ආණ්ඩුවේ වැරදි පෙන්වා හයේ පාරක් ගැහුව නිසා ඔහුට මේ දේ වුණා…. හිටපු ජනපති මෛතී‍්‍ර කියයි

355

ආණ්ඩුව නිවැරදි මාවත තෝරාගෙන ජනතා ප‍්‍රශ්න හඳුනාගෙන කටයුතු නොකළහොත් එක රාජ්‍ය ඇමැතිවරයකු අස්කර මේ සිදුවන දේ වළක්වා ගැනීමට නොහැකි වනු ඇතැයි හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කීය.

ආණ්ඩුව නිවැරදි වී හරිදේ නොකළහොත් මේ පිපිරීම් වළක්වාගත නොහැකි වනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට නව වැඩපිළිවෙළකට යොමු වී සිටින බවත් සමහරු තම පක්ෂය ගොඩගැනීමට නොහැකි තැනකට වැටී ඇතැයි සිතා සිටියත් නිදහස් පක්ෂය වත්මන් සන්ධාන ආණ්ඩුවේ ප‍්‍රබලම පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යැයි හිටපු ජනාධිපතිවරයා ඊයේ (04 වැනිදා) සඳහන් කළේය.

2022 වසර ලබලා ඊයේට (04 වැනිදා) දවස් හතරයි. මේ අවුරුද්දේ ඡුන්ද ප‍්‍රතිඵලයක් ලැබුණා. ඒ මම පොළොන්නරුවේ ඉඳලා කාර් එකේ එන අතරෙ තමයි ඡුන්ද ප‍්‍රතිඵලය ලැබුණේ. ගිය සෙනසුරාදා සුසිල් පේ‍්‍රමජයන්ත මහත්තයා පොළේ ගියා. හැම සෙනසුරාදාවකම යනවා වගේ ගිය සෙනසුරාදාත් පොළේ ගියාම මාධ්‍යවේදියෙක් මයික් එක අල්ලලා ඇහුවා කොහොමද ආණ්ඩුව කියලා. සුසිල් පේ‍්‍රමජයන්ත මහත්තයා ඒකට උත්තර දුන්නා. ලොතරැුයියක් එහෙම අරගෙන ආණ්ඩුවට හයේ පහරක් ගහලා ගෙදර ගියා. පැය විසිහතරක් යනකොට අර මම කියපු ඡුන්ද ප‍්‍රතිඵලය නිකුත් වුණා. ජනාධිපතිවරයා විසින් වහා කි‍්‍රයාත්මක වන පරිදි සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිවරයා ඇමැති ධුරයෙන් අස් කෙරුවා.

2022 අවුරුද්ද එක ඇමැතිවරයෙක් පමණක් අස් කරලා සිද්ධ වෙන සිදුවීම් වළක්වා ගන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුණොත්, ආණ්ඩුව හරි දේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප‍්‍රශ්න දුක් වේදනා හඳුනා ගත්තොත් ඔය පිපිරීම් වළක්වා ගන්න පුළුවන් වෙයි.

පොහොර නැතුව ගොවියා විඳින දුක. ඉංගී‍්‍රසි පාලනය තිබූ කාලයෙවත් ගොවියට මේ තරම් වේදනාවක් දුන්නේ නෑ. කෘෂිකර්මය තලලා පෙළලා ගොවියා පාගලා බෙල්ල මිරිකලා. ගොවියාට නැගිට ගන්න බැරි වෙන්නම ඉවර කරලා.

සුසිල්ව අස් කෙරුවා පොළේ ගිහින් කරපු කතාවකට. ලන්සා ඇමැතිවරයා ගම්පහදී ඔයට වැඩිය දරුණු ප‍්‍රකාශයක් කළා. හයේ පහරවල් දෙකක් ගැහුවා. දැන් දින තුන හතරකට කලින්. ලන්සාට අත තියන්නෙ නෑ. මොකද ලන්සා සියල්ල දන්න නිසා. වෙන හේතුවක් නෑ. අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අලූත් වැඩපිළිවෙළකට අවතීර්ණ වුණේ. රට තිබෙන මේ තත්ත්වයෙන් මුදාගන්නටයි.

අපි මේ ආණ්ඩුව හැදුවා. බලයට පත් කළා. පොහොට්ටුවේ ජීර්ණය වෙලා ඉන්න සමහර අය කියනවා හැටනව ලක්ෂය ඒ අයගෙම කියලා. නෑ හැටනව ලක්ෂයම ඒ අයගෙ නෙවෙයි. මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. දේශපාලන පක්ෂ දහතුනක් එකට එකතු වෙලයි සන්ධානය හැදුවේ. ශී‍්‍ර ලංකා පොදුජන නිදහස් සන්ධානය හැදුවේ එහෙමයි. ඒ සන්ධානයේ ප‍්‍රබල පක්ෂය අපියි. පාර්ලිමේන්තුවේ තුන්වැනි ප‍්‍රබලම පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි.

සමහර අය හිතනවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනාශ වෙලා ගොඩගන්න බැරි තැනට වැටිලා කියලා. අපේ පක්ෂය වැටිලා නෑ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බරපතළ කඩා වැටීමට ලක්වුණේ 1978 මැතිවරණයෙදියි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් අපි ඒ මැතිවරණයේදී ආසන අටකට වැටුණා. වසර හැත්තෑවක පක්ෂ ඉතිහාසයේ පක්ෂය ආසන අටට වැටුණා.

අනුර බෝගහවත්ත, මාතලේ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment