ආණ්ඩුවට වෙට්ටු දමා මහ බැංකුව මට්ටු කරන මොනවද මේ ‘උන්ඩියල්’

5251

මේ වන විට රටේ අර්ථිකය ගෙඩිය පිටින්ම බිඳ වැටී අවසන්ය. ජනතාව කරන්නේ කුමක්ද සහ ජීවත් වෙන්නේ කෙසේද යන්න සිතාගත නොහැකි තැනකට පත්ව සිටන්නාහ. ඒ අතරේ විදුලිය නැත. ඉනධන නැත. ගෑස් නැත. අවශ්‍ය කරන කිසිම හත්ඉලව්වක් ලෙහෙසියෙන් ලබාගත නොහැකිය. හැම දෙයකටම පෝළිම්වල ලඟින්නට රටේ ජනතාවට සිදුව ඇත්තාහ.

ආණ්ඩුව කියන්නේ සියල්ලට හේතුව ඩොලර් හිඟකම කියාය. පවතින ඩොලර් හිඟය යම් තරමකින් හෝ මඟහරවා ගනු පිණිස පසුගිය කාලයේ ආණ්ඩුව නොකළ දෙයක්ද නැත. එහෙත් ඒ සෑම දෙයකම අවසානය සටහන් වූයේ ආසාර්ථකත්වයේ හිනපෙත්තටම ළඟා වීමෙන් පසුවය.

විදේශ සම්පේ‍්‍රෂණ බැංකු පද්ධතිය හරහා රට තුළට ගෙන්වා ගැනීමේ උපක‍්‍රමයක් ලෙස විදේශ ශ‍්‍රමිකයන් ලංකාවට ඩොලර් එවීමේදී ඒ සඳහා වැඩි මුදලක් ලබා දෙන බව වරක් මහ බැංකුව නිවේදනය කරනු ලැබීය.

එහෙත් බැංකු පද්ධතිය හරහා ලැබුණු මුදලක් නැත. එසේ වුවද පිටරටවල සේවය කරන ශී‍්‍ර ලාංකිකයන් සිය පවුලේ ඥාතීන්ට එවන මුදල් ඒ ආකාරයෙන්ම ඔවුන් ලැබීම අඛණ්ඩව සිදුවිය. එසේ වූයේ උණ්ඩියල් සහ හවාලා ක‍්‍රම ඔස්සේ මුදල් ලංකාවට එවීමට විදෙස් ශ‍්‍රමිකයන් කටයුතු කළ නිසාය.

එහිදී ආණ්ඩුව ලබාදෙනවාට වඩා වැඩි මිලක් ඩොලරයක් සඳහා ලබා ගැනීමටද විදේස් ශ‍්‍රමිකයන්ට හැකි විය. එම තත්ත්වය තුළ පසුගිය කාලයේ පමණක් නොව බොහෝ කාලයක සිට ආනයන අපනයන වෙළෙඳාමේදී පවා හවාලා සහ උණ්ඩියල් සරණංගච්ඡා මි කියන තැනට බොහෝ දෙනා පත්ව සිටියහ.

මේ කියන හවාලා සහ උණ්ඩියල් යනු කුමක්ද? ලොව ඕනෑම රටක සිටින්නකුට ශී‍්‍ර ලංකාවේ සිට මුදල් යැවීමට හා විදේශයක සිටින අයකුට ශී‍්‍ර ලංකාවේ පුද්ගලයකු වෙත මුදලක් එවීමට ඇති සුපිරිම කළු කඩය ලෙස මේ කියන හවාලා සහ උණ්ඩියල් පෙන්වා දිය හැකිය. පසුගිය දිනවල මෙරටට පැමිණි ඇතැම් විදේශ සංචාරකයන්ද සිය ඩොලර් මාරුකර ගත්තේ මේ කියන හවාලා සහ උණ්ඩියල් කළුකඩ හරහාය.

හවාලා යනු ආරාබියේ වදනකි. උණ්ඩියල් දෙමළ භාෂාවෙන් හවාලා ක‍්‍රමයට කියන වදන වේ. දෙකෙන්ම කෙරෙන්නේ එකම කාරණය ය. පැහැදිළිවම කිවහොත් මේ දෙකම නීති විරෝධී ජාවාරම් වේ. එමඟින් සිදුවන කි‍්‍රයාදාමය කොතෙක් බරපතළද කිවහොත් කිසියම් ආර්ථික අවපාතයකදී රටක විදේශ සංචිත තත්ත්වය පවා සලිත කිරීමට අද වන විට හවාලා සහ උණ්ඩියල් ජාවාරම ප‍්‍රබල වී තිබේ. ඕනෑම රටක ආර්ථිකයට එය දරාගත නොහැකිය.

එම තත්ත්වය මේ වන විට ශී‍්‍ර ලංකාව තුළදී දැකගත හැකිය. සියලූම උපක‍්‍රම අවසානයේ විදේශ සංචිත වෙනුවෙන් රුපියල පාකර හරින තැන දක්වා වත්මන් රජය ගමන් කිරීමට එක් ප‍්‍රබල කරුණක් බවට පත්වූයේද මේ හවාලා සහ උණ්ඩියල් ජාවාරමය.

මෙම ජාවාරම තුළින් රටකට එල්ල වන තර්ජනය එතැනින් නතර වන්නක්ද? නැත. හවාලා සහ උණ්ඩියල් යනු රටක ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන්නකි. එල්ටීටීඊය පරාජය කළ අවසන් සටනේදී මෙනේම ඊට පෙර සිටද බුද්ධි අංශ මගින් ඒ බව තහවුරු කරගනු ලැබීය.

එහිදී එදා එල්ටීටීඊය විසින් කොළඹට එවන ලද මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන්ට සිය ඉලක්කය ගන්නා තුරු රැඳී සිටීමට අවැසි මුදල් එවනු ලැබුවේ මේ ක‍්‍රමයට ය.

ඇතැම්විට එසේ මුදල් ලැබුණේ විදේශ රටවලිනි. මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදීන් ඇතුළු දකුණේ කි‍්‍රයාත්මක වූ එල්ටීටීඊ ත‍්‍රස්තයන් වෙත උතුරේ සිට ඒ අකාරයට මුදල් එවන ලද අවස්ථාද බුද්ධි අංශ මගින් අනාවරණය කරගනු ලැබීය.

එල්ටීටීය පමණක් නොව අල්කයිඩා, අයිඑස් වැනි ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කල්ලි අතරද මෙම හවාලා සහ උණ්ඩියල් ක‍්‍රමය බොහෝවිට භාවිත කෙරන බව පසුගිය කාලයේ අනාවරණය වී තිබිණි.

එකල එල්ටීටීඊය විසින් විදේශ රටවලටද හාවාලා සහ උණ්ඩියල් ක‍්‍රමයට මුදල් යැවූ බවද හෙළි වී තිබුණි. ඇතැම් විට අවි අයුධ ලබා ගැනීම සඳහා එම මුදල් හුවමාරු සිදු වූවා විය හැකිය.

මෙකී උණ්ඩියල් සහ හවාලා ජාවාරම පිළිබඳ අපූරු හෙළිදරව්වක් කරගැනීමට වරක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙරට කුඩු ජාවාරම පිළිබඳව සිදු කළ සූක්‍ෂම විමර්ශනයකදී සමත් විය.

මීට වසර හත අටකට ඉහතදී ඒ වන විට විදේශයකට පැන ගොස් සිටි මෙරට මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වූ මොහොමඞ් සිද්ධික් පිළිබඳව සිදු කළ විමර්ශනයකදී එම සොයා ගැනීම සිදුවිය. එකල සිද්ධික් තොග පිටින් ලංකාවට කුඩු පොම්ප කළේය. එම මත්කුඩු තොග බෙදී ගියේ ලංකාව තුළය. අලෙවි කෙරුණේද මෙරට කුඩු ලෝලීන්ටය. එහිදී සිද්ධික් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් ඇරඹූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඔහුගේ කුඩු ජාවාරමට පහර පිට පහර දෙන්නට විය.

එහෙත් විදේශගතව සිටින සිද්ධික් විශාල තොග වශයෙන් ලංකාවට එලෙස කුඩු එවනු ලැබුවද එම මත්කුඩු තොග සඳහා මුදල් ගෙවනුයේ කෙසේදැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ගැටලූවක් විය. අවසානයේ ඒ සම්බන්ධයෙන් සූක්‍ෂම විමර්ශනයක යෙදුණු එකල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධික්ගේ කුඩු තොග සඳහා මුදල් ලෙස පකිස්තානයට යන්නේ බුලත් සහ පුවක් තොග බව හෙළි කරගනු ලැබීය.

බියගම ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් බුලත් පුවක් අපනයනය කරන ස්ථානයක් මගින් එය සිදුව තිබුණු අතර එම බුලත් පුවක්වලට සරිලන ලෙස පාකිස්තානයේදී සිද්ධික්ගේ කුඩු තොග වෙනුවෙන් මුදල් ලබාදීම සිදුව තිබිණි.

අදටත් මෙරට තුළ කි‍්‍රයාත්මක මත්කුඩු ජාවාරමේදී මුදල් හුවමාරු වන්නේ හවාලා සහ උණ්ඩියල් ජාවාරම ඔස්සේය. පානදුර සලිඳුගේ කුඩු සල්ලි වත්තල ප‍්‍රදේශයේ සිට කි‍්‍රයාත්මක වූ දෙමළ ජාතික උණ්ඩියල්කරුවකු හරහා ඩුබායි වෙත යවා තිබෙන බව ඉකුත්දා නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන සිදුකරන විමර්ශන කොට්ඨාසය මගින් අනාරවණය කර ගැනීම ඒ බව තහවුරු කිරීමට ඇති උදාහරණයක් ලෙස පෙනවා දිය හැකිය.

අද දවසේ ශී‍්‍ර ලංකාව තුළ හවාලා සහ උණ්ඩියල් ජාවාරම්කරුවන් බවට පත්ව සිටින්නෝ කවරහුද? එම ප‍්‍රශ්නය විමසීමේදී බොහො දෙනකුගේ අවධානය අද යොමු වන්නේ කොළඹ කොටුවේ පිහිටි විදේශ මුදල් මාරු කරන ස්ථාන සහ කොළඹ හෙට්ටි වීදියේ ස්වර්ණාභරණ සාප්පු හිමියන් මෙන්ම කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයන් වෙතටය.

එහෙත් එසේ ව්‍යාපාරයන්හි යෙදෙන සැවොම එවන් ජාවාරම්කරුවෝ නොවෙති. ඒ අතරින් ඇතැම්හු ජාවාරමේ යෙදෙති. මින් කියැවෙන්නේ එකී ව්‍යාපාරයන්හි යෙදී සිටින පිරිස පමණක් මෙරට තුළ හවාලා සහ උණ්ඩියල් ජාවාරමේ යෙදී සිටින බවද? නැත. පැහැදිළිවම ඉන් එහා ගිය ජාලයක් අද මෙම ජාවාරමේ යෙදෙන්නේය.

ඔවුහු ඇතැම් විට සමාජයේ සත්ගුණවත් ධනපතියන් සේ පෙනී සිටින අයවලූන්ය. මේ බොහෝ දෙනකුට විදේශයන්හි තමන්ගේ නමින් කි‍්‍රයාත්මක බැංකු ගිණුම් පවා ඇත. ඒ සිය ජාවාරම පහසු කරවනු පිණිසය. ඇතැම්හු පෞද්ගලිකව වියදම් කරමින් සිය නියෝජිතයන් විදේශ රටවල ස්ථානගත කර ඇත්තාහ.

ඒ සිය ජාවාරම මෙහෙයවනු පිණිසය. මෙම මුදල් හුවමාරු කෙරෙන හවාලා සහ උණ්ඩියල් ජාවාරමේදී ලාභය ලෙස ලැබෙන්නේ කොමිස් මුදලකි. සිය නියෝජිතයකු විදේශයක ස්ථානගත කර එරට තුළ ජාවාරම වෙනුවෙන් කි‍්‍රයාත්මක කිරීමේදී එතෙර සහ මෙතෙර කෙරෙන මුදල් හුවාමාරු කිරීමේදී ලැබෙන කොමිස් මුදල් මුළුමනින්ම ජාවාරම්කරුට හිමිවේ.

සමාජයේ ප‍්‍රකෝටිපති සද්ගුණවත් ධනවතුන් ලෙස පෙනී සිටින මොවුන්ට ඇති සමාජ සබඳතාද රාශියකි. එකී සබඳතා ඔස්සේ උපක‍්‍රමශීලීව හෝ නොමැතිව ගුවන් සේවිකාවන් සහ ගුවන් නියමුවන් වැනි රැකියාවන්හි යෙදෙන්නන්්ද ජාවාරමේ හවුල්කරුවන් කරගැනීමට ඔවුහු සමත්ව සිටිති.

ඇතැම්විට එසේ හවුල්කරුවන් වී සිටින්නෝ ගුවන් තොටුපළ විශේෂ පර්යන්ත ඔස්සේ විදේශගත වීමට හිමිකම් ඇත්තෝද වන්නාහ. එම පිරිස් සමාජයේ ප‍්‍රකට වැදගත් හෝ බලවත් යැයි සැලකෙන චරිත වන බැවින් පරීක්‍ෂා කිරීම් අවම වීම මෙහිදී පහසුවක් වී තිබේ.

ඔබ විදේශයක රැඳී සිටිමින් රැකියාවක නිරත වන්නේම එරට සිට කිසියම් මුදලක් මෙම ජාවාරම් ක‍්‍රමය හරහා ශී‍්‍ර ලංකාවට එවන්නේ කෙසේද? එහිදී සිදු කිරීමට ඇති පළමු කාර්ය වන්නේ හවාලා හෝ උණ්ඩියල් ජාවාරම්කරුවකු මුණුගැසීමය.

එහිදී යැවිය යුතු මුදල සමඟ අදාළ කොමිස් මුදලද ඔබෙන් අයකරගන්නා ජාවාරම්කරු රහස්‍ය අංකයක් සමඟ ශී‍්‍ර ලංකාවේදී මුදල් ගත හැකි ස්ථානයේ ලිපිනය හා දුරකථන අංකයක්ද ලබාදෙනු ඇත. ඉන් පසුව කළ යුත්තේ එම රහස්‍ය අංකය ශී‍්‍ර ලංකාවේ සිටින ඥාතීන් වෙත යැවීම පමණි.

ලැබුණු දුරකථන අංකයට කතා කර අදාළ රහස්‍ය අංකය පැවසීමෙන් පමණක් ඒ අනුව අදාළ මුදල ශී‍්‍ර ලංකා රුපියල්වලින් ලබාගත හැකිය. ඉකුත් කාලයේදී නම් එසේ මුදල් ලබාදීම සිදු කෙරුණේ අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමට යොමු කිරීමෙනි. එය පැරණි ක‍්‍රමයය. දැන් එය සිදු කෙරෙන්නේ අදාළ පුද්ගලයා පැමිණ රහස් අංකය පැවසීමෙන් පසු මුදල් ලබාදීමය. එය ඊටත් එහා ගෙන යමින් මුදල් ලිපිනය විමසා මුදල් නිවසටම ගොස් ලබා දීමට තරම් මේ වන විට ජාවරම්කරුවන් සූක්‍ෂම වී ඇත.

එහෙත් මෙය ඉතා පහසු ක‍්‍රමයක් වුවද සියයට සියයක්ම අනාරක්‍ෂිතය. එසේම ඔබ විසින් උපයන ලද විදේශ මුදල් මෙහිදී ශී‍්‍ර ලංකාවට ලැබෙන්නේ නැත. එය අදාළ රට තුළම රැුෙඳන්නේය. හවාලා සහ උණ්ඩියල් ජාවාරම තුළින් රටක විදේශ සංචිතවලට බරපතළ ප‍්‍රහාරයක් එල්ල කරන තත්ත්වයක් ඇති වන්නේ ඒ අනුවය.

අද ශී‍්‍ර ලංකා මහ බැංකුව නම සඳහන් කරන්නේ රුපියල පා කිරීමට ගත් තීරණයත් සමඟ මෙම හවාලා සහ උණ්ඩියල් ජාවාරමට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බවකි. එහෙත් එය හිතන තරම් පහසු කටයුත්තක් නොවන්නේය. මන්ද මෙහිදී බොහෝ ගනුදෙනු සිදු වන්නේ රට තුළ ඇති බැංකු ගිණුම්වලින් මුදල් ලබා ගැනීමෙන් නොවන නිසාය.

ජාවාරම්කරුවන් නිරන්තරව සිදු කරන්නේ අදාළ ජාවාරමේදී යම් ඕනෑම මුදල් ප‍්‍රමාණයක් ලබාදීම සඳහා තමන් සන්තකයේ මුදල් එකතුවක් තබා ගැනීමය. එනිසා හවාලා සහ උණ්ඩියල් ජාවාරමේ යෙදෙන්නන් එකවරම හඳුනා ගැනීමද අපහසුය.

ශී‍්‍ර ලංකාවේ වලංගු මුදල් හෝ විදේශ මුදල් එසේ නිවසක තබා ගැනීම වරදක් නොවන්නකි. එකී මුදල උපයාගත් අකාරය නීත්‍යනුකූලව හෙළි කළ හැකි නම් යම් පුද්ගලයකු තමන් සතු කොතරම් මුදලක් නිවසක තබාගෙන සිටියද ඔහුට එරෙහිව කළ හැකි කෙංගෙඩියක් කිසිවකුටත් නැත.

එම තත්ත්වය තුළ අද දවසේ සමාජය ඉදිරියේ යහපත් මිනිසුන් ලෙස පෙනී සිටින ඇතැම් මහා ධනපතියන් සහ ව්‍යාපාරිකයන් පවා මෙම ජාවාරමට සම්බන්ධ වී සිටී නම් මහ බැංකුවට කියන තරමට වැඩක් කළ හැකි වනු ඇතිද?

කිසිසේත්ම නැත. ඒ අනුව ඉන් කියැවෙන්නේ හවාලා සහ උණ්ඩියල් යනු කිසිසේත්ම මරා දැමිය නොහැකි අමරණීය ජාවරමක් බව නොවේද?

නිසි ප‍්‍රතිපත්තිවලින් බැහැරව රටක ආර්ථිකය කෙළින් කරන්නට කවුරුන් හෝ වේවා මෙැවනි අමරණීය වූ ජාවාරමක් පසු පස යන්නේ නම් එයට වඩා විහිළුවක් තවත් නැත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment