ආණ්ඩුවේ අනීතික මර්දනයට සුජාතභාවයක් ලබාගන්නයි මේ පනත ගේන්නේ – ජාතික ජනබලවේගයේ නීතිඥ සංගමයේ නීතිඥ සුනිල් වටගල

80

ඉස්සර කාලේ රජ්ජුරුවෝ නඩු අහන්න සම්බන්ධවුණා වගේ නීතියක් මේක

යෝජිත ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම ආණ්ඩුව අඩියක් පස්සට ගෙන තිබේ. ඒ ඊට මේ වන විට දසතින් විරෝධතා එල්ල වෙමින් තිබෙන නිසා බව පැහැදිලිය. එය යළි කවර හෝ මොහොතක එළියට ඒමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහජනතාවට ලාබා දී තිබෙන පරමාධිපත්‍ය බලය එමගින් උල්ලංඝනය වීමත් සැළකිය යුතු ලෙස ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ වගන්ති එමගින් කඩවීමක් සිදුවෙතැයි මෙම පනත ගැන විරෝධතා දක්වන සෑම පාර්ශ්වයන්ගේම මතය වී ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයද යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනයා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමේ තැනට යන්නේද මෙහි ඇති බරපතළකම සැළකිල්ලට ගනිමින්ය. එබැවින් මෙම කාරණය පිළිබඳව පැහැදිලි කරගැනීමට ජාතික ජනබලවේගයේ නීතිඥ සංගමයේ නීතිඥ සුනිල් වටගල සමග අපි මෙසේ සාකච්ඡාවක නියැලුනෙමු.

මොකක්ද මේ ප්‍රති ත්‍රස්ත පනත ?

ප්‍රති ත්‍රස්ත පනත කියන යෙදුම වැරදියි. ඇත්තටම මේ ඇවිත් තියෙන පනත ප්‍රති ත්‍රස්ත පනත නෙවෙයි. ප්‍රති ත්‍රස්ත පනත ආවේ මීට පෙර වතාවේ රනිල් වික්‍රමසිංහ බලයේ සිටියදී. මේ ඇවිත් තියෙන පනත හඳුන්වන්නෙ ත්‍රස්ත විරෝධී පනත නමින්. දැන් මේකට ප්‍රති ත්‍රස්ත පනත කියල සමහරු පටලවගෙන. නමුත් මේ දෙකේ අඩංගු ඇතැම් නීති කෙටුම්පත් දිහා බැලුවම පේන්නෙ මේ දෙකේ තියෙන්නෙ නම්වල වෙනසක් පමණයි. අඩංගුව එකයි.

මේ ගෙන ඒමට සැරසෙන ත්‍රස්ත විරෝධී පනත, ප්‍රති ත්‍රස්ත පනතට වඩා වෙනස් එකක්ද ?

ප්‍රතිත්‍රස්ත පනතෙම තිබෙන ඇතැම් කොටස් තමයි වෙනත් මුහුණුවරකින් වෙනත් ආකාරයකට මේ ගෙනත් තියෙන්නෙ. හැබැයි ඒත් එක්කම ප්‍රති ත්‍රස්ත පනතේ තිබුණු සමහර කරුණු ඊටත් වඩා වැඩි කරල මේ ත්‍රස්ත විරෝධී පනතට ඇතුළත් කරල තියෙනවා. මේ පනතෙ තියෙන භයානකකම ඒකයි. කිසිම දාක ඉතිහාසයේ නොතිබුණු දැඩි ඒකාධිපති පාලනයකට සරිලන විදියට රාජ්‍ය පාලනය කිරීම සඳහා පහසු වෙන විදියේ නීති මෙහි කෙටුම්පත් කර තියෙන්නෙ.

ත්‍රස්තවාදය දරුණුවටම තිබුණු කාලයේවත් නොතිබුණු විදියේ මෙවැනි ත්‍රස්ත විරෝධී පනතක් ආණ්ඩුව මේ වෙලාවේ ගේන්න හේතුව ?

ආණ්ඩුව මේ වෙලාවේ මේ වගේ දැඩි නීතියක් සම්මත කරගන්න උත්සහ කරන්නෙ හේතුවක් ඇතිව. මොකද මේ රටේ ගොවියන්ගෙන් කම්කරුවන්ගෙන් ශිෂ්‍යයන්ගෙන් සහ වෘත්තීයවේදීන්ගෙන් ආණ්ඩුවට එරෙහිව ඔවුන්ට තිබෙන ප්‍රශ්නත් එක්ක විශාල විරෝධ රැල්ලක් ගොඩනැඟෙමින් එනවා. දැනට තිබෙන ඒ විරෝධය ආණ්ඩුව මර්දනය කර ගන්නෙ පොලිසිය සහ හමුදාව යොදවල. මේ මර්දනයට ඇත්තටම නීත්‍යානුකූල භාවයක් නෑ. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ මර්දනයට නීතිය ඉදිරියේදී සුජාතභාවයක් ලබා ගන්න. ඒකට නීත්‍යානුකූල භාවයක් හදා ගන්න තමයි මේ ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුව ගෙන එන්නෙ.

ඔබ කියන විදියට මොන වගේ මර්දනයක්ද මෙම පනත ගෙන ඒමෙන් සිදුකරන්න හදන්නෙ ?

මම උදාහරණ කිහිපයක් කියන්නම්. කිසියම් සේවයක් ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කරනවා. අපි හිතමු තැපෑල අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කරා කියල. එහෙම තියෙද්දි ගමේ ඉන්න පියුම් මහත්තයාට මොකක් හරි ප්‍රශ්නයක් හින්දා එදා ලියුම් බෙදන එක ප්‍රමාදව ලියුම් බෙදන්න සිදුවෙනවා. බැරි වෙලාවත් ඒ මනුස්සයා වෙනත් දේශපාලන මතයක් දරන මනුස්සයෙක් වුණොත් එයාගෙන් පළිගන්න ආණ්ඩුවට ඒ ප්‍රමාදයම හොඳටම ඇති. ඔහු අත්‍යවශ්‍ය සේවය කඩන්න වැඩ කරා කියල දින අනූවක් තියාගෙන ප්‍රශ්න කරන්න මේ පනත මගින් හැකියාව ලැබෙනවා. අපි හිතමු සෞඛ්‍ය සේවයේ ඉන්න අහිංසක ඇටෙන්ඩන්ට් කෙනෙක්ට තමන්ගේ දරුවෙක්ගේ ප්‍රශ්නයක් මත දිනකදී වැඩට එන්න බැරි වෙනවා. කෙනකුට පුළුවන් වෙනවා මේ ඇටෙන්ඩන්ව මේ පනත යටතේ පටලවල රැඳවුම් භාරයේ තබාගන්න. මේ පනතේ තිබෙන විශේෂ වෙනස්කම තමයි වෙනදා සාමාන්‍ය නීතිය යටතේ පුද්ගලයෙක්ව පැය විසි හතරක් ඇතුළත උසාවියට ඉදරිපත් කිරීම නොකර රඳවා තබා ගැනීමට හැකි වීම. උසාවියට ඉදිරිපත් කිරීමකින් තොරව කෙනෙක්ව ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර තබා ගැනීමට හැකිවීම.

මෙම පනත මගින් වරදක් යන්න පුළුල් ලෙස විග්‍රහ කර තිබීම අතක් පයක් කැඩුවා නම් මිනී මැරීමක් සිදුවුණා නම් එතනදී වරද කියන එක සංස්ථාපනය වෙනවනෙ. නමුත් මේකෙ තියෙන විග්‍රහය අනුව වරද කියන්නෙ එවැනිම ක්‍රියා නෙමෙයි. ආණ්ඩු විරෝධී යම් කිසි රැස්වීමකට සහභාගි වීම නැත්නම් මුහුණු පොතේ හෝ ආණ්ඩුවේ මතයට විරුද්ධ යම් පෝස්ට් එකක් ශෙයා කිරීම, යම්කිසි මතයක් දැරීම පවා වරදක් කියා මෙම පනතේ විස්තර කර තිබෙනවා. එමගින් රාජ්‍ය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ කර යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන දිගින් දිගට ප්‍රශ්න කරන්න පුළුවන්.

දැනටත් දණ්ඩ නීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුවෙනවනෙ ?

දැනට රාජ්‍ය විරෝධය කියන වරදත් එක්ක ක්‍රියාත්මක වෙන්නෙ දණ්ඩ නීති සංග්‍රහයේ 128 වැනි වගන්තිය. ඒක අනුව පුද්ගලයෙක් දණ්ඩ නීති සංග්‍රහයේ 128 යටතේ අල්ලන් ගිහාම මහෙස්ත්‍රාත්වරයෙක් පැය විසි හතරක් ඇතුළත තීරණය කරනවා ඇත්තටම ඔහු රාජ්‍ය විරෝධය යටතේ කටයුතු කළාද නැද්ද කියල. එහෙම කරල නැත්නම් පැය විසි හතරක් ඇතුළත ඒ පුද්ගලයාව එළියට දානවා. දැන් තියෙන නීතිය අනුව සිදුවෙන්නෙ එහෙම. නමුත් මේ නව ත්‍රස්ත විරෝධී පනත මගින් රාජ්‍ය විරෝධය කියන එකට පුළුල් අර්ථකථනයක් දීලා පුද්ගලයෙක්ව ඔවුන්ට හිතෙන තාක් උසාවියකට ඉදිරිපත් නොකර රැඳවුම් භාරයේ තියාගන්න පුළුවන්. ඔන්න ඕකයි මේකෙ තියෙන භයානක කම. ඒ වගේම තමයි කලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් කාටද කියල සඳහන් කර තිබුණා. සාමාන්‍යයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක්ගෙන් උඩ පොලිස් නිලධාරියෙක් තමයි අත්අඩංගුවට ගැනීම සිදුකරන්නෙ. නමුත් මේ පනත අනුව සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරයකුටත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදුකරන්න පුළුවන්. සාමාන්‍ය යුද හමුදා නිලධාරියෙක්ටත් පුළුවන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න. ඒ විතරක් නෙමෙයි වෙරළ ආරක්ෂක භටයෙක්ටත් පුළුවන් කෙනෙක්ව රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කළාය කියල අත්අඩංගුවට ගන්න.

රාජ්‍ය විරෝධය කියන්නෙ කුමක්ද යන්න මේ පනතේ නිශ්චිතව පැහැදිලිව දක්වලා තිබෙනවද ?

ත්‍රස්තවාදියා ත්‍රස්තවාදය කියන්නෙ මොකක්ද කියන එක මේ පනතේ අර්ථකථනය කර නෑ. උදාහරණයක් විදියට විවාහ ආඥා පනතේ නම් විවාහයක් කියන එක මොකක්ද කියල අර්ථකථනය කරල තියෙනවනෙ. මේකෙ එහෙම දකින්න නෑ. වරදවල් ටිකක් විස්තර කරල තියෙනවා, ඒ වරදවල් ටික දිහා බැලුවාම පේනවා පවතින ආණ්ඩුවට තමන්ගේ පැවැත්ම කරගෙන යෑම සඳහා දාපු ටිකක් කියල. මේකෙ තිබෙන වඩාත් භයානකකම තමයි මම කලින් සඳහන් කළා වගේ සාමාන්‍ය වෙරළ ආරක්ෂක භටයෙක් දක්වා අත්අඩංගුවට ගැනීමේ බලය පවරා තිබීම. මොකද අපි දන්නවා පොලිස් කොස්තාපල් වගේ පහළ නිලධාරීන් ගම් වල මිනිස්සුන්ගේ පුද්ගලික කෝන්තර මත පලිගැනීම් සිදු කරන ආකාරය. මේකත් එක්ක වෙන්නෙ එහෙම කෝන්තර තිබෙන මිනිස්සුන්ගෙන් හිටු කියල පලි ගන්න අවස්ථාවක් හදල දීම වගේ වැඩක්. අනික මේ පනතෙ තිබෙන ප්‍රධාන වෙනස්කමක් තමයි කලින් රැඳවුම් නියෝග අනුව ප්‍රශ්න කරන්න නියෝග දුන්නෙ විෂය භාර ඇමැති සහ ආරක්ෂක ලේකම්. ඒ අයගේ අත්සනක් නැතිව පුද්ගලයෙක්ව රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න බෑ. දැන් මේ පනත අනුව ඩී. අයි. ජී. කෙනෙක්ටත් ඒ අයිතිය දීල තියෙනවා. ඉතින් දේශපාලනය කරන ඩී.අයි.ජී. කෙනෙක් අතට මේ බලය ගියාම මොකද වෙන්නෙ. හිතූ හිතූ විදියට මිනිස්සුන්ව තලා පෙළන්න ගනියි.

පොලිස් නිලධාරියකුට තොරතුරු ලබා නොදීම යන්න රාජ්‍ය විරෝධී වරදක් ලෙස දක්වා මේ පනත යටතේ රඳවා තබා ගැනීමේ හැකියාව පවතිනවද ?

පැහැදිලිවම. පුද්ගලයෙක් නීති විරෝධී රැස්වීමක් කරාය කියල හිතල ඒ පිළිබඳ තොරතුරු හොයන්න නිවසට පොලිස් නිලධාරියෙක් ආවොත් ඒ ගැන තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීම අත්අඩංගුවට ගැනීමේ හේතුවක් වෙනවා මේ පනත අනුව.

මේ පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවනම් එහිදී දේශපාලඥයන්ට ඊට මැදිහත් වීමේ හැකියාවක් ලබා දී තිබෙනවා කියන්නෙ ඇයි ?

දැන් පවතින නීතිය අනුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී ඒ විමර්ශනවලට රටේ ජනාධිපතිට මැදිහත් වීමේ අවස්ථාවක් තිබුණේ නෑ. නමුත් මේ ත්‍රස්ත විරෝධී පනතට අනුව රටේ ජනාධිපතිවරයාට පුළුවන් රඳවා තබා ගැනීමේ විමර්ශනවලට සම්බන්ධ වෙන්න. උදාහරණයක් විදියට ජනාධිපතිවරයාට විරුද්ධව උද්ඝෝෂණය කරන සමාජ ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමකදී ඒ විමර්ශනයට සම්බන්ධ වෙන්න ජනාධිපතිවරයාට පුළුවන් වෙනවා. ඒක හරියට ඉස්සර කාලේ රජ්ජුරුවෝ නඩු අහනවා වගේ. දැන් බලන්න ඔහු පාර්ලිමේන්තුවේදී කේන්තියෙන් විවිධ අයගේ නම් කියල තර්ජනය කරනවා. සාලිය පීරිස්ගේ නම කිව්වා අපි දැක්කා. ඉතින් ජනාධිපතිවරයාට පුළුවන් එහෙම දේශපාලන වශයෙන් තරහක් තියෙන කෙනෙක්ව මේ වරදකට පටලවල ඒ විමර්ශනවලට මැදිහත් වෙන්න. පොදුවෙ ගත්තාම මේ වගේ භයානක කරුණු ගොඩක් මේ ත්‍රස්ත විරෝධී පනතට ඇතුළත්. මේක තනිකර ඒකාධිපති වියරුවකින් කටයුතු කිරීමට ගෙනෙන පනතක්.

මේ කියන කරුණු දෙස බැලුවාම පෙනෙන්නෙ ජනතාවගේ අවම මූලික අයිතිවාසිකම් පවා මේ පනත මගින් හකුළා දමන බවක්නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තිබෙන මූලික අයිතිවාසිකම් කඩවන ලෙස එහෙම නීති ගේන්න පුළුවන්ද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තියට අනුව නීතිය ඉදිරියේ කවුරුත් සමානයි කියන සිද්ධාන්තයට පටහැනියි. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහතරේ එක දැක්වෙන භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පටහැනියි. ව්‍යවස්ථාවේ එකොළොස් වැන්නෙ විග්‍රහ කරන පරිදි කිසියම් පුද්ගලයෙක් තලා පෙළන එකෙන් වැළකෙන්න ඔහුට අයිතියක් තියෙනවා. නමුත් මේ පනත ක්‍රියාත්මක වුණොත් මිනිස්සුන්ව ගහල තලල පෙළලා අරන් යන්න පුළුවන්. මේ නිසා මේ යෝජිත පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තියෙන වගන්ති සැළකිය යුතු ම්ට්ටමකින් උල්ලංඝනය කරනවා. ඒ නිසා තමයි මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වෙන්නෙ. ආණ්ඩුවකට පුළුවන් ප්‍රතිපත්තිමය කාරණා ඉදිරිපත් කරන්න. හැබැයි ඒ ඉදිරිපත් කරන යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන්න ඕන. දැන් මේ ඉදිරිපත් කරල තියෙන ප්‍රතිපත්තිමය කාරණාව ජනතාවගේ පරමාධිපත්‍ය බලයට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියේ තියෙනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වෙන විදිය. ඒ නිසා අපිට පැහැදිලිව මේක ශ්‍රේෂ්ඨාධිකරණයේදී පරාජය කරන්න පුළුවන්. මීට කලින් ආව ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේදීම යටපත් වුණා.

මේ පනත ආණ්ඩුව පාර්ලිමේන්තුවේ විතරක් සම්මත කරගත්තට වැඩක් නෑ නේද ?

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ එකසිය විසි නවයේ තියෙනවා ඕනෑම ගැසට් එකක් සති දෙකක් ඇතුළත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුරවැසියට අයිතියක් තියෙනවා. ඒ අයිතිය පාවිච්චි කරල ජාතික ජනබලවේගය අධිකරණය ඉදිරියට යන්න සූදානම් වෙලා ඉන්නෙ. හැබැයි උසාවි යන්න නම් පාර්ලිමේන්තුවට පනත දානකම් ඉන්න වෙනවා.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතීන් එක්ක බැඳිච්ච රටක්. මේ පනත මගින් මානව අයිතිවාසිකම් කඩ වෙනවනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බලපෑමක් මේ සඳහා සිදුවෙයිද ?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රඥප්තීන්ට පටහැනිව තමයි මේ පනත ගෙනත් තිබෙන්නෙ. නමුත් අයි. එම්. එෆ්. යෝජනා ක්‍රියාත්මක වෙන්න නම් මේ වගේ මර්දනයක් තියෙන්න ඕන කියන එක එයාල මේ වෙලාවෙ වැඩියෙන් අවධානය යොමු කරන්නෙ කියල අපිට තේරෙන්නෙ. එක්සත් ජාතීන් කියන්නෙත් තමන්ට කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කියන සංවිධාන. නැත්නම් එයාලට ඕන තරම් ඉඩ කඩ තියෙනවා මේවට මැදිහත් වෙන්න. ධනේෂ්වර ක්‍රමය ඇතුළෙ රනිල් වික්‍රමසිංහ කියන්නෙ එයාලට හොඳ ජොකියෙක්. ඉතින් වික්‍රමසිංහගෙ පාලනයට එයල බාධා කරන්නෙ නෑ. මැතිවරණ කල් දැමීමට අදාළව අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරල තියෙන්නෙ. අද වෙන තුරු ඒ අය කිසිවකට මැදිහත් වුණේ නෑ. මේ ධනේෂ්වර ක්‍රමය පවත්වාගෙන යෑමට අදාළ දේවල් තමයි එයාල බලන්නෙ කියල එකෙන්ම පැහැදිලියි.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment