ආණ්ඩුවට සල්ලිත් නෑ… බැංකුවලට සල්ලිත් නෑ… ඒත් ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕනේ – ඇමැති මහින්ද අමරවීර

98

වී මිල ගොඩක් වැඩිවුණොත් හාල් මිලත් අනිවාර්යයෙන්ම වැඩිවෙනව
පක්ෂයෙ ඉන්න ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයො ටික අපි
ළඟම විසඳුම තමයි ඔක්කොම එකතුවෙලා සර්ව පාක්ෂි ආණ්ඩුවක් හැදීම

රජය විසින් වී මිලදී ගන්නවා යැයි තීරණය කිරීමත් සමග ගොවි ජනතාව සිටියේ ඉමහත් බලාපොරොත්තු දල්වාගෙනය. එහෙත් ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට වී අලෙවි මණ්ඩලය අපොහොසත් වීම නිසා එම වැඩපිළිවෙළ මේ වනවිට අකර්මණ්‍ය වී තිබේ. ඒ නිසා වී ගොවියො දැන් අතරමංව සිටිති. වී මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන අවසන් නැති බව ද විෂය භාර ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ද කියා සිටියේය.
වී මිලදී ගැනීමේ ගැටලුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇතැයි කියන අර්බුදය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා මුණගැසුනෙමු.පහතින් පෙළගැසෙන්නේ ඇමැති මහින්ද අමරවීර මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ඇමැතිතුමා, රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට මේ වෙද්දි මොකද වෙලා තියෙන්නේ…?

පිළිතුර – මීට පෙර තිබුණු වී අලෙවි මණ්ඩලයේ ණය බැංකුවලට නෙගෙවීමේ හේතුවෙන් අපිට තාම අවශ්‍ය මුදල් බැංකුවලින් ලබාගැනීමේ බාධාවක් තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා එකඟ වුණා යම්කිසි මුදල් ප්‍රමාණයක් ලබාදෙන්න. ඒක ලැබුණු විගස වී මිලදී ගැනීම සිදුකරනවා. කවදාවත් වී අලෙවි මණ්ඩලයට 15%ට වඩා වී මිලදී අරගෙන නෑ. වී ගන්නේ පෞද්ගලික අංශය.

ප්‍රශ්නය – මුදල් ලැබෙද්දී මිලදී ගන්න වී තියෙයිද? මොකද මේ වෙද්දි පෞද්ගලික අංශයේ මෝල් හිමියෝ කුණු කොල්ලයට වී මිලදී ගැනීම් සිදුකරන බව කියනවා..?

පිළිතුර – ප්‍රමාදයක් තියෙනවා. කොහොම වුණත් අපට මුදල් ලැබෙන විදිහට තමයි කටයුතු කරන්න වෙන්නෙ.

ප්‍රශ්නය – ඔබතුමන්ල නිසා වී ගොවියා අසරණවෙලා කියනවා. මොකද දැන් ඔවුන්ට සාධාරණ මිලක් ලැබෙන්නෙ නෑ කියනව…

පිළිතුර – නෑ… වී මිල කොහෙවත් අඩුවෙලා නෑ. සමහර දේශපාලන පක්ෂ රු. 90, රු. 80යි කියල කෑගහන නිසා මිල යම් අඩුවීමක් තියෙනවා. මෝල් හිමියන් වී මිලදී ගන්න අඩුවීමට ඒකත් හේතුවක් වුණා. හම්බන්තොට වේලුණු වී කිලෝවක් රුපියල් 120ක මිලට උඩින් තියෙන්නේ. අමු වී වුණත් රුපියල් 115ට වැඩියෙන් තමයි මිලදී ගන්නෙ.

ප්‍රශ්නය – ඔබතුමා තමයි මේ විෂය සම්බන්ධ කැබිනට් ඇමැතිවරයා. වගකිව යුතු ඇමැතිවරයා විදිහට සල්ලි නෑ කියල අතපිහදාගෙන ඉන්න පුළුවන්ද?

පිළිතුර – ඕක අදාළ වෙනව 2018 වගේ වුණා නම්. ඒ කාලයෙත් මාස ගාණක් මම කෘෂිකර්ම ඇමැති විදිහට හිටිය. මේ වෙලාවෙ අපි කවුරුත් තේරුම් ගන්න ඕන ආණ්ඩුවට කියල සල්ලිත් නෑ, බැංකුවලට සල්ලිත් නෑ. අනෙක බැංකු පොලිය 25%ට වැඩියි. ඒ නිසා බැංකුවකින් ණයක්වත් කවුරුවත් ගන්නෙ නෑ. පෞද්ගලික අංශයෙන් වුණත් වී මිලදී ගැනීම් අඩුවෙලා තියෙනව බැංකු පොලිය වැඩි නිසා. ගොවියට හොඳ මිලක් ලැබෙන්න ඕන. ඒක ගැන විවාදයක් නෑ. හැබැයි මේ තත්ත්වයන් යටතේ වුණත් තියෙන ධනාත්මක දේවල් මාධ්‍යයෙන් කියන්නෙ නෑ. බලන්න බාල පොහොර කතාව මාධ්‍යයට හොඳ නිවුස් එකක් වුණා. හැබැයි අපි හොඳ පොහොර දෙද්දි ඒක නිවුස් එකක් නෙමෙයි. අපේ මහන්සියෙ ප්‍රතිඵලයක් විදිහට මේ සැරේ හෙක්ටයාර පන්ලක්ෂ දොළොස්දාහක් වැඩ කළා. මාධ්‍යයේ යනව අස්වැන්න අඩුයි, වී මලු දෙකයි තුනයි ලැබුණෙ කියල. ඒත් එන්න අපේ පැත්තෙ මං පෙන්වන්නම් හොඳම අස්වැන්න ලබපු තැන්. ඒ වගේ ධනාත්මක දේවල් මාධ්‍යයට අහුනොවීම කනගාටුදායකයි.

ප්‍රශ්නය – මාධ්‍යයේ වැඩිපුර වැරැදි පෙන්වන්නෙ මේ ආණ්ඩුවේ හොඳ අඩු නිසා නෙමෙයිද?

පිළිතුර – නෑ… හොඳ වැඩ අඩු නිසා නෙමෙයි. මිනිස්සු කැමැති නිසා. කොච්චර හොඳ මාළු තිබුණත් ජාඩි වැඩිපුර කන්න කැමැති කට්ටිය ඉන්නවනේ. ඒ වගේ තමයි ජාඩි රසට කැමැති නරඹන්නො ඉන්නවා.

ප්‍රශ්නය – ආයෙත් අපි මුලට එමු ඇමැතිතුමා. දැන් වෙලා තියෙන්නෙ පෞද්ගලික අංශයත් වී මිලදී නොගැනීම නේද?

පිළිතුර – එතන සමහර විට දේශපාලන වුවමනාවක් තියෙනවා වෙන්න පුළුවන්. සමහර අයට බැංකු පොලිය බලපානවා වෙන්න පුළුවන්. ඒ වගේම විදේශ රටවලින් හාල් ගෙන්වීමත් බලපාල තියෙනව. කවුරුවත් ඒ ගැන කතා කරන්නෙ නෑ. අපේ වී නිෂ්පාදනය වැඩිවෙලා තියෙන වෙලාවක රටින් හාල් ගෙන්වීම නිසා අපේ ගොවියට වුණු දේ ගැන කියපු මාධ්‍ය මොකක්ද? ඒ ගැන කතා කරපු ගොවි සංවිධානයක් ගැන කියන්නකො…? මෝල් හිමියො කොහොද හිටියෙ.

ප්‍රශ්නය – වී වලට ඉහළ මිලක් තමයි ගොවියො ඉල්ලන්නෙ. ගොවියට එහෙම ඉහළ වී මිලක් ගෙවීමෙන් අවසානයේ ඒකෙ බරත් පාරිභෝගිකයාටම ද?

පිළිතුර – වී මිල ගොඩක් වැඩිවුණොත් හාල් මිලත් අනිවාර්යයෙන්ම වැඩිවෙනව. දැන් යන විදිහට නම් එහෙම වැඩිවීමේ අවදානමක් නෑ.

ප්‍රශ්නය – නිදහස් පක්ෂයේ ඇතැම් අයට ඇමැතිකම් නැතිව ඉන්න බැරි රෝගයක් තියෙන බව පක්ෂයේ සභාපතිතුමා පසුගිය දවසක කිව්ව. මේ කියන කාණ්ඩයට ඔබතුමත් අයිතියි නේද?

පිළිතුර – අපිට එහෙම රෝගයක් නෑ. අපි නිදහස් පාක්ෂිකයො විදිහට හැමවිටම එක ස්ථාවරයක හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරල සිරිකොතට ගිහිල්ල හරි, යූඇන්පී යට ගිහිල්ල හරි ආපු අය නෙමෙයිනෙ අපි. මේ පක්ෂයෙ ඉන්න ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයො ටික අපි. බලන්න නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා, කවදාවත් ගිහින් තියෙනවද කියල පක්ෂයෙන් පිට කාත් එක්කවත්. මම, ලසන්ත අලගයවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය එහෙම ගිහින් තියෙනවද? නෑ. එහෙම හැමදාම ඇමැතිකම් බලාගෙන හිටිය නම් මෛත්‍රිපාල මහත්තය ජනාධිපතිවෙලා හිටපු වෙලාවෙ ඇමැතිකම් බදාගෙන හිටියෙ නෑනෙ. යහපාලන ආණ්ඩුවෙ අවසන් අවුරුදු එකහමාරම එළියෙන හිටියෙ. අපි එතුමත් එක්ක ගැටුමකට යන්න තාම සූදානමක් නෑ. මම දේශපාලනයට ඇවිල්ල අවුරුද් 32ක් වෙනව. ඒකෙන් අවුරුදු පහළොවක් විතර මම ඉඳල තියෙන්නෙ ඇමැතිකම් නැතිව. 2004, 2001 යූඇන්පී ආණ්ඩුවට අපිට යන්න තිබුණ. කතා කළා ඇමැතිකම් ගන්න. ජී.ඇල්. පීරිස්, එස්. බී. එදා ගියා. නමුත් අපි ගියේ නෑ. මේ සැරෙත් එළියට යන්න තීන්දු ගත්ත වෙලාවෙ එළියට බැස්ස. අපට පදනමක් නැති විදිහට චෝදනා කරන ඇතැම් අය හොරෙන් හොරෙන් ගිහින් තමන්ගේ වැඩත් කරගන්නව, ඇමැතිකම් ඉල්ලල නොලැබුණාම අපිට චෝදනා කරනව. මම මේ කියන්නෙ පක්ෂයෙ නායකයා ගැන නෙමෙයි.

ප්‍රශ්නය – තාම ගැටුමක් නෑ කියන්නෙ ඉදිරියෙදි එහෙම වෙයි කියන එකද?

පිළිතුර – නෑ… එහෙම නෑ. අපිව තනතුරුවලින් අයින් කළාට අපි තවමත් ශ්‍රී ලංකා එකේ.

ප්‍රශ්නය – ඇමැතිතුමා, හැබැයි පසුගියදා පැවැති බණ්ඩාරනායක ගුණ සමරුවෙදි ඔබතුමන්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගෙ පැත්තට යනවදෝ කියන සැකයත් ආව…

පිළිතුර – නෑ එහෙම නෑ. හැබැයි ඔයගොල්ලො දකිනව වගේ පක්ෂය තියෙන්නෙ කොහෙද කියන එක පාක්ෂිකයන්ටත් ගැටලුවක් තමයි. කොතැනද මන්ත්‍රීවරු ඉන්නෙ, කොතැනද වටිනාකම් තියෙන මිනිස්සු ඉන්නෙ, කොතැනද ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයො ඉන්නෙ කියන එක පේනවා.

ප්‍රශ්නය – යම් හෙයකින් නව ලංකා නිදහස් පක්ෂය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන බවට පෙනුනොත් ඔවුන් හා එක්වීමේ හැකියාවක් ඔබතුමන්ලට තියෙනවද?

පිළිතුර – තවම අපි ඒ වගේ සාකච්ඡාවක් කරල නෑ. අපි බලන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාත්ත්‍රවාදී මාවතට ඇවිත් කටයුතු කරයි කියල. ඒත් පක්ෂය තනි මතයට හෝ එක්කෙනෙක් දෙන්නෙක්ගේ මතයට ගෙනිහිල්ල පක්ෂය විනාශ වෙනව නම් ඒක ඊට පස්සෙ තමයි කතා කරන්න ඕන.

ප්‍රශ්නය – රටම ලොකු ආර්ථික අර්බුදයක ඉන්නෙ, ඔබතුමන්ලත් ඒක කියන වෙලාවක රාජ්‍ය ඇමැතිවරු තොගයක් පසුගිය දිනක දිවුරුම් දුන්න. ඇත්තටම මේ වෙලාවෙ රාජ්‍ය ඇමැති ධුර ඕනමද?

පිළිතුර – ඔව් ඒවා අඩුවෙන්න ඕන තමයි. නමුත් අපි පිළිගන්න ඕන දේ තමයි ජනාධිපතිතුමත් ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඕන. 113ක් නැතිව ආණ්ඩු කරන්න බෑ. රාජ්‍ය ඇමැතිවරු පත්වෙන්න ඒකත් එක හේතුවක්. අනෙක් කාරණය අපි දන්නව අතීතයෙ ඇමැති මණ්ඩලයට 100ක් විතර හිටපු අවස්ථා තිබිල තියෙනව. අනෙක් කාරණය මේ තත්ත්වයට වගකියන්න ඕන විරුද්ධ පක්ෂයත්. ඒ අය ආණ්ඩුවට එන්න ඇවිත් තනතුරු භාරගන්න කියල ආරාධනාවක් තිබුණනෙ. තනතුරු අරගෙන හෝ නොගෙන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වූවා නම් මේ වගේ දේවල් වෙන්නෙ නෑ. දැන් එළියෙ ඉඳන් මේව විවේචනය කළාට වැඩක් නෑ. ඒ අය මේක මගහැරිය. ජනාධිපතිතුමාට යන්න වෙලා තියෙන්නෙ මේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක. විරුද්ධ පක්ෂය කෙල හලහල බලන්නෙ ඉන්නෙ මේ දත ගලවගන්නෙ කොහොමද කියල.

ප්‍රශ්නය – ඔබතුමා කියන විදිහට මේ ආණ්ඩුව යන්නෙ බොහොම අමාරු ගමනක්. හැබයි පෙබරවාරි මාසය මැද වෙද්දි මහ මැතිවරණයකට යන්න පුළුවන්නෙ. විපක්ෂය කියන්නෙත් සැබෑ ජනවරම උරගා බලන්න මැතිවරණයක් තියන්න කියල. ඇතැම් දේශපාලන අභ්‍යන්තර ආරංචි කියන්නෙත් ජනාධිපතිතුමත් පෙබරවාරියෙ මහ මැතිවරණයක් පිළිබඳ ඉඟි පළ කර තියෙන බව. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකක්ද?

පිළිතුර – ඒක පාර්ලිමේන්තුව තමයි තීන්දු කළ යුත්තේ. පාර්ලිමේන්තුව එහෙම තීරණය කරනව නම් අපිට ගැටලුවක් නෑ. හැබැයි මේ ප්‍රශ්නයට ඒක විසඳුමක් වෙයි කියල හිතන්න පුළුවන්ද? එහෙම වෙයි කියල ස්ථිරවම කොහොමද කියන්නෙ. පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් කවුද එන්නේ…

නාග ලියොයි, අර බට්ටොයි ඇච්චොයි ඔක්කොම ටික පාර්ලිමේන්තුවට එයි. එහෙම පාර්ලිමේන්තුව ආයෙත් අච්චාරුවක් වුණාම ආයෙත් ඡන්දයකට යන්නද? එහෙම වුණොත් හැමදාම ඡන්ද තියන්න විතරයි වෙන්නෙ.

ප්‍රශ්නය – ඔබතුමා දශක තුනකට වැඩි දේශපාලන අත්දැකීම් තියෙන පරිණත දේශපාලනඥයෙක්. මොනවද ඔබතුමා දකින විසඳුම් රටේ දැන් තියෙන අර්බුදය උදෙසා.

පිළිතුර – ළඟම විසඳුම තමයි ඔක්කොම එකතුවෙලා සර්ව පාක්ෂි ආණ්ඩුවක් හැදීම. තාමත් ඒකට ප්‍රමාද නෑ. විපක්ෂය සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් පිට හිතල ඒ කියන්නෙ ඊළඟට බලයට එන්නෙ කොහොමද කියන එක ගැන හිතන්නෙ නැතිව එකතුවෙලා වැඩකළ යුතු තැනකට තමයි අපි ඇවිත් තියෙන්නෙ.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment