ආණ්ඩුවේ බලවතකුගේ වැටුපට ලොකු ගේමක් දීලා

697

රජයේ ප‍්‍රබලතම දේශපාලනඥයකුගේ මාසික වැටුප ලෙස බැංකු ගිණුමක තැන්පත්කර තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනික ලෙස ලබාගත් බව කියන එම දේශපාලනඥයාගේ පෞද්ගලික සහයකයා ලෙස කටයුතු කළ ලේකම්වරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකාර ලේකම්වරයා වසර හයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ප‍්‍රතාපවත් ප‍්‍රභූ දේශපාලනඥයාගේ විශ්වාසවන්තම පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කර තිබේ.

මේ රටේ ඓතිහාසික දේශපාලන පෙරළියකට පසුගිය කාලයේ මුලපුරමින් නව දේශපාලන බලවේගයක් ගොඩනඟමින් රජයක් බිහිකිරීම දක්වා සුවිසල් මෙහෙවරක් ඉටුකළ නායකයෙකි.

මෙම නායකයා විපක්ෂයේ සිටියදී පෙරළියක ඇරඹුමට කැපවෙද්දී මෙම සහායකයා ඔහුගේ කාර්යමණ්ඩලයට එක්වී තිබිණි.

කලක් පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර කීපයක් මෙන්ම කථානායකවරයකු ලෙසද කටයුතු කළ දැනට ජීවතුන් අතර නැති ප‍්‍රබල දේශපාලනඥයකුගේ පුත‍්‍රයකු වන මෙම සැකකාර පෞද්ගලික සහායකයා කලක් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර පදවියක් ද දැරුවේය.

වසර හයකට ආසන්න කාලයක් තිස්සේ මෙම සැකකාර පෞද්ගලික සහායකයා ප‍්‍රභූ දේශපාලනඥයාට අයත් බැංකු ගිණුමේ තිබූ මාසික වැටුප් මුදල් වරින්වර වංචනික ලෙස ලබාගෙන ඇති බව විමර්ශන වලින් හෙළි වී ඇත.

මෙම බැංකු ගිණුම සම්බන්ධයෙන් මතු වූ සැකය මත ඒ පිළිබඳව සොයාබැලීමේදී වසර හයකට ආසන්න කාලයක් තිස්සේ එහි මුදල් අතුරුදන් වී ඇති බව අනාවරණය විය.

මෙම වංචාව හෙළිවීමෙන් පසු අදාළ පෞද්ගලික සහකාරවරයා ඔහු දැරූ තනතුරුවලින් ඉවත් කර ඇති අතර ඔහුට එරෙහිව මේ වනවිට ඉහළ පෙළේ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

හේමන්ත රන්දුණු සහ අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment