග්ගල, අනුරාධපුරය ඇතුළු වෙළෙඳ කලාපවල සේවකයෝ වැඩවර්ජනයට සහය පළ කරමින් වැඩවර්ජනයේ නිරතවී සිටියහ. කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයන් ඇවරිවත්ත ප්‍රදේශයේ සිට විරෝධතා පාගමනක් ද ආරම්භ කර තිබුණි. බොහෝ තරුණ පිරිස් ද වැඩවර්ජනයට සහය පළ කරමින් නගර රැසකම කළු කොඩි ඔසවා ‘ගෝඨා ගෝ හෝම්’ වැනි සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධතා දැක්වීමට කටයුතු කර තිබුණි.

ආණ්ඩුවට දින හතක් කල් දෙනවා... වැඩ වරති රට නවතී

වතුපිටිවල හා මල්වත්ත අපනයන සැකසුම් කලාපවල සේවකයන් නුවර-කොළඹ මාර්ගයට පැමිණ විරෝධතාවය දැක්වීම නිසා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇතිවී තිබුණි. අනුරාධපුර විරෝධතාවය පවතිද්දී ඥානක්කා නමැති කාන්තාව පදිංචි නිවස අසල දැඩි පොලිස් ආරක්‍ෂාවක් ද සපයා තිබූ අයුරු දක්නට ලැබුණි.

වැඩවර්ජනයට සහය දක්වමින් ආර්ථික මධ්‍යස්ථාන වසා තිබූ අතර නගර රැසකම කඩ සාප්පු වසා දමා වැඩවර්ජනයට සහය පළ කරමින් පැවැති අතර කොළඹ කොටුවේ වෙළෙඳ ප්‍රජාව ද කඩ සාප්පු වසා දමා විරෝධතා පාගමනක් ද, සංවිධානය කර තිබුණි. වතුකම්කරුවෝ ද වැඩවර්ජනයට සහය දක්වමින් වැඩවර්ජනයේ නිරතව වතු ආශ්‍රිතව විරෝධතා දැක්වූහ.

වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුවද වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බව වරාය සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා පැවසීය. සේවකයන් සඳහා සේවයට පැමිණීමට ප්‍රවාහන පහසුකම් සැපයූ බව ද ඔහු කීය.

චමින්ද සිල්වා, සුජිව තත්සර සහ ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment