ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්නේ නෑ…ජනතාවාදී තීරණවලට සහාය දෙනවා- ශ්‍රීලනිපය තීරණය කරයි

184

චමින්ද සිල්වා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කොටස්කරුවන් නොවන බවත් කිසිදු ඇමැති ධුරයක් හෝ වෙනත් තනතුරක් භාර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.

නව අගමැතිවරයා පත් කිරීමෙන් පසු රජයක් පිහිටුවීමට අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස ආරාධනා ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (13 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්” පක්‍ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයන් සියලු දෙනා එක්ව සිදුකළ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඇමැති ධුර ලබාගැනීම හෝ එහි කොටස්කරුවන් නොවිය යුතු බව තීරණය කළ බවද සිරිසේන මහතා කීය.

සියලු පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවන ලෙස මාස 2 කට අධික කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත් එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම තුළින් එය කඩවූ බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රීලනිප යෝජනාව වූයේ සියලු දේශපාලන පක්‍ෂවලින් සමන්විත ජාතික සභාවක් පත්කර ඒ හරහා රජයක් බිහිකිරීම වුවත් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරනු ලැබුවේ කිසිදු පක්‍ෂයක් සමග සාකච්ඡා කිරීමකින් තොරව බවද ඔහු අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් රටේ පවතින දැවෙන ප්‍රශ්න වන ගෑස්” ඉන්ධන” විදුලිය” ඖෂධ වැනි ප්‍රශ්න විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ගන්නා ජනතාවාදී තීන්දු” තීරණවලට සහය ලබාදීමට කටයුතු කරන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment