ආණ්ඩුවේ ජන පීඩාවට එරෙහිව නැගී සිටීමේ සාධාරණ අයිතියක් ජනතාවට තිබෙනවා – ජවිපෙ නායක අනුර කුමාර

176

මේ ආණ්ඩුව පත්කර ගත්තේ ජනතාව නම් තමන් පත්කර ගත් ආණ්ඩුව එම ජනතාවට එරෙහිව කටයුතු කරනවා නම් ඊට එරෙහිව නැගී සිටීමේ යුක්තිසහගත අයිතියක් ජනතාවට තිබෙනවා. එම ජනතාව පිළිබඳව වගකීම එම ආණ්ඩුව භාරගන්නේ නැත්නම්, ඊට විරුද්ධව නැගී සිටීමට ජනතාවට යුක්තිසහගත අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතිය ආරක්ෂා කරනවා. ඒ වගේම පක්ෂයක් හැටියට අපි අපේ පැත්තෙන් විය හැකි සෑම දායකත්වයක්ම ලබාදෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01 දා) සඳහන් කළේය.

දිසානායක මහතා ඊයේ (01 වැනිදා) එම අදහස් පළකළේ පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

මිරිහානයේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ පෙරේදා (31 දා) රාත‍්‍රියේ විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා පැවැත්වූ උද්ඝෝෂණය අන්තවාදී කණ්ඩායමක ක‍්‍රියාවක් බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයන් නිකුත් කර තිබුණා. ඒ නිවේදනයෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට මේ රටේ ජනතාව මුහුණ දෙමින් ඉන්න පීඩාව සහ වේදනාවන් පිළිබඳව කිසිදු හැඟීමක් නැති බවයි. අතදරුවන් වඩාගත් අම්මලා, රැකියාවට ගොස් නිවාස කරා පැමිණෙමින් සිටි අය, පොදු පුරවැසියන්, වැඩිහිටි අම්මලා, තාත්තලා, විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියා. ඔවුන් පාන්දර 2.00 – 3.00 පමණ වන තෙක් රැඳී සිටිමින් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් විරෝධය දැක්වූවා. සාමාන්‍ය පුරවැසියන් මේ විදිහට නැගී සිටින්නේ විනෝදයටද? නැහැ. ජනතාව මුහුණ දෙන පීඩාවන් පිළිබඳව මේ ආණ්ඩුව කිසිම අවධානයක් යොමු නොකරන නිසයි.

පැය 12කට වැඩි කාලයක් විදුලි විසන්ධි කර තිබෙනවා. පාසල් දරුවන්ගේ ඇඳුම්, රාත‍්‍රී 12.00ට අයන් කරන්න සිදුවී තිබෙනවා. නැවත පාන්දර 3.00ට විදුලිය විසන්ධි කරනවා. උෂ්ණාධික පසුබිම යටතේ දරුවන්ට නින්ද යන්නේ නැහැ. උදේ ආහාරය සකස් කර ගන්න විදුලිය නැහැ. ගෑස් නැහැ. දරුවෝ පාසල් යවන්නත් ඕනෑ. මේ පීඩාව ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද?

ජනතාව මෙතරම් පීඩාවකට පත්ව සිටියෙදී මන්ත‍්‍රීවරුන්, අගමැතිවරයා, ජනාධිපතිවරයා සිටින නිවාස ප‍්‍රදේශවල විදුලිය කපන්නේ නැහැ. පුරවැසියන්ට මේ තත්වය දරාගන්න බැහැ. ඉන්ධන ලීටරයක මිල රුපියල් 100/- – 150/- තරම් අධික ප‍්‍රමාණයකින් වැඩි වුණා. ගෑස් සිලින්ඩරයක මිල තිබුණු මිල වගේ දෙගුණයකට වඩා වැඩිවී තිබෙනවා. කිරිපිටි මිල දෙගුණයකට වඩා වැඩිවී තිබෙනවා. හාල් කිලෝ එකක් රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය පුරවැසියාට අත්‍යවශ්‍ය දේවල් සියල්ලම මිල දෙගුණයකට වඩා වැඩිවීමෙන් ජනතාව මුහුණ දී සිටින චිත්ත පීඩාව පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කරන්න ඕනෑ. ඒ අවධානය නැති නිසයි ජනතාව උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවලට යොමු වී සිටින්නේ. ප‍්‍රශ්න පිළිබඳව ආණ්ඩුව දක්වන ඉතාමත් දුෂ්ට, අමානුෂික තීන්දු තීරණ ජනතාවගේ උද්ඝෝෂණවලට බලපා තිබෙනවා.

මේ රටේ පුරවැසියන් යනු රාජපක්ෂලාගේ වහල්ලූ නොවන බව ඔවුන් තේරුම් ගත යුතුයි. මේ රටේ ජනතාව රාජපක්ෂලාට වැඳ නමස්කාර කරන ඔවුන්ගේ යටත් පුරවැසියන් බවට ඔවුන් කල්පනා කර තිබෙනවා. ඒ නිසයි මෙවැනි අර්බුදයක් වෙලාවකදී වෙනම ගුවන් යානා කුළියටගෙන තිරුපති වඳින්න යන්නේ. නාමල් රාජපක්ෂ මේ අර්බුද වෙලාවේ මාලදිවයිනේ ගිහිල්ලා දියබුං ගහන්නේ. ඔහු ඩුබායි

ගිහිල්ලා ගුවන්යානාවලින් කරනම් ගහන්නේ මෙවැනි අර්බුදකාරී වෙලාවකයි. අගමැතිවරයා ඉතාලියේ සංචාරය කරන්නේ මෙවැනි අර්බුදකාරී වෙලාවකයි. ඩොලර් මිලියන 6.9කට වැඩි වන්දියක් ශෂේන්ද්‍ර රාජපක්ෂ කුණු පොහොරවලට ගෙවන්නේ මෙවැනි අර්බුදකාරී වෙලාවකයි.

ජනාධිපතිවරයා ඉන්න නිවසට ලයිට් කපන්නේ නැහැ. අසල්වැසි නිවාසවලට ලයිට් කපනවා. පුරවැසියන්ට සාධාරණ කෝපයක් එන්නේ නැද්ද? මේ ආණ්ඩුවේ ජන පීඩාවට එරෙහිව පුරවැසියන්ගේ නැගී සිටීම සාධාරණයි. රටේ පොදු ජනතාව ජන පීඩක ආණ්ඩුවේ යටත්වැසියන් නොවන බව ඔප්පු කරමින් විනාශකාරී ක‍්‍රියාමාර්ගවලට එරෙහිව පාරට බහින්න ඕනෑ. උද්ඝෝෂණ ප‍්‍රචණ්ඩකාරී තත්වයකට වර්ධනය කර

ගන්න ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ කෝකටත් තෛලය වී තිබෙන හමුදා යාන්ත‍්‍රණය යෙදවිය හැක්කේ මෙවැනි අවස්ථාවකයි. ඊයේ උද්ඝෝෂණයේදි යම් පොදු දේපළ ප‍්‍රමාණයකට හානි සිදුවී තිබෙනවා. ආණ්ඩුව විසින් ඇතුල් කරන ලද කණ්ඩායම් ඉතාම සැලසුම් සහගතව මේ හානිකිරීම් සිදු කළාද කියලා සාධාරණ සැකයක් මතුවෙනවා. අතදරු අම්මලා, වැඩිහිටි අම්මා, තාත්තා වගේම, දරුවා බිරිඳ, සැමියා වශයෙන් පවුල්පිටින් උද්ඝෝෂණවලට ඇවිත් ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් නොකරන බව අපි දන්නවා. පොදු පුරවැසියන්ගේ සාමකාමී උද්ඝෝෂණවලට ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද කණ්ඩායම් යොදවා මෙවැනි තත්වයක් ඇති කළාද යන සාධාරණ සැකය තිබෙනවා. ජන පීඩක ආණ්ඩුව පළවා හැරීමේ උද්ඝෝෂණ තුළදී ආණ්ඩුව විසින්ම සැලසුම් කරන ලද ප‍්‍රචණ්ඩකාරී තත්වයන් වළක්වා ගැනීමත් පුරවැසියන්ගේ වගකීමක්. මෙවැනි උද්ඝෝෂණ හැකිතාක් සාමකාමීව, හැකිතාක් සංවිධානාත්මකව, හැකිතාක් මෙහෙයවීමකට යටත්ව සිදු කළ යුතුව තිබෙනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment