ආණ්ඩුවට රුපියල් නැත, රටට ඩොලර් නැත, මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඇත

316

මන්ත‍්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන පළමුවන දිනයේදීම වාහන බලපත‍්‍රය ලබාගත හැකිය. අවශ්‍ය නම් වාහන බලපත‍්‍රය ලබාගත් දිනයේදීම ඉල්ලා අස්විය හැක. ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් 2010 දී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිව්රුම් දුන් හිටපු විගණනකාධිපති වූ එස්. සී. මායාදුන්නේ මන්ත‍්‍රීවරයකු ලෙස දිව්රුම් දුන් දිනම ඉල්ලා අස්විය. ඒ පරාජිත ජවිපෙ අපේක්ෂකයකුට තම අසුන දීමටය. මායාදුන්නේ පසුව ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුව කාර්ය මණ්ඩලය අදාළ වාහන බලපත‍්‍රය දුන් බවත් තමන් එය ප‍්‍රතික්ෂේප කළ බවත්ය. වාහන බලපත‍්‍රය ඡුන්ද ව්‍යාපාරයේ කොටසක් බවට පත්වී ඇත. අවසන් වරට පැවැත්වූ මහ මැතිවරණයේදී කොළඹින් තරග කළ මදුර විතාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන් වාහන බලපත‍්‍රය ලබා නොගන්නා බවට ලිඛිතව පොරොන්දු විය. රටේ නීතිය සහ මූල්‍ය වගකීම පැවරී ඇති පාර්ලිමේන්තුවට නීති අදාළ නැත. පාර්ලිමේන්තුව පත්වාගෙන යෑමට අවශ්‍ය ඝනපූර්ණය නොමැතිව සභාව කල් තැබීමට සිදුවන්නේ ඒ නිසාය. පසුගිය බදාදා ද (පෙබරවාරි 23) ඝනපූර්ණය නැති විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වරප‍්‍රසාද ගොන්නකට හිමිකම් කියයි. එම වරප‍්‍රසාද අතර විශේෂ වරප‍්‍රසාදයක් වන්නේ තීරු බදු රහිත සැප වාහනයක් ආනයනය කිරීමට පාර්ලිමේන්තුව හරහා නිකුත් කරන බලපත‍්‍රයයි. ශ‍්‍රී ලංකාවේ පළමුවන විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් මන්ත‍්‍රීවරයකුට තීරු බදු රහිත වාහනයක් ආනයනය කිරීමේ අවස්ථාව පසුව ජාවාරමක් බවට පත්විය.

දැනට ක‍්‍රියාත්මක 1978 දී හඳුන්වා දුන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට පත්වූ මහජන නියෝජිතයන්ගේ අති බහුතරය තමන්ට හිමිවූ වාහන බලපත‍්‍රය විකුණා ඇත. එවැනි බලපත‍්‍ර කීපයක් විකුණූ මහජන නියෝජිතයන්ද සිටිති. ඒ සැම මහමැතිවරණයකින් පසුවම එම අවස්ථාව උදාවන නිසාය. මන්ත‍්‍රීවරුන්ට ලැබෙන මෙම වරප‍්‍රසාදය සෑම පක්ෂයක්ම කිසිදු හිරිකිතයකින් තොරව අවභාවිතා කරයි.

මෑතකදී මන්ත‍්‍රීවරුන්ට හිමි තීරු බදු බලපත‍්‍රය සම්බන්ධයෙන් නැවතත් අවධානය යොමු වූයේ වරාය සහ නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන සුව සේවා වර්ජනයට නායකත්වය දෙන පිරිමි නර්ස් නෝනා කෙනකු එජාප ජාතික ලැයිස්තුවෙන් පත්වීම නිසා තමන්ට හිමිවූ සැප වාහන බලපත‍්‍රය රුපියල් කෝටි 6 කට (රුපියල් ලක්ෂ 600 කට) විකුණා දැමූ බවට කළ චෝදනාවත් සමඟය. අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ එම ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණියේ දින 5 කට පමණක් බවයි. ඇමැතිවරයා කිසිදු නමක් සඳහන් නොකළත් පාර්ලිමේන්තුවේදී කළ එම චෝදනාව එල්ල වූයේ සමන් රත්නප‍්‍රියටය. මෙම ලියුම්කරු හිටපු මන්ත‍්‍රීවරයාගෙන් පොහොට්ටු පක්ෂයේ කළුතර ප‍්‍රබලයා කළ චෝදනාව සම්බන්ධයෙන් රත්නප‍්‍රියගෙන් විමසීය. අනෙකුත් මහජන නියෝජිතයන් මෙන්ම තමන්ද පාර්ලිමේන්තුව හරහා නිකුත් කළ අදාළ බලපත‍්‍රය විකුණා දැමූ බව රත්නප‍්‍රිය පිළිගත්තේය. නමුත් රුපියල් කෝටි 6 කට එම බලපත‍්‍රය තමන් විකුණූ බවට අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය හිටපු මන්ත‍්‍රීවරයා දැඩිව ප‍්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තු බලපත‍්‍රය කෝටි 6 කට විකිණීමට නොහැකියි. බලපත‍්‍රයක වටිනාකම රුපියල් කෝටි 2 ත් 3 ත් අතර බවට සැකයක් නැත.

අබේගුණවර්ධන අමාත්‍යවරයාද එලෙස තමන්ට ලැබුන වාහන බලපත‍්‍රය විකුණා ඇත. එහි සැකයක් නැත. ක‍්‍රියාත්මක නීති රාමුව තුළ එසේ කිරීම වරදක් නැත. ඒ බලයේ සිටින සහ බලයට ඒමට කැස කවන පක්ෂවල ස්ථාවරයයි.

ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවෙන් නිකුත් කරන බලපත‍්‍රයක වටිනාකම කොපමණද? ආණ්ඩුවට රුපියල් නැත. රටට ඩොලර් නැත. අතිශය අර්බුදකාරී තත්ත්වයට ප‍්‍රධානතම හේතුව ආණ්ඩුවට රුපියල් සහ රටට ඩොලර් අහේනිය බව කිහිප විටක්ම අවධාරණය කළේ කැබිනට් සාමාජික නීතිඥ උදය ගම්මන්පිලය. නමුත් එතුමන්ද තමන් ගෙන්වූ තීරු බදු රහිත වාහනය විකුණා ඇත. තිත්ත ඇත්ත එයයි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඕනෑම ක‍්‍රියාවක් සාධාරණීකරණය කළ හැක. අවභාවිතව භාවිතාව වේ.

මහජන නියෝජිතයන්ට සහ තෝරාගත් කණ්ඩායම්වලට ඉවක් බවක් නැතිව තීරු බදු සහන ලබාදීම ශ‍්‍රී ලංකාවට ඉහිලිය හැකිද? වර්තමාන මූල්‍ය අර්බුදයට බදු සහන ලබාදීම බලපාන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විශේෂ විමර්ශනයක් කළ යුතුය.

සමස්ත රාජ්‍යතන්ත‍්‍රයටම නීති නැවීම පුරුදුය. නීති නමන්නේ මහජන නියෝජිතයන් පමණක් නොවේ. රාජ්‍ය සේවකයන් සහ විශ‍්‍රාමික රාජ්‍ය සේවකයන්ද නීතියට පිටින් ක‍්‍රියාත්මක වේ. පොහොට්ටු රජය කොවිඞ් ව්‍යසනය නිසා පැනවූ වාහන තහනම නොතකා විශේෂ බලපත‍්‍ර ලාභීන් බෙන්ස්, බී. එම්. ඩබ්ලිව්., ජගුවර් ඇතුළු වාහන 300 කට අධික ප‍්‍රමාණයක් 2020 මුල් කාලයේදී ආනයනය කිරීම අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකාවේ නීතියක් නැති බවයි. මුදල් අමාත්‍යාංශය වාහන ආනයනය කිරීම නැවත දන්වනතුරු තහනම් කිරීමෙන් පසුව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වාහන ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කරන්නේ කෙලෙසද ?

තීරු බදු රහිත වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව මහජන නියෝජිතයන්ට සහ තෝරාගත් කණ්ඩායම්වලට දීම අර්බුදයක් නොවේ. නමුත් බරපතළ ප‍්‍රශ්නය තමන්ට හිමි තීරු බදු සහනය අනෙකෙකුට ලබා දීම මගින් රටට විශාල බදු අදායමක් අහිමි කිරීමයි. ජවිපෙ හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ මෙම වාහන කෙළියේ යෙදේ. තම නමට ආනයනය කරන සැප වාහනය ඇත්ත වශයෙන්ම එම බදු මුදල ගෙවා වාහනයක් ආනයනය කිරීමට මූල්‍යමය ශක්තියක් ඇති අයකුට ලබා දෙයි. එමගින් රජයට හිමිවන බදු අහිමි කරයි. සමන් රත්නප‍්‍රිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස 2020 පෙබරවාරි පළමුවන සතියේ දිව්රුම් දුන්නේය. ඒ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න 2020 ජනවාරි පළමුවන සතියේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීමටය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්ව සිටියේය. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ආචාර්ය වික‍්‍රමරත්නගේ හිස්තැනට සුව සේවක රත්නප‍්‍රිය පත් කළේය. එජාප නායක වික‍්‍රමසිංහ 2020 අගෝස්තු පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය 2021 ජුනි වනතුරු හිස්ව තබා ගත්තේය.

ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රබලයකු වූ ආචාර්ය වික‍්‍රමරත්නට අවශ්‍ය වූයේ රත්නප‍්‍රිය මෙන්ම සිවිල් ක‍්‍රියාකාරිකයකු වූ චමීර පෙරේරාට තම මන්ත‍්‍රී අසුන පිරිනැමීමටය. නමුත් එජාපය එවකට සුව ඇමැති වූ රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍ර චතුර සේනාරත්නගේ මැදිහත්වීම මත රත්නප‍්‍රියව එජාප ජාතික ලැයිස්තුවෙන් පත් කළේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව 2020 මාර්තු පළමුවන සතියේ විසිරුවා දමන විට රත්නප‍්‍රියට හිමි තීරු බදු රහිත බලපත‍්‍රය ඔහුට ලැබී හමාරය.

එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳව උපදේශක ලෙස කටයුතු කළ ආචාර්ය වික‍්‍රමරත්න එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ක‍්‍රියාත්මක ආකාරය නොවේද? නීති විශාරදකයකු වූ එතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණීම විමසා බැලිය යුතු කාරණාවකි. කුමන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීම ලැබුනත්, ආචාර්ය වික‍්‍රමරත්නට ද තීරු බදු වාහනයක් විකිණීමේ අවස්ථාව හිමිවිය. ආචාර්ය වික‍්‍රමරත්නට අමතරව එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හකීම් සහ සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදුරුදීන්ගේ සගයන් දෙදෙනකු යහපාලන සමයේදී ඉල්ලා අස්විය. ඔවුන් දෙදෙනා වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ දෙදෙනාටද වහාම තීරු බදු සහනය හිමිවිය. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අපූරුවට ක‍්‍රියාත්මකය. රත්නප‍්‍රිය තමන්ට ලැබුන වාහන බලපත‍්‍රය විකුණා ඇති බවට පොහොට්ටු පක්ෂයට මතක් වී ඇත්තේ ඔහු සුව සේවක වර්ජනය මෙහෙයවන නිසාය. තොරතුරු දැන ගැනීමේ පනත ප‍්‍රකාරව නීතිඥ නගානන්ද කොඩිතුවක්කු 2015 අගෝස්තු මහමැතිවරණයෙන් පසුව ශ‍්‍රී ලංකා රේගුවෙන් මහජන නියෝජිතයන් තීරු බදු රහිතව ගෙන්වූ වාහන පිළිබඳව තොරතුරු ඉල්ලා සිටියේය. ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය. සටනකින් පසුව නගානන්ද රේගුවෙන් ලබාගත් ලියැවිල්ල මහජන නියෝජිතයන් තීරු බදු රහිත වාහන ආනයනය කිරීම සහ වෙනත් පාර්ශ්වයකට පැවරීමට අදාළ සියලූ තොරතුරු හෙළි කළේය. තීරු බදු කෙළිය අපූරුය. 2015 දී පාර්ලිමේන්තුවට පත්වූ බොහෝ මන්ත‍්‍රීවරුන්ගේ තේරීම මිට්සුබිෂි මොන්ටෙරෝය. ආනයනය කර ඇති සෑම වාහනයකටම රුපියල් කෝටි තුනක් පමණ බදු සහනයක් ලැබී ඇත. එම ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියල්ලම පාහේ සිටිති. ඒ අතර යහපාලන මුදල් අමාත්‍යවරු වූ රවී කරුණානායක සහ නැසීගිය මංගල සමරවීර ද වෙති. රජයේ ආර්ථික සහ කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තිය විවේචනය කිරීම නිසා පසුගිය ජනවාරියේදී අධ්‍යාපන රාජ්‍ය ඇමැති ධුරය අහිමි වූ සුසිල් පේ‍්‍රමජයන්ත ද විය. කිහිප විටක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා තීරු බදු රහිත වාහන ගෙන්වීමේ බලපත‍්‍ර ගණනාවක් ලබාගත් හිටපු ලංකා බැංකුවේ සේවකයකු වූ නීතිඥ පේ‍්‍රමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමෙන් පසුව අමාත්‍යාංශයෙන් පිටව ගියේ ත‍්‍රිරෝද රථයකිනි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ආනයනය කර ඇති වාහනයට ලැබී ඇති බදු සහනය රුලියල් කොටි 41/2 පමණය. විමල් විරවංශ, උදය ගම්මන්පිල, අතුරෙලියේ රතන හිමි මෙන්ම වාසුදේව නානායක්කාර ද එම ලැයිස්තුවේ සිටිති. කවුරු බලයේ සිටියත් රජය බදු ආදායම් මාර්ග අහිමි කර ගැනීම බරපතළ ප‍්‍රශ්නයකි. වර්තමාන රජයට ඩොලර් නොමැතිව කඳුළු සැලීමට සිදුවී ඇත්තේ දශක තුනක් පමණ බලයේ සිටි සියලූම ආණ්ඩු අනුගමනය කළ වැරදි, අර්බුදකාරී ක‍්‍රියා පිළිවෙත නිසාය.

රුපියල් කෝටි දෙකකට වඩා වැඩි මුදලක් උපාය ගැනීමට අවස්ථාව ලබාදෙන වාහන තීරු බදු බලපත‍්‍රය දේශපාලන පක්ෂ අතර සමස්ත ගනුදෙනුවේම කොටසකි.

ඞීසල්, පෙට‍්‍රල්, ගෑස්, කිරිපිටි, භූමි තෙල් පෝලිම්වල රස්තියාදු වෙන ජනතාව ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක අතිශිය දූෂිත දේශපාලනයේ වින්දිතයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පාර්ලිමේන්තුවට ඇතුළු වන සැප වාහන ගොන්න නැවත නැවතත් අවධාරණය කරන්නේ ජනතාවට කිසිදු දේශපාලන පක්ෂයකින් අවශ්‍ය රැකවරණය නොලැබෙන බවයි.

ශ‍්‍රී ලංකාවට ඞීසල් සහ පෙට‍්‍රල් ගෙන ආ නැව් කොළඹට නුදුරු මුහුදේ ‘රස්තියාදු’ වන්නේ මහා බැංකුව අවශ්‍ය ඩොලර් සපයා ගන්න තෙක්ය. මෑතකදී තෙල් නැවක් දින 11 ක් එලෙස රස්තියාදු විය. එලෙස වූ බව බලශක්ති ඇමැති ගම්මන්පිල ද පිළිගනී. ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීම ශ‍්‍රී ලාංකික දේශපාලනයේ ලක්ෂණයක් නොවේ. නමුත් ගම්මන්පිල අමාත්‍යවරයා වර්තමාන මුදල් අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම අගය කළ යුතුය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොමිසම පාර්ලිමේන්තුව හරහා ස්ථාපිත කළ සැනින් රටට ඩොලර් ගලා එන බවට අද පොහොට්ටු පක්ෂය පවසන්නේ නැත.

ඇත්ත වශයෙන්ම පොහොට්ටු පක්ෂයට කට උත්තර නැත. ආණ්ඩුව පවසන පරිදි නිසි ලෙස තෙල් සැපයුම සිදු නොවේ. කොළඹ ඇතුළු ප‍්‍රධාන නගර සියල්ලම අවහිර වීමට හේතුව තැනින් තැන ඞීසල් සහ පෙට‍්‍රල් පෝලිම් නිසාය. ගම්මන්පිල අමාත්‍යවරයා පැය එකහමාරක් විදුලිය කැපීමට යෝජනා කළවිට ඊට විරුද්ධ වූ මහජන උපයෝගීතා කොමිසම පසුගිය සතිය වනවිට එක වරකට පැය පහකට ආසන්න කාලයක් විදුලිය කැපීම සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරයි. සමස්ත ආර්ථිකයම අනතුරේය.

ගම්මන්පිල අමාත්‍යවරයා පසුගිය 22 දා අවස්සාවෙල්ලේ පැවති පිවිතුරු හෙළ උරුමය හමුවකදී පොහොට්ටු කැබිනට් මණ්ඩලයට බරපතළ චෝදනාවක් කළේය. කොවිඞ් ව්‍යසනයෙන් බැටකන ශ‍්‍රී ලංකාවට බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව තමන් කැබිනට් මණ්ඩලයට 2021 පෙබරවාරි 15 දින අනතුරු ඇඟවූ බව ගම්මන්පිල හෙළි කර ඇත. කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය සුසිල් පේ‍්‍රමජයන්තට තම රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි කළ දෙල්කඳ පොළේ කතාවට වඩා බරපතළය. කැබිනට් මණ්ඩල අමාත්‍යවරයා කළ අනතුරු ඇඟවීම නොසලකා හරියේ මන්ද? එලෙසෙම 2021 ජුලි 18 දින ජනාධිපති මන්දිරයේ දී ගම්මන්පිල සහ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් නැවතත් කළ අනතුරු ඇඟවීම නොසලකා හැරියේ මන්ද?

ජනාධිපති මන්දිරයේදී එදින රැස්වූයේ පොහොට්ටු මන්ත‍්‍රී කණ්ඩායමයි. ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරු කළ අනතුරු ඇඟවීම නම සඳහන් නොකළ ඇමැතිවරයකු ප‍්‍රතික්ෂේප කළ බවත්, සමස්ත පාර්ලිමේන්තු කණ්ඩායමම පාහේ අමාත්‍යවරයාගේ ස්ථාවරය සමඟ එකඟවූ බවත් ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත. ආණ්ඩුව එම අනතුර ඇඟවීම නොසලකා හැරීම විමසා බැලිය යුත්තේ ආර්ථිකය බරපතළ ලෙස දුර්වල වී ඇති අවස්ථාවක මන්ත‍්‍රීවරුන් 225 ටම තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කිරීමයි. වගකීමෙන් කටයුතු කරන ආණ්ඩුවක් සැප වාහන මෙවැනි අවස්ථාවක මන්ත‍්‍රීවරුන්ට ආනයනය කරන්නේ නැත. පොහොට්ටු ආණ්ඩුවට වගකීමක් නැත. අග‍්‍රාමාත්‍ය කාර්යාලය පසුව මෙම තීරණය බල රහිත කළේය. ඉතිරි වසර තුනේදී ද ආණ්ඩුව වැරදි, අඩුපාඩු නිවැරදි කරගැනීමට උත්සහයක් ගන්නා බව පෙනෙන්නට නැත. මූල්‍ය අර්බුදය සමස්ත ආර්ථිකයම අඩපණ කර ඇති බව තවමත් තේරුම්ගන්නේ නැත. ඒ තත්ත්වය බරෑරුම් බව පිළිනොගන්නා නිසාය. හදිසියේ කෘෂි පොහොර සහ වල් නාශක ආනයනය කිරීම තහනම් කිරීම මහ කන්නය විනාශ කළ බව පිළිගැනීමට තවමත් සූදානම් නැත. ළඟ එන යල කන්නයට පෙර අවශ්‍ය තීන්දු තීරණ ගැනීම කළ යුතුය. චීන කාබනික පොහොර තොගයක් ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කර, ඊට අදාළ ගෙවීම අධිකරණ නියෝගයකින් නැවත්වීම තුළ පුපුරා ගිය අර්බුදය කාටත් අමතකය. ආපසු හරවා යැවූ නැවට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ගෙවීමට සිදුවූයේ දිලිඳු ශ‍්‍රී ලංකාවට ය. කාබනික පොහොර තොගයට අදාළ ගෙවීම නැවත්වීම නිසා චීනය මහජන බැංකුව තහනම් කළේය. එම තහනම ඉවත් කළේ ඩොලර් මිලියන 6.7 ගෙවීමෙන් පසුවය. චීන පොහොර අර්බුදය විස`දීමට ඉන්දියාවෙන් දියර පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් තවදුරටත් කතා කර වැඩක් නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment