ආණ්ඩුවට මනාපයට ඡන්ද තියන අලුත් න්‍යායක් ඇවිත් – ජී. එල්. කියයි

71

රජය තීරණය කළොත් පමණක් මැතිවරණ පැවැත්විය හැකි කාලවකවානු තීරණය කළ හැකි බවට අලුත් න්‍යායක් මෙරටට හඳුන්වා දී ඇතැයි නිදහස් ජනතා සන්ධානයේ සාමාජික හිටපු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියාසිටියේ නිදහස් ජනතා සන්ධානයේ මාතර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්‍ෂකයන් සඳහා පෙරේදා (18 දා) පැවැති විශේෂ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

මෙම න්‍යාය පූර්වාදර්ශයක් කර ගනිමින් ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්විය හැකි ද යන්න පවතින රජයන්වලට තීරණය කළ හැකි බව ද පීරිස් මහතා කීය.

2023 නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයකු පත්කර ගත හැකිය. රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගත් ජනාධිපතිවරයෙක් නොවෙයි. ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉතිරි කාලය සඳහා පත්කර ගත් ජනාධිපතිවරයෙක් පමණයි” යැයි ද පීරිස් මහතා කීවේය.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් වියදම් කළ යුතු බවත්, එසේ නොවන දේ සඳහා මුදල් වියදම් කළ නොහැකි බවට චක්‍රලේඛයක් නිකුත්කර ඇති බවත් කී පීරිස් මහතා මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය නැද්ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසන බවත් කීය. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මැතිවරණ දිනනවා කියලා හිතනවා නම් මැතිවරණ පැවැත්වීමටත්, පරාජය වනවා කියලා හිතනවා නම් මැතිවරණ නොපැවැත්වීමටත් තීරණය කිරීමක් යැයි ද ඒ මහතා පැවසීය.

මේ රටේ ජනතාව බදු ගෙවීමට සූදානම් බවත්, එම බදු මුදල් කොල්ලකන්න කටයුතු කර එකිනෙකාගේ සාක්කුවලට යනවා නම් එයට එරෙහිව පාරට බහින්න වුවමනා බවත් ඒ මහතා කීය. රටේ සිදුවන ලොකුම වංචාවක් ලෙස ගල්අඟුරු වංචාව සිදුවන බවත් ඒ ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සාමාජිකයන්ගෙන් දෙදෙනෙක් වූ අලි සබ්රි සහ විජයදාස යන ඇමැතිවරුන් දෙදෙනා ඉන් ඉවත් වූ බවත් පීරිස් මහතා කීය. එසේ ඉවත් වූයේ අනුකාරක සභාවට සත්‍ය තොරතුරු ලබා නොදෙන බව පවසමින් බවත්, එවැනි සභාවකට සත්‍ය තොරතුරු ලබා නොදී ජනතාවට සත්‍ය තොරතුරු ලබාදෙයි යන්න විශ්වාස කළ නොහැකි බවත් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment