ආණ්ඩුවත් විපක්ෂයත් පාර්ලිමේන්තුවේ දී  ජනතා අරගලය පාවා දීමට නියමිතයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර ගුණරත්නම්

235

* සමාජවාදය දක්වා යෑමට අපි සංවිධානය වෙමු

* පෙරටුගාමී  මැයි දින රැලිය

ගාලුමුවදොර ජනතා අරගලය පාර්ලිමේන්තුවේ දී පාවා දීමට නියමිත යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර ගුණරත්නම් මහතා එම පක්ෂයේ මැයි දින රැලියේ දී ඊයේ (1 දා) පැවසීය. ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරන ලෙස ජනතාවට ආරාධනා කරන්නේ යැයි ද ඒ මහතා කීවේය.

ආණ්ඩුවත් විපක්ෂයත් පාර්ලිමේන්තුවේ දී  ජනතා අරගලය පාවා දීමට නියමිතයි - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර ගුණරත්නම්

‘පරපුටුවන්ට පරාජය – වැඩ කරන ජනතාවට බලය –

යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය ඊයේ (1දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි.

පෙළපාලිය කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී විහාරමහාදේවී උද්‍යානය දක්වා ගමන් කෙරිණි.

කුමාර ගුණරත්නම් මහතා එහිදී මෙසේ ද කීවේය.

ආණ්ඩුව හදන්නේ ඔළුගෙඩි මාරු කර කර තමන්ගේ බලය රැකගන්න. විපක්ෂය හදන්නේ අරගලයට මුවා වෙලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න. මොවුන් පාර්ලිමේන්තුවේ දී ජනතා අරගලය පාවා දෙනවා නියතයි.

අරගලය පසුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්වද කියලා සමහරු අහනවා. අපි කියනවා කිසිම සැකයක් තියාගන්න එපා, මේ රට පුරා ජනතා අරගලය තුළ සජීවී ලෙස අපි ඉන්නවා කියලා. රටපුරා සටන්කරන තරුණයන්, කම්කරුවන්, ගොවි ජනතාව, ස්ත්‍රීන් නියෝජනය කරමින් අපි ඉන්නවා.

නමුත් අපි දන්නවා මේ ජනතා අරගලයක් සඳහා ජනතාව සූදානම් වූ පමණින් සියලු ජයග්‍රහණ අත්පත් කරගන්න ජනතාවට හැකි වෙන්නෙ නෑ. පාලකයන් ගෙන එන විවිධ නූල් සූත්තර මැද ජයග්‍රහණ අත්පත් කරගන්න නම් වැඩ කරන ජනතාව තමන් අතට බලය ලබා

ගන්න ඕන. පාලකයන් පාලනය කරන, කඩා බිඳ දමන ආර්ථිකය ජනතාව අතට ගන්න සූදානම් විය යුතුයි. ආර්ථිකය මෙහෙයවන, ජවය සපයන වැඩකරන ජනතාව ඒ ආර්ථිකය පාලනය කරන බලය සියතට ගත යුතුයි. ඒ ජනතා බලය වෙනුවෙන් සංවිධානය වෙන්න, ජනතා සභා පිහිටුවන්න, ජනතා බලය සංවිධානාත්මකව ක්‍රියාත්මක කරන්න සූදානම් වන ලෙස අපි මේ රටේ සමස්ත ජනතාවට ආරාධනා කරනවා.

මෙහිදී කතා කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය.

ඉතිහාසය පුරාම වැඩකරන ජනතාව බෙදාවෙන් කරපු, එකිනෙකාට එරෙහිව වෙන් කරපු ධනපති පාලක කණ්ඩායම් අද කම්කරු දිනයක් පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයට පත් වෙලා.

අද පවතින අර්බුදය වෙත කැඳවා ගෙන ගිය රාජපක්ෂ ආණ්ඩුවට ඔවුන්ගේ අන්තේවාසිකයන්ට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය පළමු තැනට ඇවිත්.

අනෙක් පැත්තෙන් මේ රටේ මේ විනාශයට වගකිව යුතු එක්සත් ජාතික පක්ෂයත් කම්කරු දිනයක් තියා ගන්න බැරි තැනක ඉන්නෙ. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් එක්ක විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස දවස් පහක් තිස්සෙ තෙමි තෙමී පයින් ඇවිදිනවා. ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නෙ කොහොමද කියන ප්‍රශ්නය නිසා හොටු පෙරාගෙන පාරවල් ගානෙ ඇවිදිනවා.

එහෙම තතත්වයක් තුළ අපි අද කම්කරු දිනය පවත්වන්නෙ මේ රටේ වැඩකරන ජනතාවගෙ සාමුහික බලය පාලකයන්ට පෙන්වපු තත්ත්වයක.

දැන් අපි මේ අර්බුදයෙන් විසඳුම් කරා යෑමට ජනතාවට යෝජනා කරන කරුණු සම්බන්ධ අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් මුළු මහත් ජන සමාජයම ඉල්ලා සිටින ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව ගෙදර යා යුතුයි. මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන පාලක පන්තිය තවදුරටත් බලයේ තබා ගන්න ජනතාව සූදානම් නෑ.

ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි. අවශ්‍ය වෙන්නෙ ජනමත විචාරණයක් නම් ඒකට යා යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාවගේ මුදල්, රාජ්‍ය දේපළ කොල්ල කෑව, විදේශ රටවල ධනය ඒකරාශී කරපු වංචනික ගනුදෙනු වහා අනාවරණය කරන්නට කටයුතු කළ යුතුයි.

ඒ වගේම ජනතාවගේ ජීවන දුෂ්කරතා සඳහා වහාම සහන ලබා දිය යුතුයි. පාලකයන් විසින් හොරකම් කරපු අරමුදල් ඒ සඳහා යෙදවිය යුතුයි.

ගොවි අරගල ව්‍යාපාරය වෙනුවෙන් විමල් වත්තුහේවා, විප්ලවවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් මංගල මද්දුමගේ, වෙනසක තාරුණ්‍යය සංවිධානය වෙනුවෙන් ලහිරු වීරසේකර, ඒකාබද්ධ ගුරුසේවා සංගමය වෙනුවෙන් සංජීව බණ්ඩාර, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වෙනුවෙන් හේමමාලි අබේරත්න යන මහත්ම මහත්මීහු ද මෙහිදී කතා කළහ.

අනුරාධ හිරිපිටියගේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත්

ඡායාරූප සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment