ආණ්ඩුවේ ත්‍රස්තවාදී සූත්තරය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම!

249

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්න්ධයෙන් ලැබුණු සාධනීය ප්‍රතිචාර මෙන්ම දැඩි විවේචන හා චෝදනා සියල්ල අභිබවමින් දැන් සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල ප්‍රබල සංවාදයක් ගොඩ නැගෙමින් තිබේ. ඒ ආණ්ඩුව රැගෙන එන ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳවය. මෙම පනත මෙතෙක් මෙරටේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී පනත වෙනුවට ඉදිරිපත් කෙරෙන අලුත් පනතක් බව ආණ්ඩුව සඳහන් කර තිබේ. එය අලුත් පනතක් බව සැබෑය. එසේම එය සම්මත වීමෙන් පසුව මෙතෙක් පැවති ත්‍රස්තවාදී පනත, එනම් 1979 දී ජයවර්ධන පාලන සමයේදී සම්මත කර ක්‍රියාත්මක කරන ලද පනත අහෝසි වන බවද සත්‍යයකි. එසේ නම් දවසින් දවස උත්සන්න වෙන ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවලින් නැගෙන විරෝධයට හේතුව කුමක්ද? ආගමික නායකයෝද විශ්වවිද්‍යාල විද්වත්හුද, වෘත්තීය සංගම් නායකයෝද, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝද, විවිධ වෘත්තිකයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීහුද, නීති ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණිකයෝද මෙම පනත ජාතික විපතක් ලෙස දක්වමින් එය හකුලාගත යුතු යැයි පවසන්නාහු කුමක් සඳහාද? එමතු නොව ජාත්‍යන්තර නීති සංවිධානවලින්ද මෙයට කනස්සල්ල පළවී තිබේ.

ප්‍රති ත්‍රස්ත පනතට එල්ලවී තිබෙන විවේචන, චෝදනා නොතකමින් එය ඉතා අහිංසක පනතක් ලෙස හැඳින්වීමට ආණ්ඩුව දරන ප්‍රයත්නයද පැහැදිලිය. රටේ ජාතික ආරක්‍ෂාව, මාධ්‍ය නිදහස තහවුරු කිරීම වැනි පරමාර්ථ සපුරා ගැනීමට මේ පනත ගෙන එන බවත් එයට එරෙහි වන අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවත් ඇතැම් ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩුවට හිතවත් වෘත්තීය සංවිධානවලද අදහස වී තිබේ. ඔවුන් කීවත් නොකීවත් ඒ අයිතිය මෙරටේ පුරවැසියන්ට හිමිව තිබෙන ශුද්ධවූ අයිතියකි. එනිසා එබඳු විහිළු සැපයීමට අවශ්‍ය නැත. එසේනම් මෙම පනත සම්බන්ධයෙන් දැක්වෙන ප්‍රතිචාර, අනතුරු ඇඟවීම් ආදියෙහි යථාර්ථය කුමක්ද?

1979 දී ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සම්මත කරවා ක්‍රියාත්මක කරන ලද ත්‍රස්තවාදී පනත මුලින්ම ඉදිරිපත් වූයේ තාවකාලික එකක් ලෙසය. එහෙත් එය මෙරටේ නීතියක් බවට පත්වී තිබුණි. ශ්‍රී ලංකාවට ප්‍රචණ්ඩත්වය, සාහසිකත්වය සම්බන්ධ ත්‍රස්තවාදය පිළිබඳ සෑහෙන අත්දැකීම් තිබේ. දසක තුනකට නොඅඩු කොටි ත්‍රස්තවාදය එහි උච්ච අවස්ථාව විය. ඊට පෙරද ලංකාව කැරලි හා ප්‍රචණ්ඩකාරී අත්දැකීම්වලින්ද පීඩාවට පත්වූ රටකි. එනිසා ජාතික ආරක්‍ෂාව මෙන්ම ජන ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා අණ පනත්ද අවශ්‍ය විය. එසේ වුවද රටත් ජන ජීවිතත් බියෙන් හා ත්‍රාසයෙන් මුසපත් කළ කොටි ත්‍රස්තවාදය මර්දනය සඳහා නම් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අණ පනත්වලට මෙන්ම විධායකයේ අණසකටද නොහැකි වූ බවද කිව යුතුය. ත්‍රස්තවාදයෙන් ඔහුගේ පාලන යුගය කෙතරම් අසරණ වූයේද යත් ‘සියලු බල සහිත ජනාධිපතිවරයාට සිදුවූයේ තම තමන්ගේ ආරක්‍ෂාව තම තමන් විසින් බලාගත යුතු යැයි ඉල්ලා සිටීමටය.

කෙසේ හෝ ඒ බිහිසුණු යුගයක සාහසිකත්වය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට මානුෂික මෙහෙයුමක් කිරීමටද සිදුවිය. (2009 මැයි 18 වැනිදා එම මෙහෙයුම ජයග්‍රාහීව අවසන් විය.) කොටි ත්‍රස්තවාදය පරාජය කර වසර 14 ක් යන තුරුත් එදා සම්මත කළ ත්‍රස්තවාදී පනත අහෝසි කිරීමට උද්යෝගයක් නොදැක්වූ අපේ නායකයන් හදිසියේම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමද විමතිය දනවන්නකි. ඊටත් වඩා විස්මයජනක කරුණ වන්නේ තිබෙන පනත අහෝසි කරමින් යළි සම්මත කිරීමට සූදානම් වන පනතේ ස්වභාවය දෙස බලන විටය.

ආණ්ඩුවේ ත්‍රස්තවාදී සූත්තරය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම!

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා ඇත්තේ පනත ගෙන ඒම පමාකරන ලෙසය. ඔවුන්ගේ නිවේදනයට අනුව ඒ සඳහා විධිමත් ක්‍රියාදාමයක් අනුගමනය කර නැත. එහෙත් මේ ආණ්ඩුව කටයුතු කරන අධිපතිවාදී ස්වරූපය අනුව එබඳු ඉල්ලීමක් මායිම් කරනු ඇද්ද යන්න සැක සහිතය. ආණ්ඩුවේ අපේක්‍ෂාවන්වලට එරෙහි වන ඕනෑම ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩු පාර්ශ්වය සූදානම් බවද රහසක් නොවේ. ඒවාට කෙබදු විවේචන එල්ල වුවත් ඔවුන් නොසැලෙන බවද පෙනේ. වරප්‍රසාද කමිටුව ඉදිරියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කැඳවීමට එරෙහිව කෙරෙන විවේචන සම්බන්ධයෙන් ඔවුන් දක්වන ප්‍රතිචාරයට එයට සාක්ෂි වේ.

කෙසේ හෝ මෙම ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් මෙතෙක් සිදුවී තිබෙන විවේචන, විශ්ලේෂණ ආදියෙහි හරය වී ඇත්තේ මෙම අලුත් පනත ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාන්විතයේ පළමු පියවර බවය. පසුගියදා විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයෙහි පැවති සම්මන්ත්‍රණයකදී මෙම ප්‍රති ත්‍රස්ත පනත පැහැදිලිවම ආණ්ඩුවට නුදුරු අනාගතයේදී එල්ල විය හැකි විරෝධතා, උද්ඝෝෂණ මර්දනය සඳහා ගනු ලබන පියවරක් බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසා තිබේ. ඔහු පවසන්නේ ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස රජය ඉදිරිපත් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙළ නිසා මෙරටේ දුගී ජනතාව, වැඩකරන ජනයා මෙන්ම මධ්‍යම පන්තියටද විශාල බරක් පැටවීමට සිදුවන බවත්, එයින් උද්ගත විය හැකි සිවිල් ජනතා විරෝධතා මර්දනයට සූදානම් වීම සඳහා මෙම පනත යොදාගත හැකි බවත්ය.

මහාචාර්ය උයන්ගොඩගේ විග්‍රහයට තාර්කික පදනමක්ද ඇත. ඇත්ත වශයෙන්ම අද උද්ගතවී තිබෙන සිවිල් ජන අර්බුදය ඔහු සඳහන් කරන පරිදිම රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පීඩාවට හා පීඩාවට පත් ජන කොටස්වල විරෝධතාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ලද හෝ ඔවුන්ගේ උපදෙස් මත ආණ්ඩුව විසින් ගන්නා ලද බොහෝ තීරණවල විපාක පොදු ජනතාවට, මැද පන්තියට මෙන්ම වෘත්තිකයන්ටද එල්ලවී තිබෙන අභියෝගයකි. භාණ්ඩ මිල මෙන්ම විදුලිය ගාස්තුවද ඉහළ ගොසින්ය. මේ වන විට තුන් හතර ගුණයකින් ඉහළ ගිය මිල ගණන් එක කට්ටියකින් අඩු වුවද ඒවායින් ජනතාවගේ බර සැහැල්ලු වූයේ මද වශයෙනි. මෙම ආර්ථික සැලසුම් නිසා රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වුවත් ඒවායේ පීඩා ඉහත කී ජනතාවගේ විරෝධතා උත්සන්න කරවන්නකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි රජය ව්‍යවසාය කටයුතුවලින් ඉවත් වීමටත්, පාඩු ලබන ආයතනවලට අමතරව ලාභ සහිත රාජ්‍ය ආයතන විකිණීමටත් පියවර ගැනීමද විශේෂයෙන් වෘත්තීය සංවිධානවල විරෝධයට හේතු වූවකි. වෘත්තිකයෝද රජයේ බදු පිළිවෙතට අමතරව මෙම ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද විරෝධය පළ කරති. මෙම විරෝධතා සමග ආණ්ඩුවට ගමන් කිරීමද දුෂ්කරය. තෙල් සංස්ථාවේ වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් දක්වන ලද ප්‍රතිචාරය කෙබදු දැයි කව්රුත් දනිති. වෘත්තීය සංවිධානවල ක්‍රියාකාරීන් 20ක් මේ වන විටත් ආණ්ඩුවේ උදහසට ලක්ව සිටිති. ඒ අතර පොහොට්ටුවට අයත් වෘත්තිය සංවිධාන නායකයෙක්ද සිටියි. මේ ප්‍රතිචාරය දැනට තිබෙන නීති රාමුව තුළ සිදුවන්නකි. එහෙත් අලුත් ප්‍රති ත්‍රස්ත පනත සම්මත වුවහොත් මේ සෙල්ලම්වලට ඉඩක් නැතුවා පමණක් නොව හිර දඬුවම් ඇතුළු තම වත්කම් රාජසන්තක වීමටද දොර හැරෙනු ඇත.

ප්‍රති ත්‍රස්ත පනතට අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව නිර්වචනය කිරීම හා අර්ථ විවරණ දැක්වීම සම්බන්ධයෙන් දැඩි සහ අනම්‍ය බවක් ඇති බව ප්‍රකාශ වී තිබේ. ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයාට අධික බලතල රැසක් මෙම පනතින් හිමි වන බවද කියති. අත්‍යාවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන ඕනෑම සේවාවක් කෙරෙහි බලපෑම් කිරීම බාධා කිරීම ඒ අනුව වරදක් වේ. එබදු ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ කථනය කර තිබේ. එබඳු ක්‍රියාවන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වුවද විවේචනයක් සිදුකිරීමට හෝ අදහසක් දැක්වීමට හෝ මෙම ප්‍රති ත්‍රස්ත පනතට අනුව ඉඩ නැත. සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සියලු රූපවාහිනී නාලිකා දැඩි පාලනයකට යටත් කිරීමේ වුවමනාව කුමක්ද? ඒ වූ කලී නිදහස් අදහස් නොඉවසීමේ රෝගය විනා අන් දෙයක් නොවේ.

ආණ්ඩුවේ හොරණෑ ලෙස ක්‍රියා කෙරෙන මාධ්‍ය ගණනාවක්ම හැම පාලන යුගයකදීම ක්‍රියාත්මක වේ. එහෙත් ඒවා කෙරෙහි ජනතා විශ්වාසයක් නැත. ප්‍රබලම මාධ්‍ය ආයතනවල මුල් පුටු අදාළ ඇමැතිගේ අභිමතය හෝ නායකයාගේ කැමැත්ත පරිදි පිරවෙන හෙයින් ඒවායේ මාධ්‍ය නිදහස ගැන ප්‍රශ්නයක්ද නැත. එහෙත් රජයට අයත් නොවන මාධ්‍යවලින් කෙරෙන විවේචන ආණ්ඩුවට දරාගත නොහැක. එනිසා මෙබඳු පනතකින් ඒ සියලු ආකාරයේ මාධ්‍ය ක්‍රියාකාරකම් තමන්ට නිසි පරිදි මෙහෙයවීමටද පාලකයන්ට හැකිවනු ඇත. පෞද්ගලික මාධ්‍ය හුදෙක් පොදු ජන අපේක්‍ෂා මල්ඵල ගැන්වීමට කැපවී සිටින බවක්ම කිව නොහැක. එහෙත් ඒවායින් සාධනීය ජනතා මෙහෙවරක් සිදුවන බවද කිව යුතුය.

ප්‍රති ත්‍රස්ත පනතේ තවත් බිය ජනක දෙයක් නම් එමගින් පොලිසියේ උසස් නිලතල කීපයකටත්, රටේ විධායකයටත් යෝජනා කෙරෙන දැඩි බලතලවලින් සිදුවිය හැකි අනතුරුදායක ක්‍රියාකාරකම්ය. ත්‍රස්තවාදී වරද නිගමනය මෙන්ම අත්අඩංගුවට ගැනීමටද ඔවුන්ට බලය පැවරීමෙන් යුක්තියේ මූලධර්ම අනතුරකට නොවැටේද? ඇත්ත වශයෙන්ම මෙමගින් යෝජනා කර ඇති සීමා පැනවීම්, දඬුවම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කිසි සේත් අදාළ නොවනු ඇත. මෙම පනත කෙතරම් බලවත්ද යනු රටේ ලිඛිත නීතියටද උඩින් මෙහි විධිවිධාන ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන් වේ. මානව හිමිකම්, සාධාරණ, යුක්තිය, මෙන්ම බියෙන් තොරව හිස කෙළින් තබා සිටීමට පුරවැසියන්ට තිබෙන ශක්තියද මෙම ත්‍රස්ත පනතින් දුර්වල කිරීමේ අරමුණ කාගේ මනදොළක් සපුරාලීමක්ද?

ප්‍රති ත්‍රස්ත පනත සියලු මානව හිමිකම්වලට මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදී සමාජ වටිනාකම්වලට අභියෝග කරන දුෂ්ට අරමුණුවලින් කිලිටි වී ගිය දේශපාලන විකෘතියක් විය යුතු නැත. ජාතික ආරක්‍ෂාව ඉස්සරහට දමාගෙන ජාතික සංස්කෘතික උරුමයන් පිළිබඳව හෝ අදහසක් පැවසීමට තරම් නිදහසක් නැති රටක පුරවැසියන් හා වහලුන් අතර වෙනසක් නැති බවද මේ මර්දනකාරී පනත් සකස් කරන අයට පෙන්වා දිය යුතුය. ප්‍රති ත්‍රස්ත පනත යනු දැන් කලක පටන් ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ප්‍රමුඛ ප්‍රජාව විසින් ඉල්ලා සිටිනු ලබන 1979 ත්‍රස්තවාදී පනත අහෝසි කිරීමක් ලෙස බටහිරට පෙන්වීමටද බැරි නැත. එහෙත් මෙහි ඇතුළත් විධිවිධාන විමර්ශනය කරන ඔවුන්ට වුවද මෙම පනතෙහි අඩංගු විෂ ප්‍රමාණය මාරාන්තික බවද වටහා ගැනීම අසීරු නැත. ආණ්ඩුව සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සියල්ල බුල්ඩෝසර් කෙරෙන දැඩි ඒකාධිපති නීති පද්ධතියකින් ජනතාවත්, වෘත්තිය සංවිධානත් සමතලා කරමින් යන
ගමනකටද? නිසැකයෙන්ම මෙම ප්‍රති ත්‍රස්ත පනත සම්මත වුවහොත් මේ ආණ්ඩුවට මෙන්ම මතු අනාගතයේදී බලයට පත්වන ආණ්ඩුවකට වුවද හදිසි නීතිය හෝ අලුත් මර්දන පනත් හෝ අවශ්‍ය නොවනු ඇත.

ඉහත උපුටා දැක්වූ මහාචාර්ය උයන්ගොඩ අවධාරණය කරන පරිදිම මෙම පනත ක්‍රියාත්මක වුවහොත් මෙරටේ අතිවිශාල සමාජ අර්බුදයක් ඇති විය හැකි බව අපගේද අදහසය. මෙය ඔහුගේ වචනවලින් පවසන පරිදිම මේ ආණ්ඩුවේ නිර්ප්‍රජාතන්ත්‍රවාදී පෙළඹවීමෙන් කෙරෙන මර්දන නීතිරීති ශක්තිමත් කිරීමකි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව නම් කෙරෙන ත්‍රස්තවාදී ගනයට වැටෙන්නේ මෙරටේ සාමාන්‍ය ජනතාවය. ජනාධිපති රනිල්ගේ එකම අදිටන ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් ගොඩනැඟීම බව අවිවාදිතය. මෙරටේ වැඩවසම් සමාජ දේශපාලනය වෙනස් විය යුතු බවට නැඟුණු තාරුණ්‍යයේ හඬ තමන්ද අනුමත කරන බව ඔහු පවසා තිබේ. එහෙත් ඔහු ඒ තාරුණ්‍යයට දැක්වූ ඇතැම් ප්‍රතිචාර පිළිබඳ විවේචනයක්ද අපට තිබේ. ඔහු වටකරගත් පිරිසේ සංයුතිය ගැන ජනතාවට තිබෙන විවේචන කෙබඳු දැයි මැනවින් දන්නා ඔහු ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග සිතියම බැහැර කිරීමට යොමු වන්නේ නම් එය අවාසනාවකි.

මේ මොහොත වන විටත් සජබයේම ඇතැම් කෙනෙක් ඇමැති කට්ටකට ගෙල දිගු කරගෙන සිටිති. ඇත්තටම මේ බොහෝදෙනෙක් අද කතා කරන්නේ රට ගොඩගැනීමට සහාය දිය යුතු බවට සම්පප්‍රලාප දෙසාබාමින්ය. දේශපාලනයෙන් සිටුවරුන් බවට පත්වූ අය මේ අය අතර නොසිටිත්ද? ජා.ජ.බ සම්බන්ධයෙන් කෙරෙන දුෂ්ට විවේචන තවමත් ජවිපෙ භීෂණ යුගවල ඉතිරිවී තිබෙන මතකයන් විනා වර්තමාන භාවිතය නොවන බවද ජනතාව දනී. ඝාතනය, භීෂණය පිටුදැකීම යහපත් දෙයකි. එහෙත් මේ බොහෝ පක්‍ෂවල එබඳු කෲර මතක සටහන් අප්‍රමාණව තිබේ. එසේම දූෂණයද ඒ දේශපාලනය සමග නොසිඳී ගලා යන අශිෂ්ට ප්‍රවාහයක් බව අමුතුවෙන් කිව යුතුද?

මේ ආණ්ඩුවේ ඇතැම් විහිලුවලට අපට සිනාසීමට බැරිය. සමහරුන් යෝජනා කරන්නේ වෘත්තිය සමිති නායකයන්ගේ වත්කම් සෙවීමටය. අගෙයි! ඉතාමත් අගෙයි!! අනේ ගරු මැති ඇමැතිවරුනි, ඊට කලින් තමන්ගේ කණ්ඩායම්වල වත්කම් අවංකකම් ගැනත් බැලීම හොඳයි නේද? බැංකු මංකොල්ල කෑම් ගැන, පොදු ජනතාවගේ සම්පත් හොරා ගැනීම් පිළිබඳව පමණක් නොව තම අනන්‍යතාව පවා වසන් කරමින් රටට වැදි බණ දෙසන අය ගැනද ජනතාව ඉතා හොඳින් දනිති. ආණ්ඩුව හොරු සමග හෙළුවෙන් යැයි විපක්‍ෂය කියද්දී විපක්‍ෂවල හොරුන් ගැන ආණ්ඩුවේ ඇත්තෝ කියති. මේ සියලු හොරුන් මර්දනයට අදාළව බලවත් දූෂණ විරෝධී පනතක් ගෙන එන බවද අධිකරණ ඇමැතිවරයාද කියයි. බදු හොරුන්, මහා පරිමාණ ව්‍යාපෘතිවලින් මහ දවල් ගසා කෑ එවුන් සමග රටක් ගොඩනැඟීම බයිබලයේ සඳහන් වන පරිදිම ඉඳිකටු තුඩින් ඔටුවකු ඇදීම වැනි වැඩකි.

කෙසේ වුවද අද තිබෙන මේ ජනතා උද්ඝෝෂණ හා සිවිල් සංවිධාන වීදි බැස සිටින්නේ හුදෙක් මේ ආණ්ඩුව එළවා දැමීමට නොව තම ජීවිත ගැටලුවටත් තමන් විඳින පීඩනයටත් කිසියම් සහනයක් ඉල්ලමින්ය. ඒවා දේශපාලන න්‍යාය පත්‍රවලට ඇතුළත් කර ගැනීමේ කටයුතුද තිබේ. එහෙත් ඒවා සියල්ල මර්දනයෙන් මැඬලිය යුතු යැයි කල්පනා කිරීමද උචිත නොවේ. ආණ්ඩුවට හිතවත් දොස්තරවරයෙක් වෘත්තීය සමිති මාෆියාවට එරෙහිව ප්‍රති ත්‍රස්ත පනත අනුමත කළ හැකිය. එබඳුම ප්‍රතිචාර දක්වන ගරු මන්ත්‍රීවරියකට වෘත්තීය සංවිධාන අරහං විය හැකිය. එහෙත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සන්දර්භයක අනිවාර්ය අංග බව එබඳු වෘෂභ යෝජනා කරන අයට මතක් කර දිය යුතුය.

ජනාධිපති රනිල්ගේ ප්‍රමුඛතා ලේඛනයේ අංක එක ආර්ථිකයයි. එහෙත් එය නිර්දේශපාලනික සංකල්පයක් නොවේ. ආර්ථිකය බල ගන්වන දේශපාලන දැක්මක්ද ඇත. සියලු ප්‍රතිසංස්කරණ බිහිවන්නේද ඒ දේශපාලන උල්පත්වලින් පෝෂණය ලබමින්ය. එහෙත් ආණ්ඩුව ඒ දේශපාලනයට දක්වන ප්‍රතිචාර යහපත් නැත. ඇත්තටම ආණ්ඩුව සැරසෙන්නේ ආර්ථිකය සවිබල ගැන්වීම නමැති විසල් තිරයට මුවාවී ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය මරා දැමීමටද? ආණ්ඩුවේ ක්‍රියා සියල්ල එහෙයි කියා අනුමත කරන සමාජ දේශපාලන ප්‍රතිචාර පමණක් තිබිය යුතු යැයි ඔව්හු කල්පනා කරත්ද?

ජනාධිපති රනිල්ට රැකදීමට දේශපාලන පක්‍ෂයක් නැතැයි පවසන පිරිසක්ද සිටිති. අඩ සියවසක ඒ දේශපාලන අත්දැකීම් මේ රට ගොඩනැංවීමට ඔහු භාවිත කරනු ඇති බවද කියති. එහෙත් ඔහුගේ වර්තමාන දේශපාලන භාවිතය අප තේරුම් ගන්නේ කෙසේද? ඔහුට අවශ්‍ය ජයවර්ධන පන්නයේම දේශපාලන ගමනක්ද? ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලකුණු නීතියට යටත් කර තැබීමටද? පළාත් පාලන මැතිවරණයට සම්බන්ධවූ ආණ්ඩුවේ ක්‍රියාදාමයෙහි සැලසුම් ඔහුගේ බව රහසක් නොවේ. මේ ‘ප්‍රතිත්‍රස්ත පනත’ තුළ ඇත්තේද ඔහුගේම සෙවණැල්ලය. දේශපාලන බලය රැක ගැනීම මර්දනයෙන් නීතියෙන් පමණක් කළ නොහැකි බවට ඕනෑ තරම් පාඩම් මෙම දසක තුන හතරක කාලය තුළ ලබාදී තිබේ. ඇත්තටම දේශපාලන ක්‍රීඩාවට අදාළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිරීති විනා මර්දනය නොවන බවද මේ පාඩම් විසින්ම තහවුරු කරනු ලැබ ඇත. ගාලුමුවදොර විරෝධතා සමග පිබිදුනු පොදු ජනයා, සිවිල් පුරවැසියා මෙන්ම වෘත්තිකයන් එක්වූ සමාජ ප්‍රතිචාරයක් අද අපි දකිමු. ඒ සමාජ කොටස් ත්‍රස්ත පනතකින් නිහඬ කළ නොහැකි බව අවසාන වශයෙන් ලියා තැබිය යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment